වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
සිත සහ මතකය
සිත තිබෙන්නේ කොහේ ද යන්න පිළිබඳ අදටත් අපට ඇත්තේ පැනයකි. එයට හොඳම උදාහරණය යම් තීරණයක් ගන්නා විට මොළයෙන් හා හදවතින් සිතන ආකාරය ගැන කියැවෙන පාඨයන්ය. සිතට වහල් නොවී මොළයට ඉඩ දෙන්න යනුවෙන් හෝ හදවතින් සිතා මොළයෙන් තීරණ ගන්න යනුවෙන් බොහෝ විට උපදෙස් ලැබෙන්නේ මොළය සහ හදවත මෙන්ම සිත යනු වෙනම ආකාරයන් තුනක් ලෙස අතීතයේ පටන් සලකන නිසා විය යුතුය.
ඡ්‍යොතිෂයට අනුව ගත්කල ද බුධ ඥානකාරක මෙන්ම ගුරු ප්‍රඥාකාරක ලෙස ඥානය සහ ප්‍රඥාබුද්ධිය වෙන් කෙරෙන අතර චන්ද්‍රයාගෙන් සිත ගැන කියැවෙයි. ඥානය හා ප්‍රඥාව යනු දෙකක් බව පැහැදිලිය. ඇතැම් උගතුන්ට තමන්ගේ විෂයය දැනුම කොතෙක් පරතෙරට තිබුණ ද ව්‍යවහාරික ඥානය නැත්තේ ඥානය හා බුද්ධිය දෙකක් වන බැවිනි. එසේම ධර්මය වුවත් අප කෙතරම් හදාරා තිබුණ ද එය ප්‍රත්‍යක්ෂ නොවන්නේ මේ වෙනස නිසාය. ඥානය හා බුද්ධිය එලෙස වෙන්වද්දී ඊට හාත්පසින්ම වෙන් කොට සිත ගැන පැවසෙතත්, සිත යනු වෙනම ඉන්ද්‍රියයක් ලෙස මෙතෙක් සොයාගෙන නැත. එය සංඥා මාත්‍රයක් ලෙස හෝ විඤ්ඤාණය ලෙස හෝ ඒ සංවේදනා ගබඩා කරන යම් අදෘශ්‍යමාන දෙයක් ලෙසය සැලකෙන්නේ.
විද්‍යාවට අනුව සිත සොයාගත නොහැකි වුවද සිත යන්න පිළිබිඳ මනා විග්‍රහයක් බෞද්ධ දර්ශනයේ ඇති බව අපි හොඳීන්ම දනිමු. ඒ කෙසේ වෙතත් මතකය යන පදය සමඟ බොහෝ විට කියැවෙන්නේ සිත යන පදය බවද අපි භාවිතයෙන් දනිමු. පාඩමක් මොළයේ තබා ගන්න කියනවාට වඩා එය සිතේ තබා ගන්න යැයි කීම මතකය සහ සිත අතර ඇති සම්බන්ධය මොනවට පැහැදිලි කරයි. රහස් පවා අප තබා ගන්නේ සිතේ මිස මොළයේ නොවේ. එය පැරැණියන් කටට ආවාට කියන නිකම්ම නිකම් වචනයක් නොවන බව මේ වන විට නූතන විද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු කරගනිමින් පවතී.
පසුගිය දා විද්‍යාඥයන් පිරිසක් විසින් හෙළිදරවු කරගෙන ඇති තොරතුරුවලට අනුව මතකය පවතින්නට හේතු වන්නේ මොළය පමණක් නොවේ. ශරීරයේ සෑම ඉන්ද්‍රියයකම සෛලවල මතක ගබඩා වන ජානයක් ඇත. අපේ පැරැණි ගුරුවරුන් ටොකු අනිමින් උගන්වන අතර පාඩම හොඳීන් හිතට ගෙන ඇඟට ජීර්ණය කරගන්නා ලෙස තරවටු කළේ මේ බව කෙලෙසක හෝ දැන සිටි නිසාදෝ යැයි සැකයක් මතු වන්නේ එවිටය. ආහාරයක් මෙන්ම ඇතැම් වටිනා අමතක නොවන සිදුවීමක් ඇඟටම ජීර්ණය වී ඇති බව අපටත් යම් මොහොතක දැනෙන්නේ මේ හේතුව නිසා විය හැකිය. එහෙත් ඒ සඳහා වේගවත් අධ්‍යාපනයකට වඩා විරාම සහිත පාඩමක් ලැබිය යුතු බවද නූතන විද්‍යාත්මක පර්යේෂණ පවා තහවුරු කරයි. බොහෝ විට අද අප කරනුයේ ඉතා වේගයෙන් පුනරීක්ෂණ පන්ති කරන්නා සේ කරුණු ඔළුවට දාගන්නට හදනවා මිස එය වටහාගෙන මතක තබා ගන්නට උත්සාහ කිරීම නොවේ. විශ්වවිද්‍යාලයක වුව විභාගයට පෙර ගිරවා පාරක් දාගෙන ප්‍රශ්න පත්‍රයට ලකුණු ගැනීම මිස විෂයය කරුණු පත්‍යයං වනතුරු හැදෑරීමට තරම් ඉසිඹුවක් දැන් නැත. එතරම් වේගවත් ගමනක මිනිසුන් හැල්මේ දුවන බැවිනි.
