වැලමිටේ වේදනාව නොසලකා ඉන්න එපා

නොවැම්බර් 22, 2024

ගෘහිණියන් මෙන්ම විවිධ රැකියාවල නියුතු වෘත්තිකයන් ද ක්‍රීඩා සහ ව්‍යායාම්වල නියැළෙන පුද්ගලයන් අතර ද සුලභව දැකිය හැකි තත්ත්වයක් ලෙස වැලමිට වේදනාව දක්වන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ වෙනසකින් තොරව සහ වයස් භේදයකින් තොරව මේ රෝග ලක්ෂණය බොහෝ දෙනා අතර පැතිරෙනවා.

ලොව පුරා වැඩිහිටි ජනගහනයෙන් සෑම වසරකම 1-3% අතර ප්‍රමාණයක් එම රෝග ලක්ෂණයෙන් පීඩා විඳීනවා. තරුණයන් සහ දරුවන් සැලකීමේදී ද ඉහත දක්වා තිබෙන තරම් පැතිරීමක් දක්නට නොලැබුණ ද සැලකිය යුතු ලෙස රෝග ලක්ෂණය පැතිර තිබෙනවා.වැලමිට වේදනාව රෝග ලක්ෂණයක් වන නිසා එය ඇතිවීම සඳහා යම් ප්‍රාථමික රෝගී තත්ත්වයක් තිබිය යුතුයි. ලොව පුරා පවතින වැලමිට වේදනාවන් සලකා බැලීමේදී එම වේදනාවන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් රෝග දෙකක් හේතුවන බවට පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා.

මේ රෝග දෙක වන්නේ Tennis Elbow  ලෙස හඳුන්වන Lateral Epicondylitis සහ Golfers Elbow ලෙස හඳුන්වන Medial Epicondylitis නම් රෝග තත්ත්ව දෙකයි. මේ රෝග දෙකෙහිදීම සිදුවන්නේ ඇඟිලිවල සහ මැණික් කැටුවේ දිගැරීමට සහ නැමීමට හේතුවන වැලමිටෙහි පිටතින් සහ ඇතුළතින් පවතින මාංශ පේශි ආරම්භ වන Common Flexor Origin සහ Common Extensionor Origin  නම් කොටස්වල ඇතිවන ප්‍රදාහයික තත්ත්වයයි.

මේ රෝග දෙක වැලඳීම සඳහා හේතු කාරණා ප්‍රධාන වශයෙන් තුනක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

 

වැලමිට අධිකව භාවිතය

වැලමිට සහ මැණික් කටුව ආශ්‍රිත චලන වැඩි වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් සහිත වැඩකටයුතු රැකියාවේදී සහ නිවසේදී අධික වශයෙන් කිරීමට සිදුවීම මෙලෙස අධික භාවිතය ලෙස පැහැදිලි කරන්නට පුළුවන්.

 

වැලමිට සන්ධියට සිදුවන අනතුරු

වැලමිටේ ඇතුළෙහි සහ පිටත පවතින මාංශ පේශි ආරම්භක ස්ථානවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වන ලෙස ඇතිවන වැදීම්, වැටීම්, තැලීම් සහ වැලමිට සන්ධියට සිදුවන අස්ථි බිඳීම්වලින් පසුව ඇතිවන අනතුරු නිසාද මෙය සිදුවන්නට පුළුවන්.

 

දුම් පානය කිරීම

නිකටීන් භාවිතය සහ දුම්පානය නිසා පේශි කන්ඩරාවලට නිසියාකාරව රුධිරය නොලැබී යාමේ ගැටලුවක් ඇතිවෙනවා. මේ නිසාද ඉහත රෝගය වැලඳෙන්නට පුළුවන්.

 

ටෙනිස් එල්බෝ හෙවත් Lateral Epicondylitis රෝග ලක්ෂණ

වැලමිටේ පිට පැත්තෙන් පැන නඟින ඒකාකාර හෝ විටින් විට ඇතිවන වේදනාව.

මැණික් කටුව සන්ධිය චලනය කරන විට, වැලමිට සන්ධිය චලනය කරන විට සහ අතින් යමක් ග්‍රහණය කරන විට එම වේදනාව වැඩිවේ.

උදෑසන ඇතිවන වැලමිටේ තද ගතිය.

වැලමිටෙහි මාංශ පේශිවල ඇතිවන වේදනාව.

ග්‍රහණ හැකියාව දුර්වල වීම.

වැලමිටට පිටතින් ඇතිවන සුළු ඉදිමීම.

සමහර අවස්ථාවලදී වේදනාව වැලමිටේ සිට ඇඟිලි දක්වාද විහිදිය හැකිය.

 

ගොල්ෆර්ස් එල්බෝ හෙවත් Medial Epicondylitis රෝග ලක්ෂණ

 

වැලමිටෙහි ඇතුළු පැත්තෙන් පැන නඟින ඒකාකාරව පවතින හෝ විටින් විට ඇතිවන වේදනාව.

මැණික්කටුව සන්ධිය නැමීමේදී වේදනාව වැඩිවීම.

අත සෙලවීමේදී ඇතිවන වේදනාව.

