සුබසෙත සුවසෙත

නොවැම්බර් 1, 2024

 

ප්‍රබෝධී - අලව්ව

ප්‍රශ්නය

වෛද්‍යාචාර්යතුමනි, මා විසි දෙහැවිරිදි කාර්මික අධ්‍යාපනය ලබන සිසුවියෙකි. මගේ සම වියළි බවක් පෙන්නුම් කෙරේ. සමේ රැළි වැටීම හා කොරළ මතුවීමක් ද පෙන්නුම් කෙරේ. එසේ කොරළ මතුවී ඇත්තේ දෙඅත්වල සහ වැළමිටෙන් පහළ කොටසට ය. කකුල් දෙකේ ද දණහිසෙන් පහළ කොරළ මතුවී ඇත. මෙසේ පවතින කොරළ ගතිය ඉවත් කර ගැනීමට සුදුසු ප්‍රතිකාරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර

සමේ වියළි බව හා කොරළවලට හේතුව සමේ තෙත ගතිය අඩුවීමයි. ඒ නිසා වැඩියෙන් ජලය පානය කරන්න. ආහාර ගත් විගස කුස පිරෙන තරමට ජලය පානය නොකළ යුතුයි. ජලය පානය කළ යුත්තේ ටික වේලාවක් ගතවූ පසුවය. සමේ පවතින ගොරහැඩි බවට වෙනිවැල් කුඩු කොකුම් පොතු කුඩු සහ වියළි කහ කුඩු එක පමණට එකට කලවම් කර ළිප තබා තලතෙලින් කකාරවා රස්නය ගිය පසු සමේ ආලේප කරන විට ගොරහැඬි බව ඉවත්ව සමේ වර්ණය ඇතිවේ. අලුත් එළවළු හා පලතුරු ආහාරයට ගත යුතු අතර අධික තුනපහ යෙදූ ව්‍යාංජන හා තෙල්බැදුම්, තෙල් තෙම්පරාදු ආහාරයට ගැනීමෙන් වළකින්න. ශරීරගතව යම් රෝගාබාධයක් පැවතිය හැකි බැවින් දේශීය වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය.

 

එස්.එම්. පුබුදු නානායක්කාර - වදුරඹ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, අවුරුදු හතළිස් හතරක් වන මා ගුරුවරයෙකි. ටික දිනක සිට දිවා රාත්‍රී කෑම කෑවාට පසුව බඩ රිදෙන ගතියක් පැවතියා. ඒ අතර යටි බඩේ වේදනාව නාභියේ සිට මූත්‍රා මාර්ගය දක්වා සියුම් වේදනාවක් ඇතිවන අතර ඔක්කාරයට එනවා. මූත්‍රා කරන විට වේදනාවකුත් ඇති වෙනවා. මුත්‍රා දැඩි උෂ්ණත්වයෙන් පිට කරන නිසා පොල්පලා තම්බා බිව්වත් ඒත් සුවයක් ඇති වුණේ නැහැ. මෙයට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර -

රෝගී විස්තරය අනුව නම් ඔබට ඇත්තේ මූත්‍රාශ්මරී රෝගයයි. එම රෝගයට නිසි ප්‍රතිකාරයක් ලබාදිය හැක්කේ ඔබ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය. එතෙක් අක්කපාන කොළ සලාදය, කුප්පමේනියා කොළ වෑංජනය, නීරමුල්ලිය, පොල්පලා, රණවරා, හාතාවාරිය, බෙලි මුල්, වැනි ඖෂධයන් තම්බාගත් ජලය බීමට ගන්න. වැටකොළු, පතෝල වැනි දියර එළවළුත්, ඉදුණු ගස්ලබු, කෝලිකුට්ටු, අමු නෙල්ලි, ඇතිවන වේදනාව සමනය කරයි. නිතර නිතර උණුකර නිවාගත් ජලය ද පානය කරන්න. තෙල් බැදුම්, තෙම්පරාදු කිරීම් පිටි හා අලවර්ග ක්ෂණික බීම ඉතා අහිතකරය. මූත්‍රා ගල් රෝග තත්ත්වයේ දී එය සුවපත් කරලීම සඳහා ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

 

යු.කේ. පියසිරි - තිඹිරිගස්යාය.

