කිරිඅම්මා දානයට සුදුසු කාන්තාව කවුද?

නොවැම්බර් 18, 2022

 

පත්තිනි දේවමාතාව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු ජනයා ආදරයෙන් ගෞරවයෙන් තම පණමෙන් අදහන දෙවඟනකි. පත්තිනි දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා සිදු කෙරෙයි. ඒ අතර කිරි අම්මාවරුන්ගේ දානයට සුවිශේෂී වැදගත් කමක් ලැබෙයි. ගැබිණි මවුවරුන් තම දරුවා නිීරෝගීව උපත ලැබීම සඳහා පත්තිනි මැණියන්ට බාර හාර වෙයි. දරුවා ලැබීමෙන් පසුව කිරි අම්මාවරු 07 දෙනකු හට දානයක් දීම අදත් දැකිය හැකිය. මෙයට අමතරව සරම්ප, වසුරිය, පැපොල, වැනි බෝවන රෝග ඇති වු විට දී බාරහාර වී සුවය ප්‍රර්ථනා කර සුව වූ පසු එය ඉටුකිරීම ගම්බද ජනයා අදත් නොවරදවා සිදු කරන චාරිත්‍රයකි. අද සෑම තැනම පාහේ කිරි අම්මා දාන පිරිනැමුවත් එය නිවැරැදිව සිදු කරනු ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. බොහෝ දෙනෙක් නිවැරැදි කරුණු නොදැන දානය සිදුකරන අවස්ථා සුලබව දක්නට ලැබේ. පත්තිනි මෑණියන් අප දුක් ගැනවිලිවලට පිහිට වෙමින් කුඩා දරුවන්ගේ ආරක්ෂාව සිය දෑතට ගෙන කුඩා දරුවන් රැක දීමේ මෙහෙවරක යෙදෙන බව අද සමාජයේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන් පත්තිනි මෑණියන් අවිවාහක කාන්තාවන් ගේ සිතුම් පැතුම් හොඳින් හඳුනාගෙන තරුණියකගේ නිසි වයසට ගැළපෙන තරුණ මානාලයකු ද සොයා දී ඇගේ බලාපොරොත්තු ඉටු කරනු ලබන බව පැවැසේ. එවැනි අනුහස් ඇති පත්තිනි මෑණියන් වෙනුවෙන් කිරිඅම්මාවරු පූජනීය වන බව පැවැසිය යුතුය.

පත්තිනි දේවිය රුවින් ඉතාම අග තැන්පත්ය. ඇය ඉතා පිරිසුදු විවාහ දිවියක් ගත කළ අතර කාහටත් ආදර්ශවත් විය. මෙවන් වූ පත්තිනි දේවිය සිහි කරනු වස් කිරි අම්මාවරු දානය සඳහා කිරිඅම්මාවරු තෝරාගනු ලබන්නේ උතුම් වූ පත්තිනි දේවිය සංකේතවත් කිරීමටය. එනිසා කිරිදානයක් පිරිනැමීමේ දී ඒ පිළිබඳ මනා සැලකිල්ලෙන් යුතුව සිදු කළ යුතුය. එය මෙසේ සිදු කරමු.

 

පත්නිනි දේව මෑණියන්ගේ රූපය සහිත පූජාසනය මත සුදු පිරුවටයක්‌ ඇතිරිය යුතුය. එහි විවිධ වර්ගයේ මල් අතුරන්න. දේව ප්‍රතිමාවට ද මල් මාලයක්‌ දමා පොල් තෙල් පහන් 07ක්‌ දැල්විය යුතු වේ. පහන් 07ක්‌ වෙනුවට තිර 07ක්‌ දමා එක පහනක්‌ දැල්වූවත් කම් නැත. අඹ ඇතුළු පලතුරු වර්ග 07ක්‌ද තැබිය යුතු වන්නේය. තැඹිලි ගෙඩියක්‌ හා කැවිලි වර්ග 07ක්‌ ද කෙසෙල් සහිත පඬුරු 07ක්‌ ද පූජාසනයේ තැන්පත් කළ යුතුය.

පූජාව පැවැත්වීම සඳහා කිරි අම්මාවරු තෝරා ගැනීමේදී පාරම්පරික චිරාගත ක්‍රමයට සිදු කිරීම වැදගත් ය. හැරමිටි වාරුවෙන් ගමන් කරන මහලු උදවිය, සුවකළ නොහැකි දද කුෂ්ඨවලින් පෙළෙන අය, බිහිරි හා දෙනෙත් අන්ධ අය, අත්පා රහිත හෝ අංග විකල වූවන්, අපස්‌මාර හෝ අංශභාග රෝගීන්, කලින් දරුවන් ලැබ ඔවුන් සියලු දෙනා ම මියගිය තැනැත්තියන්, සැමියා මියගිය වැන්දඹුවන්, දරුවන් නොලැබන වඳ ස්‌ත්‍රිහු, මත්පැන් පානය කරන මස්‌ මාළු විකුණන කතුන්,කේලාම් කියමින් උගුල් අටවන උදවිය,ගණිකාවන් වැනි අය මේ සඳහා නුසුදුස්‌සෝ වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.