සමහර අවස්ථාවලදී වැලමිටේ ඇතුළු පැත්තෙහි පවතින වේදනාව සුළැඟිල්ල දක්වා ද විහිදී යා හැකිය.

වැලමිටෙහි ඇතුළු පැත්තේ සිට ඇඟිලි දක්වා විහිදෙන හිරිවැටීමේ ස්වභාවය.

වැලමිටේ ඇතුළු පැත්තේ ඇතිවන සුළු ඉදිමීමේ ස්වභාවය.

මේ රෝග දිවිත්වයට අමතරව වැලමිට වේදනාව ඇතිවීමට පහත රෝගද හේතු වන්නට පුළුවන්

වැලමිට ආශ්‍රිතව පවතින වෙනත් පේෂි කන්ඩරාවල ඇතිවන ප්‍රදාහයික තත්ත්වයන්.

වැලමිට ආශ්‍රිතව පවතින Bursa  නම් ව්‍යුහවල ඇතිවන ප්‍රදාහයික තත්ත්වය.

වැලවමිට ආශ්‍රිත මාංශ පේශිවල සිදුවන ඉරීම්.

වැලමිට ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම්.

වැලමිට සන්ධියට වැලඳී තිබෙන සන්ධි ප්‍රදාහයික තත්ත්වයන්.

වැලමිට ආශ්‍රිතව පවතින ස්නායුවලට සිදුවන ඇදීම්.

ප්‍රතිකාර

වැලමිට සන්ධියට ඇතිවී තිබෙන වේදනාවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා පළමුවෙන්ම අදාළ රෝගී තත්ත්වය නිවැරැදිව හඳුනාගත යුතු වනවා. නිවැරැදිව හඳුනාගත් රෝගයට අනුව ප්‍රතිකාර නියම කළ යුතුයි. මාංශ පේශි හෝ වෙනත් මෘදු පටක ආශ්‍රිතව පවතින ඉහතින් සඳහන් කළ පරිදි ප්‍රදාහයික තත්ත්වවලදී ප්‍රධාන වශයෙන් පාරම්පරික තෙල් ප්‍රතිකාර තැවුම් ප්‍රතිකාර සමඟ භාවිත කරන්නට පුළුවන්. මේ ප්‍රතිකාර සමඟ අදාළ අතේ වැලමිට සන්ධියට සහ මැණික් කටු සන්ධියට නිවැරදිව විවේකය ලබාදිය යුතු වනවා. එමඟින් අදහස් කරන්නේ එම අතින් සිදු කරන ගේදොර ආශ්‍රිතව සහ කාර්යාලීය වැඩ කටයුතු සීමා කිරීමයි. රෝග තත්ත්වය වඩාත් දැඩිව පවතින සහ කල්ගත වූ අවස්ථාවේ පවතින විට පත්තු යෙදීමද සිදු කරන්නට පුළුවන්. ඇඟිලිවල මාංශ පේශි දුර්වලතාවයක් පවතිනවා නම් ප්‍රතිකාර සමඟ ඇඟිලිවලට ව්‍යායාම කිරීම ද සිදුකළ යුතුයි. මේ වැලමිට වේදනාවන් වම් හෝ දකුණු එක් අතක වැලඳී ඇති විට අනෙක් අතින් වැඩිපුර ක්‍රියාකාරකම් සිදුකිරීමට යෑම නිසා කලින් රෝගයක් නොමැතිව තිබූ එම අතටද වැලමිට ආශ්‍රිත වේදනාවන් ඇති වන්නට පුළුවන්. ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ඒ පිළිබඳව නිවැරැදි අවබෝධයකින් පසු වී නිවැරැදි උපදෙස් ලබාදීම අත්‍යවශ්‍ය වනවා. හිරිවැටීම, සංවේදන දුර්වලතාවයන් සහ මාංශ පේශීවල දැඩි දුර්වලතාවයන් පවතින අවස්ථාවලදී ඒ සඳහා චීන කටු වෛද්‍ය ක්‍රමයද භාවිත කරන්නට පුළුවන්.

ප්‍රථමධාර

 

වැලමිට වේදනාවක් ඇතිවී තිබේ නම් වේදනාවත් සමඟ වැඩ කටයුතු කිරීම නවත්වන්න.

වේදනාව දැනෙන තැනට මිනිත්තු පහළොවක් හෝ විස්සක් පමණක් අයිස් තැබීම සිදුකරන්න. මෙය දවසට තුන් පාරක් පමණ කිරීම වඩාත් යෝග්‍ය වනවා.

අතින් බර ඔසවාගෙන යෑම සහ තල්ලු කිරීම වැනි ක්‍රියාවන් හැකිතාක් අවම කරන්න .

ලිවීම, උයන පිහින වැඩ, පරිගණක භාවිතය සහ Smart ජංගම දුරකථන භාවිතය හැකිතාක් අවම කරන්න.

වැලමිට ආශ්‍රිතව සුළු ඉදිමිමේ තත්ත්වයක් තිබේ නම් අයිස් තැබීමත් සමඟ මඳ පීඩනය එල්ල වන පරිදි වෙළුමක් යෙදීම වඩාත් යෝග්‍යයි.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.