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම දැව කඳන් ව්‍යාපාරයක යෙදී සිටින තිස් අට හැවිරිදි අයෙක්මි. දැනට කලක සිට මම මහන්සි වුණත් නූනත් අධික ලෙස දහඩිය දමනවා. මම සාමාන්‍ය පෙනුමට සිටි සමේ පැහැය තිබූ අයෙක්මි. නමුත් දැන් පැවැති සමේ පැහැය වෙනස් වී සමද ගොරෝසු බවට පත්වෙලා අතපයේ හිරිගතියක්ද පවතිනවා. සමහර වෙලාවට සිරුරේ අධික දාහයෙන් පවතින අතර සිරුරේ කලු වගේ ගතියක් මතුවෙලා තුවාලත් තියෙනවා. මගේ හිත මිතුරන්ගේ කීමට දොස්තර මහත්තයකුගෙන් බෙහෙත් ගත්තත් සුවයක් නැහැ. ආයුර්වේද වෙදකම අනුව රෝගය සුවකර ගැනීමට බෙහෙත් ලබාදෙනමෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර

ඉහත සඳහන් රෝග තත්ත්වය අනුව නම් පවතින්නේ කුෂ්ඨ රෝගයයි. මේ රෝගය ඇතිවන්නේ එකිනෙකට විරුද්ධ වූ ආහාරපාන ගැනීම තෙල් අධික, පිටි අධික ආහාර ගැනීම, මළ මූත්‍රා වේග දැරීම, ආහාරගත් විගස දැඩි ලෙස වෙහෙස මහන්සිවීම අව්වට හා ගින්නට සමීපව කටයුතු කිරීම, මුදවපු කිරි, මස්, මාංශ, කරවල, ජාඩි මාලු, අබ, විනාකිරි, හරක්මස්, ඌරු මස්, අච්චාරු, ලුණු ඇඹුල් යෙදූ ආහාර වැඩිපුර ගැනීම ආහාර ගත් විගස නැවත නැවත ටික ටික ආහාර ගැනීම දහවල නිදාගැනීම යනාදිය ඇතුළු තවත් සාධක රැසක් මේ රෝගයට හේතුවේ. රෝගයට ප්‍රතිකාර ලබාදීමේ දී ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතු ය. මෙවැනි රෝගවලදී සම පිරිසුදුව තබා ගැනීමට උනන්දුවිය යුතු ය. අඳින පලඳින ඇඳුම් හා ඇඳ ඇතිරිලි සෝදා පිරිසුදු කර ගත යුතු අතර ඒවා විෂබීජ නාශක දියරයෙන් ද සෝදා පිරිසුදු කරගත යුතු ය. සමේ ගෑම සඳහා පිණ්ඩකාල, නීල්‍යාදී තෛලය, සර්ව විශාදී තෛලය වඩාත්ම සුදුසු ය. තවත් කුෂ්ඨ ශෝධනයට අවශ්‍ය සෝධන ආලේපන පානය කිරීමට ලබාදෙන අරිෂ්ට ආසව ආදී ඖෂධ කුෂ්ඨ රෝගයේ ප්‍රභේද මත ආයුර්වේද වෛද්‍යවරයා විසින් ලබාදීමෙන් හා එම උපදෙස් අනුව කටයුතු කිරීමෙන් රෝගය සුවපත් කරගත හැකිය.

 

සුරනි - ජයනිකා වත්තල්පල

ප්‍රශ්නය

වෛද්‍යාචාර්යතුමනි, අපි දෙන්නා මැහුම් ආයතනයක සේවය කරන අවුරුදු දහ අටක සහ අවුරුදු විසි දෙකක තරුණියන් දෙදෙනෙකි. අපගේ ප්‍රශ්නය වන්නේ අප දෙන්නාගෙම හිසකෙස් තැනින් තැන පැසී තිබීමයි. සුදු වී තිබීමයි. හිස පීරන විට දැඩි ලෙස එය මතුවීමෙන් අපේ වයසට වඩා වයසක් පෙන්නුම් කිරීමයි. මේ නිසා වෙළෙඳපොළෙන් හිසකෙස් කළු කරන ෂැම්පු ගෙනත් ගෑවා. ඒවා දින තුනෙන් හතරෙන් ගාන තත්ත්වයකට පත්ව තිබෙනවා. එසේ නොගෑවම සුදුකෙස් මතුවෙනවා. එබැවින් සුදු වූ කෙස් කළුකර ගැනීමට ප්‍රතිකාරයක් ලබාදෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුර -

හිසේ ඇතිවන යම් යම් රෝග නිසා කෙස් සුදුවීම ඇතිවෙනවා. දෙහි ගැට, උළුහාල් හොඳින් තම්බා ගෙන ඒවා සිනිඳුවට අඹරාගෙන තලපයක් සේ හිස ගල්වා විනාඩි විස්සක් පමණ තලපය හිසේ තිබෙන්නට හැර පසුව හොඳින් හිස සෝදා හරින්න. කෙස් සුදුවීම නිසි පෝෂණයක් නොලැබීම නිසාත් සිදුවෙනවා. විෂ්ණුක්‍රාන්ති මල්, එඬරු තෙල් සමඟ මිශ්‍ර කර සිඳ හිස ගැල්වීමෙන් හිසකෙස් අකලට සුදුවීම වළකාගත හැකිය. හිසකෙස්වලට කරනු ලබන ඩයිවර්ග ආලේප කෙස් කළුකර ගැනීම සඳහා යොදන දියර වර්ග බොහෝමයක්ම හිසකෙස්වලට විසවීම නිසාත් කෙස් සුදුවේ. අමුනෙල්ලි ආහාරයට ගැනීම මෙන්ම යෝගට් ගෑමද හිසකෙස්වලට සුවදායකය. එමෙන්ම නීල්‍යාදී තෛලය හිස ගැල්වීමත් සුවදායකය. සිරුර උෂ්ණාධිකවීම නිසාත් හිසකෙස් සුදු වේ. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් සියලු රෝගවලට ප්‍රතිකාර ගැනීම සුදුසුය.

 

පී.පී. අනෝමා, නැදිමාල

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, විසිනව හැවිරිදි මා එක් දරු මවකි. මගේ දරුවා වයස අවුරුදු 02ක ගැහැනු දරුවෙකි. මේ දරුවට කොහොමටවත් දවල්ට රෑට කෑමක් කවන්න බැහැ. උදේට නම් මොනවා හරි කවන්න පුළුවන්. ඒත් ඒ අන්න කුරුල්ල ආවා. අන්න පපී ආවා කියමින් රවට්ටමින් බොහොම අමාරුවෙන් බත් කටක් කෑවත් ඒවා කටින් දමනවා. කිරි හදල දුන්නම බොනවා. බනිස් කෑල්ලක් දුන්නොත් කනවා. බත් කන්නෙම නැහැ. දරුවාට බත් කන්න බඩගින්න ඇතිවෙන්න මොනවා කළයුතුද යන්න දන්වන්නේ නම් ලොකු පිනකි.

පිළිතුර -

මේ සමාජයේ එක්කෙනෙක් දෙන්නෙක් නොව දරුවන් බොහොමයක්ම කෑමට දක්වන්නේ මැළිකමක්. දරුවන්ට බත් කවන්න ආච්චිලා , සීයලාත් ගෙදර ඉන්න අනෙකුත් අයත් නොගන්න උත්සාහයක් නැහැ. දරුවා රවට රවටා බත් කැවීමේ දී දරුවා තව තවත් කෑමට හොර වෙනවා. දරුවාට සෙම වැඩිවීම. නින්ද නොයෑමත් දරුවාගේ ආහාර ගැනීමට ඇති කැමැත්ත අඩුවෙනවා. දරුවා හැකිතාක් දුරට නිදිකරවීමට උත්සාහ ගත යුතුයි. එසේ නින්දට හුරු කිරීමෙන් දරුවාගේ බඩගින්න ඇතිවෙනවා. දරුවාට බඩගින්න නොමැතිවීමට එක් හේතුවක් වන්නේ පිටිකිරි බීමට දීමත් අමතරව යම් යම් පැණිරස ආහාර ලබාදීමත් ය. එදා අපේ මව්වරුන් මුල සිටම මව්කිරිවලට හුරුකළා වගේම කැකුළු සහල් ලුණු කැඳ ලබාදීමට ද උනන්දු වුණා. ඒනිසා දරුවට කුසගිනි ඇතිවීම ආහාර රුචිය වැඩිවීමත් සිදුවුණා. ඉන් බඩගින්න ඇති වුණා වගේම ප්‍රතිශක්තිකරණයත් ඇති වුණා.

