වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඡ්‍යොතිෂායුර්වේදය හා බැඳි ශාන්ති කර්ම
මිනිසාගේ ආයුෂත් සැපතත් රැකදීමට උපකාර වන්නේ යමෙක් ද යමක් ද එය ආයුර්වේදය නම් වන්නේ ය. විපතට දුකට පත් සත්වයින් ඉන් මුදා සෙතක් ශාන්තියක් ළඟා කර දිය හැකි යම් ක්‍රියාවක් වන්නේද එය ශාන්තිකර්ම නම් වන්නේ ය.
ශාන්තිකර්ම මිනිසාගේ ආයුෂත් සැපතත් රැකදීමට උපකාර කරන ද්විතීය ශාස්ත්‍රයක් නිසා එය ආයුර්වේදයේම එක් අංගයක් ලෙස හැඳින්විය හැකිය. මිනිසාගේ යහපත් පැවැත්මට උපකාරීවන්නාවූ ඡ්‍යොතිර් විද්‍යාවේත් ආයුර්වේදයේත් ඇත්තේ අති විශාල සම්බන්ධයකි. ඒ නිසා මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම මෙම විද්‍යාවන් දෙකම පැවතී බව සිතාගත හැකි ය. ඡ්‍යොතිර් විද්‍යාවේ ආරම්භයත් ආයුර්වේදයේ ආරම්භයත් කිනම් වකවානුවක සිදුවූයේ දැයි කාටනම් කිව හැකි ද?
මවකගේ කුසේ දරුගැබක් පිළිසඳගත් මොහොතේ සිට එම දරුවා හැදී වැඩී ඔහු වයසට ගොස් මරණයට පත්වී සොහොන් ගත කරන අවස්ථාව දක්වා ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ පිහිටත් ආයුර්වේදයේ පිහිටත් ශාන්තිකර්මවල පිහිටත් පතයි. යුවළක් විවාහ වීමට පොරොන්දම් පරීක්ෂා කරන විට බලන වැදගත් කරුණක් වන්නේ ඔවුනට දරු සම්පත් ලැබේද යන්න ඔවුන් විවාහ වී දරුවන් ලැබීම පමා වූ විගස තුටු පඬුරු ද රැගෙන ගොස් දෛවඥ මහතා මුණ ගැසී විමසන්නේ දරු සම්පතක් කුමන කාලයේ ලැබේද කියා යි. දරුවෙකු පිළිසිඳගත් බව දැනගත් විට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අමතරව මවට අපල උපද්‍රව තිබේද? එසේනම් කුමන ආකාරයේ ශාන්තිකර්ම ආදිය කළ යුතු ද? කියා විමසා බලයි. මේ අයුරින් දරුවා බිහි වූ විගස නැවතත් දෛවඥ මහතා හමුවී දරුවාට දීර්ඝායුෂ තිබේද දරුවා නිරෝගීව වැඩේද, මව්පියන්ට අපල ද ආදී වශයෙන් තොරතුරු විමසා ඉන් අනතුරුව නමට අකුරක් තෝරා එම නැකත් අනුව නම් තැබීමද කරයි. මේ අයුරින් ක්‍රියා කරන මව්පියන් දරුවාගේ රන්කිරි කට ගාන්නේ නැකත් හෝරා බලා ය. සඳුන්, ගෝරෝචන කස්තුරි, කපුරු, රත්රන්, ලුණුවිල යුෂ හා තනකිරෙන් ගලගා දරුවා උපන් සත්වෙනි දිනට පළමුව යෙදෙන ගුරු දින ඉර උදාවන වේලාවට දිව ගෑමෙන් ඔවුනට සරසවී පහළ වන බව දන්නා මාපියෝ මෙම බෙහෙත දරුවන්ට දෙති.
මෙම ඖෂධ වර්ග ආයුර්වේදයේ ඉතාමත් අගනා ඖෂධයන් ය. ගුරු දින සූර්ය උදාවත් සමඟ යෙදෙන්නේ ගුරු හෝරාවය. බ්‍රහස්පති, ග්‍රහ මණ්ඩලයේ සිටින පුරෝහිත බ්‍රාහ්මණයා උගත් පඬිවරයා ලෙස සැලකේ මෙසේ ගුරු දින ගුරු හෝරාවෙන් එම බෙහෙත දිව ගෑමෙන් දරුවාට ගුරු ග්‍රහයාගේ ආකර්ෂණය ලැබෙන බව අපේ මුතුන් මිත්තන් දැන සිටියහ. මෙම ආයුර්වේද ඖෂධවලට ග්‍රහ ආකර්ෂණයක් ලබාගැනීමක් නොවන්නේ ද? ගුරු ගෙදරට යවන දරුවාට සරසවි වරම් ලබා දීමට පොහොසත් ඖෂධ වර්ග ආයුර්වේද වට්ටෝරු අතර එමට ඇත. එම සෑම බෙහෙතක් සිඳීමට ලිප් බඳින්නෙත් ලිප ගිනි මොලවන්නෙත් බෙහෙත් වලඳේ තැන්පත් කරන්නෙත් සිඳගත් බෙහෙත බිමට තබන්නෙත් සුබ නැකත් හෝරා අනුවය. එම බෙහෙත ජීවම් කිරීම ආදිය කරන්නේනම් එයටද නැකත් බලයි. මේ අනුව ඖෂධවලට ග්‍රහ ආකර්ෂණය ලබා ගන්නා අයුරු අපේ සෘෂිවරු දිවසින් දැක වදාළ සෑම බෙහෙතක්, කල්කයක්, තෙලක්, නැකත්වලට සකස්කර ගැනීමෙන් ඒවායේ ඖෂධීය ගුණ දෙගුණ තෙගුණ වන බව අපේ වෛද්‍යවරුන්ට අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ආචාර්ය
හංසක ප්‍රභාස්ව සමරනායක