ජීවිතය විඳින්න පුරුෂ ශක්තිය වඩවන රහස්

දෙසැම්බර් 13, 2024

අද බොහෝ රෝගීහු තම රෝග සුවකර ගැනීමට වෛද්‍යවරුන් සොයා යති. තම ශරීරගත බොහෝ රෝග ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්, සමහර රෝග සඟවා, මානසිකව දුක්විඳිමින් කල් ගෙවති. තමන්ට ලිංගික ආසාවන් නැතිකමත්, පිරිමින්ගේ ලිංගික දුර්වලතාවන් පිළිබඳ ප්‍රකාශ කර ප්‍රතිකාර කර ගැනීම තම පෞරුෂයට හානියක් බව සිතති.

මේ නිසාම හිතුමතේ විවිධ ඖෂධ ෆාමසිවලින් ගැනීමට පුරුදු වී සිටිති. වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ගැනීම නිසා ජීවිතයෙන් පවා වන්දිගෙණන අවස්ථා වාර්තා වී ඇත.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ පිළිබඳ වෙනම චිකිත්සාවලියක් ඇත. එය වාජීකරණ තන්ත්‍රය (RejuVenation) ලෙස හඳුන්වයි. අෂ්ටාංග ආයුර්වේදයේ අංග අට අතුරින් වාජීකරණ තන්ත්‍රය එක් අංගයකි. ලිංගික ශක්තිය වර්ධනය කරන ආකාරය සහ නීරෝගි දරු පරපුරක් ලබා ගන්නා ආකාරය මැනවින් විස්තර කර ඇත. අද ලොව පුරා ජනීජනයා ආයුර්වේදයේ මේ අගනා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාව සොයා ඇදී එති. එයද අපගේ විදේශ විනිමය ලබා ගැනීමට හේතු වී ඇත.

වාජීකරණ යනුවෙන් හැඳින්වනුයේ මෛථූන ක්‍රියාවලියේ යෙදීමට හැකියාව ලබාදෙන චිකිත්සාවලියයි.

වාජී යනු අශ්වයාය (Horse)

කරණ යනු ශක්තියයි (power)

මෙයින් අදහස් කරනුයේ තුරඟෙකු (අශ්වයකු) මෙන් ආශාවෙන්, ශක්තිමත්ව මෛථූන ක්‍රියා කිරීමට හැකි බවයි.

‘යෙන නාරීශු සාමාර්ත්‍යං

වාජීවල්ලභතේ නරඞ

ව්‍රජේවිජාභ්‍යාධිකං යේන

වාජීකරණ මේව කත්”

පුරුෂයෙකු අශ්වයකුගේ ශරීර ශක්තියෙන් යුක්තව ලිංගික කටයුතුවල යෙදෙයිද? එය වාජීකරණ තන්ත්‍රයයි.

ශරීරගත පුරුෂ ශක්තිය වැඩිවීමට ශාරීරික මානසික යෝග්‍යතාවය තිබිය යුතුය. සමහරුන්ට නිසි පෝෂණයක් නොමැතිව විවිධ මානසික ප්‍රශ්නවලින් යුක්ත නම් ඔහු රෝගියෙකි. ශක්තිය දුර්වල වේ. මේ මූලික කරුණට අමතරව,

ශුක්‍ර ධාතුව වර්ධනය වන ඖෂධ/ ආහාර ගත යුතුය.

ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශ්වයම නීරෝගි විය යුතුය.

අඬදබරවලින් වැළකී සතුට, සාමය නිවෙස තුළ තිබිය යුතුමය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් බලන්නේ මිනිසාගේ කායික තෘප්තිය වගේම නීරෝගි අනාගත පරපුරක් බිහි කිරීමයි.

අප අනෙකුත් රෝග සඳහා ප්‍රතිකාර ගත්තත් ප්‍රජනන ඉන්ද්‍රියගත රෝග සඳහා වෛද්‍යවරුන් වෙත යාම අඩුය.

ශරීරගත ශක්තිය ඇතිවන්නේ පෝෂණය මතයි. මේ පෝෂණය සඳහා විවිධ අධික මිල ආහාර අවශ්‍ය නැත. අප අවට ඇති කොස්, දෙල්, අල, බතල, විවිධ පලාවර්ග, මාළු වර්ග, ප්‍රමාණවත්ය.

අද බොහෝ දෙනකු කරනුයේ නිවෙසේ එළදෙනගෙන් ලබාගන්නා කිරි විකුණාූ කුණු වූ කරවල ආහාරයට ගැනීමයි. කිරි ශරීර ශක්තියට ප්‍රශස්ත ආහාරයකි. නිසි ආහාර තුළින් මානසික ශක්තිය වැඩිවනු ඇති ස්වස්ථයාගේ ( මිනිසාගේ) ස්වස්ථ (සෞඛ්‍යසම්පන්න) බව වැඩි කිරීම අත්‍යවශ්‍යයි.

අප වාජීකරණ හෙවත් ලිංගික ශක්තිය දුර්වල වන කාරණය ගැන අවබෝධයක් තිබිය යුතුය. මේ අතර දියවැඩියාව, වැනි රෝග ඇතිවීම, දුම්වැටි මත්පැන් නිතර භාවිතය ක්ෂණික ආහාර නිතර ගැනීම, ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ගැනීම, දිගු වේලාවක් එක තැන වාඩිවී වැඩ කිරීම අධිකව මහන්සි වී වැඩ කිරීම, හිරවෙන යට ඇඳුම් ඇඳීම, ආදි හේතුන් නිසා ලිංගික බෙලහීන තත්ත්වයට පත්වනු ඇත.

සමහරුන්ගේ පුරුෂ ලිංගය කුඩා වීම මේ සඳහා කිසිසේත්ම බලපාන්නේ නැත.

ශුක්‍ර ධාතු අඩු පුද්ගලයන්ද සිටිය හැකිය. ඒ අය මධුර (මිහිරි) ආහාර ස්නිග්ධ ආහාර , ගුරු (බෂ්) වෘංහන ආහාර සේවනය කළ යුතුය.

කිරි, බිත්තර ආහාර හිතකර වේ. විශේෂයෙන් රටඉඳි, මුද්දරප්පලම්, තිරිඟු, බාර්ලි ගුණදායකයි. සියලුම පලා වර්ග හිතකරයි. හාතාවාරිය, ඉරමුසු, ගොටුකොළ, වැල්පෙනෙල, මැල්ලුම හෝ කැඳ ඉතා ගුණදායක වේ.

ශුක්‍රතරලය හීන අය, අමුක්කරා, වඳුරු මෑ, කිරිබදු අල, ගිතෙල්, මී පැණි ගැනීම ප්‍රශස්තයි.

ආහාර පමණක් නොව අපගේ ජීවිතය විඳවන්නේ නොමැතිව විඳීමට නම් සුවදෙන ස්පර්ශය, මිහිරි සංගීතය, නැටුම් ගැයුම්, වැයුම්, සඳහා යොමුවන්න. විශේෂයෙන්ම සුවදායක නින්දක් ලබාගන්න. ඒ මඟින් ශරීරය සුවතාවයක් මෙන්ම කායික මානසික වශයෙන් ප්‍රබෝධවත් ලෙස ජීවත්වෙන්න. එතැනයි ජීවිතයේ සතුට ඇත්තේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.