නිසි කලට වැසි පතා සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය

අප්‍රේල් 1, 2022

ඪ වන විමලධර්මසූරිය රජු (ක්‍රි. ව. 1592 – 1604) විසින් දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වඩම්මවා එහි දළදා මැඳුරක් කරවා එහි තැම්පත් කිරීමත් සමග සිංහල රාජත්වයේ උරුමය කන්ද උඩරට රාජධානියට ලැබුණා සේම දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ පරම වගකීම ද උඩරට රාජධානියට ලැබුණු ආකාරය අපි හොඳීන්ම දන්නවා.

ඒ සමඟම දළදා වහන්සේ කේන්ද්‍ර කරගෙන දළදා සංස්කෘතියක් ද උඩරට රාජධානියේ ආරම්භ විය. එහිදී දළදා වහන්සේ උදෙසා උඩරට රජදරුවන්ගේ රාජආඥාව පරිදි වාර්ෂිකව පවත්වන මංගල්‍යය සතර සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම සතර මංගල්‍යයන් වනුයේ දුරුතු මාසයේ පවත්වන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයේ පවත්වන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ මාසයේ පවත්වන පෙරහැර මංගල්‍යය සහ ඉල් මාසයේ පවත්වන කාර්තික් මංගල්‍යය වශයෙනි. ඒ අනූව ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව වර්ෂයේ ආරම්භයේ දී පවත්වන දළදා පූජෝත්සවය වන්නේ අලුත් සහල් මංගල්‍යයයි.

මූලාරම්භය

මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්දිවට බුදු දහම හිමි වූ අතර එවකට මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු (ක්‍රි. පූ. 250 – 210) විසින් සමස්ත ශ්‍රී ලංකාවම බුදු සසුනට පූජා කළ බව මහාවංසයේ සඳහන් වේ. එතැන් සිට මෙරට සිංහල බෞද්ධ ගොවියන් සිය කුඹුරු සහ හේන්වලින් ලැබෙන ධාන්‍යවලින් අග්‍ර කොටස බුදුන් වහන්සේට පූජා කිරීමට යොමු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජය ශ්‍රී මහා බෝධියත්, දළදා වහන්සේත් ප්‍රධාන කොටගෙන අලුත් සහල් මංගල්‍යයන් පැවැත්වීම ආරම්භ වී ඇත. ඒ අනූව රාජත්වයේ සංකේතය වූ දළදා වහන්සේ උදෙසාත්, කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන දේවාලවල පවත්වන දේව පූජාවක් වශයෙන්ද අලුත් සහල් මංගල්‍යය හඳුනාගත හැකිය.

දළදා මාලිගාවේ නව වී අටුව

මෙම මංගල්‍යය වර්තමාන ස්වරූපයෙන් උඩරට රාජධානියේ ආරම්භ වූයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍යය සමයේ (ක්‍රි. ව. 1707 – 1739) දී බව තහවුරු වේ. එදා සිට උඩරට කිරීටයේ අණ පරිදි වර්තමානය තෙක් පුරාණ චාරිත්‍රයන්ට මූලිකත්වය ලබා දෙමින් මෙම මංගල්‍යය සිදු කරයි. එහිදී රාජකීය අටුව වෙත පෙරහැර පිටත් වීමටත්, දළදා මැඳුරේ ඇතුළු අනිකුත් සිද්ධස්ථානවල ධාන්‍යාගාරවල වී සහල් තැම්පත් කිරීමටත්, මුළුතැන් පූජාව පැවැත්වීමටත් සුබ මුහුර්ති සකස් කරනු ලැබේ. ඒ අනූව මෙම මංගල්‍යය ප්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වන අතර ප්‍රථමයෙන් සුබ නැකතට අනූව දියවඩන නිලමේවරයා ප්‍රමුඛ දළදා මැඳුරේ රාජකාරි ඇත්තන් සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු ප්‍රමුඛ රාජකාරි ඇත්තන් පෙරහැරකින් දළදා මැඳුරේ රාජකීය වී අටුව පිහිටි භූමියට පැමිණේ. ඒ අනූව අතීතයේ දී එම වී අටුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 – 1781) දළදා මැදුරට පූජා කළ වී අමුණු 18 කින් යුක්ත ගුරුදෙණිය කෙතෙහි පිහිටා තිබුණු නමුත් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි වූ වික්ටෝරියා සංවර්ධන ව්‍යාපෘතියට එය යට වූ බැවින් රජය විසින් යක්කුරේ ප්‍රදේශයේ අක්කර 25 ක ඉඩමක් සහ රාජකීය අටුව ඉදිකිරීමට පල්ලේකැලේ ප්‍රදේශයෙන් ඉඩමක් දළදා මැදුරට පූජා කර ඇත. එබැවින් අලුත් සහල් මංගල්‍යෙයේ චාරිත්‍ර එම පල්ලේකැලේ පිහිටි අටුව කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