කෙසේ වෙතත් මේ පර්යේෂණයේ ප්‍රතිපල වැදගත් වන්නේ පිළිකා රෝගීන්ට කීමෝ තෙරපිය දුන් බව ඒ සෛල මතක තබා ගෙන සිටින බැවින් මෙන්ම අගන්‍යාශය අප කලින් ගත් ආහාර පිළිබඳ මතක තබාගෙන රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමට කරන මෙහෙය වැනි දේ දැනගැනීමට ලැබෙන නිසාය. විහිළුවට පොඩි මොළේ යැයි පවසන වකුගඩුව සතු මතක ශක්තිය මෙහිදී වැදගත් ලෙස සැලකෙන අතර පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේද එහි සෛල වීම විශේෂත්වයකි.
ශාකවලට මෙන්ම ඒක සෛලික ජීවීන් වන බැක්ටීරියා ආදියට සිතක් කෙසේ වෙතත් මතකයක් තිබේද යන්න පිළිබඳ සංවාදයේදී සංගීතයේ රටා අනුව සහ ගස් කපන්නන් දුටු මතින් ශාකවල ඇති වූ වෙනස්කම් පිළිබඳ පර්යේෂණවලින් ඒවායේ මතක ශක්තිය පිළිබඳ සකච්ඡා කෙරුණේ මීට අඩසියවසකටත් පෙර යුගයේ සිටය.
පාඩම් හොඳීන් සිතට යන්නේ විරාම සහිතව ඉගැන්වීමෙන් බව මෙයින් පැහැදිලි කිරීම අනාගත අධ්‍යාපන ක්‍රම පවා වෙනස් කිරීමට හේතු විය හැකිය. අපගේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රම මෙන්ම ස්වාභාවික පරිසරය ඇසුරේ ලබන අධ්‍යාපන ක්‍රම මතක ගබඩාවට බෙහෙවින් වැදගත් වනු ඇත. ශරීරයේ සෛලවල මතක ජානය අවදි කරමින් බෙහෙත් හේත් කිරීම සහ ඖෂධ පිළිබඳ මතකය ගබඩා කරගැනීමට රෝගියාගේ සිරුරට කාලයක් දීම ආයූර්වේදයේ සහ සිංහල වෛද්‍ය ක්‍රමයේ ස්වභාවයයි. මතු යම් දිනෙක මේ ක්‍රම වඩාත් පිළිගැනීමට ලක්වීම මෙවැනි පර්යේෂණවලින් සිදුවිය හැකි ප්‍රතිලාභ ලෙස සලකා ඉදිරි දැක්මක් සහිතව ඒවාට සූදානම් වීම අප විසින් අද අදම කළ යුතු වැදගත්ම කටයුත්තක් වන්නේය. සාම්ප්‍රදායික ඥානය, දැනුම හා ක්‍රමවේද හමස් පෙට්ටියට දමා නූතනත්වය කරපින්නාගෙන සිටිනවාට වඩා වසර දස දහස් ගණනක් පැරැණි මේ ශාස්ත්‍රයන් මෙතෙක් පැවතෙන්නේ එහි කෙබඳු වටිනාකමක් නිසාද යන්න අවබෝධ කරගන්නේ නම් සහ නූතන විද්‍යාවන් යළි සොයා ගන්නේ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඒ දැනුම අලුත් ආකාරය බව අවබෝධ කරගන්නේ නම් ඒ පෙර සූදානම අනාගතයේ ලොවක් දිනන්නට හේතුවනු නිසැකය.