රාජකීය චාරිත්‍ර

රාජකීය අටුව වෙත පැමිණි දියවඩන නිලමේවරයාට ගම් විදානේ සහ ගමරාළලා හත්දෙනා විසින් බුලත් හුරුලු දී පිළිගත යුතු අතර රාජකීය නියමය පරිදි ඔවුන් අඩුක්කු 07 ක් සහ වෑංජන 30කින් ආහාර එම ස්ථානයට රැගෙන ආ යුතුය. එලෙස රැගෙන ආ ආහාරවලින් පෙරහැරේ පැමිණි පිරිසට සංග්‍රහ කිරීම පුරාණයේ සිට එන චාරිත්‍රයකි. එයින් පසු සුබ මුහුර්තියට අනුව මඟුල් බෙර වයා දෙවියන් උදෙසා දේව ස්ත්‍රෝත ගායනා කොට වී සහල් බෙදීම සංකේතවත් කරමින් රිදී නැලියෙන් සහල් හා දළදා මැඳුරට වෙන් කර ගනී. ඉන්පසු අටුවේ මනින්නා සහ ඔහුගේ සහායකයා විසින් දළදා මැඳුරේ ලේකම් මහතා විසින් කියවන ලේකම් මිටියේ සඳහන් ආකාරයට ලැයිස්තු තුනක් යටතේ දළදා මාළිගාවටද, මල්වතු - අස්ගිරි උභයමහා විහාර ප්‍රමුඛ කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන රජමහා විහාර සහ සතර මහා දේවාල ප්‍රමුඛ පිටිසර දේවාලවලටද සහල් බෙදා දෙනු ලබයි. ඒ අනූව පළමු ලැයිස්තුව යටතේ දළදා මාළිගාවට හාල් සේරු 15 ක් හා වී සේරු 15 ක්ද, දෙවැනි ලැයිස්තුව යටතේ හාල් සේරු 20 ක්ද, තුන්වන ලැයිස්තුව යටතේ හාල් සේරු 10 ක්ද හිමිවේ.

එමෙන්ම පළමු ලැයිස්තුව යටතේ ලේවැල්ල ගංගාරාමය, කුණ්ඩසාලය, දෙගල්දොරුව ආදී රජමහා විහාරත්, මහනුවර සතර මහා දේවාල සහ පිටිසර දේවාලවලටත් යන ස්ථාන 82 කට සහල් බෙදීම සිදුකරයි. අනතුරුව දෙවැනි ලැයිස්තුව අනූව නැවත ගංගාරාම විහාරය, කුණ්ඩසාලේ, දෙගල්දොරුව, අලුත් විහාරය, පරණ විහාරය යන රජමහා විහාරවලටත්, සිව් මහා දේවාලවල යන ස්ථාන 10 ට වී සහ සහල් බෙදනු ලැබේ. මෙම දෙවැනි ලැයිස්තුව යටතේ ඉහත දක්වන සහල් ප්‍රමාණයට අමතරව දළදා මාලිගාවට හාල් සේරු 45 ක්, මහකිරිබොඩ පාත්‍රයට සහල් සේරු 80 ක් හා වී සේරු 10 ක් හිමිවේ. තෙවැනි ලැයිස්තුව යටතේ මල්වතු - අස්ගිරි විහාරවලට, එම පාර්ශවවල මහනායක හිමිවරු දෙදෙනාට සහ අනුනායක හිමිවරු සතර දෙනාට, දියවඩන නිලමේවරයාට, බස්නායක නිලමෙව්රුන්ට ඇතුළු රාජකාරි ඇත්තන්ට වී සහල් බෙදා දෙනු ලැබේ. ඒ අනූව වැඩිම සහල් ප්‍රමාණයක් දළදා මැඳුරට හිමි වන අතර යම් ස්ථානයකින් සහල් ලබා ගැනීමට නොපැමිණියහොත් එම ස්ථානයට හිමි විය යුතු සහල් ප්‍රමාණය ද දළදා මැඳුරට හිමි වේ.

අලුත් සහල් වඩමවන්නේ පෙරහරකින්

මෙලෙස ඒ ඒ විහාර සහ දේවාලවලට හිමි වූ සහල් හේමකඳහි තැන්පත් කොට වෙන් වෙන්වඑම ස්ථාන කරා වෙන් වෙන්ව ගමන් කරයි. දළදා මැඳුරට සහ සිව් මහා දේවාලවලට හිමි වූ සහල් හේමකඳ තුළ තැම්පත් කොට හස්තීන් සහිත පෙරහරකින් ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයට පැමිණ එහි එදින රාත්‍රියේ සහල් තැම්පත් කරනු ලැබේ. අනතුරුව පසුදින පාන්දර අලි ඇතුන්, ධජ පතාක සහිත පෙරහැරකින් දළදා මැඳුර වෙතත් දේවාල සතර වෙතත් අලුත් සහල් ගෙන ගොස් අනතුරුව සුබ මොහොතට අනූව සහල් ගබඩාවල තැම්පත් කරනු ලබයි. එම වේලාවටම අනිකුත් සිද්ධස්තානවලත් අලුත් සහල් තැම්පත් කිරීම සිදු කරයි.

බුද්ධ පූජාවක් හා දේව පූජාවක් ලෙසද වැදගත් වෙයි

දළදා මැඳුරේ ගඩඩාවේ තැම්පත් කළ සහල් විදානේවරුන්ගේ මැදිහත් වීමෙන් පිරිසිදු කොට ළිප් බැඳ ඒ වටා කහ දියර ඉස සහල් සේරු 80 ක බත් පිසිනු ලබයි. එමෙන්ම ඊට සරිලන සේ වෑංජන, අවුලුපත්, පලතුරු ද, සූදානම් කෙරේ. ඉන්පසු හඳුන් කුඩමේ මහකිරිබොඩ පාත්‍රය තැම්පත් කොට ඊට සහල් සේරු 80 බත් දමා දළදා වහන්සේ උදෙසා තේවාභාර භික්ෂූන් වහන්සේ සහ දියවඩන නිලමේ විසින් පිළිගන්වයි. මෙම පූජාව නියමිත නැකැත් වේලාවට පූජා කරන අතර සෑම දිනකම පවත්වන සහල් සේරු 32 ක සහ ව්‍යංජන 32 කින් සමන්විත මහා මුළුතැන් පූජාවට අමතරව මෙම පූජාවන් පිළිගැන්වීම වශේෂත්වයකි. මෙලෙස අලුත් සහල් පූජාව දළදා මැඳුරේ සිදු කරන වේලාවටම ඉහත බෙදා දුන් සහල් හිමි වූ සෙසු ස්ඛානවල ද බුද්ධ පූජාව සහ දේව දානය පවත්වා රටට සෞභාග්‍යත්, සමෘද්ධියත් ලැබේවා ! යනුවෙන් ප්‍රාර්ථනා කරයි.

ඒ අනූව කන්ද උඩරට රාජධානියේ පිහිටි ප්‍රධාන ආගමික ස්ථානය වූ දළදා මැඳුර මූලික කරගෙන රජමහා විහාරවල බුද්ධ පූජාවක් වශයෙන් ද එහි පිහිටි ප්‍රධාන දේවාලවල දේව පූජාවකුත් වශයෙන් අලුත් සහලින් පිසූ ආහාර දළදා වහන්සේ, බුදුන් වහන්සේ සහ දෙවිවරුන් උදෙසා පූජා කොට නිසි කලට වැසි ලැබී අස්වැන්න සාර වී රට ස්වයංපෝෂිත වීම අරමුණ සහිතව පවත්වන උත්සවයක් වශයෙන් මෙම අලුත් සහල් මංගල්‍යය ලෙස හඳුන්වයි.

ඒ.සී.එස් නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.