සමහර මවුවරුන් ශීතකළ ආහාර, පැණිරස ආහාර ලබාදීමට පියවර ගන්නවා. ඉන් සෙම වර්ධනය වීමෙන් දරුවා රෝගියකු වනවා සේම කෑමටද පි‍්‍රයක් දක්වන්නේ නැහැ. සෙම කැස්ස පවතින නිසා දරුවා කෙසේවත් කෑමට පි‍්‍රයක් දක්වන්නේ නෑ. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාදීම සුදුසුය. දරුවාට බඩගින්න ඇතිවීමට උණුසුම් ජලය පානයට දෙන්න. වතුර උණු කරන විට එයට අමු ඉඟුරු කෑල්ලක්, සූදුරු ඇට දෙක තුනක් සුද්දරකගත් කලාඳුරු අලයක් දැමීමත් සුබදායකය. කෙසේ මුත් වෛද්‍යවරයකුට පෙන්වා පවතින රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගන්න.

 

එස්.ඩී.ඒ. තේනුවර, සරික්කාමුල්ල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ බාලම දරුවාට වයස අවුරුදු තුනක්. දරුවා පුරුද්දක් වශයෙන් අතේ මහපටැඟිල්ල උරනවා. ගෙදර හිටියත් ගමනක් බිමනක් ගියත්, බස් එකේදිත් ගමන් කරන විටත් මහපටැඟිල්ලම කටේමයි. කොපමණ කීවත් නවත්වන්නේ නැහැ. මහපටැඟිල්ලේ කොහොඹ තෙල් ගෑවා, මිරිස් ගෑව, ඒ කිසිවක් ගණන් නොගන්නා දරුවා මහපටඟිල්ලම කටේ දාගෙන උරනවා. කිසිම දෙයක් අහන්නේ නැහැ. නින්දේදීත් ඇඟිල්ලම උරනවා. මේ තත්ත්වයෙන් දරුවා මුදා ගැනීමට හැකි ප්‍රතිකර්මයක් හෝ උපදෙසක් ලබාදෙන්න.

පිළිතුර -

පළමුව කළයුතු වන්නේ දරුවාට වැඩි ආදරයක් දක්වා කතාබහ කරමින් සිට ඇඟිලි ඉරීමෙන් මුහුණ කැත වන බවත් , දත් ඉදිරියටවිත් මුහුණත් කැතවන බවත් කීමය. ඇඟිලි ඉරීම නතර කර සිටියහොත් හොඳ තෑග්ගක් දෙන බවත් පවසා දරුවා ළඟට ගෙන සුරතල් කරන්න. අවශ්‍ය තෑග්ග දැනගෙන රැගෙනවිත් ඇඟිලි ඉරීම ටිකෙන් ටික නවතාලීමට ඔහු කැමති කරවාගන්න. දරුවාට බැණ වැදීමෙන් හෝ තරවටු කිරීමෙන් වළකින්න. කෙසේවත් දරුවාගේ ඇඟිල්ලේ තීන්ත ගෑම බැඳ තැබීම, ඇඟිල්ලේ කොහොඹ තෙල් හා තෙල්වැඩි බැඳුම් කෑම වර්ග නොදීමට වගබලාගන්න. දරුවාගේ දත් ඉදිරියට නෙරා එන ගතියක් පවතින්නේ නම් දන්ත වෛද්‍යවරයකුට පෙන්නා උපදෙස් ලබා ගන්න.

 

ඩී.එච්.එන්.ඩී. ප්‍රනාන්දු

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි මා කුරුණෑගල විදුහලක ගුරුවරියකි. මට දැන ගන්නට අවශ්‍ය වී ඇත්තේ උණ සන්නිපාතය හෙවත් ටයිෆොයිඩ් උණ වැලඳීමේ තත්ත්වය පිළිබඳවයි. කොටස් වශයෙන් හෝ පිළිතුර ලබාදෙන්නේ නම් ලොකු උදව්වකි.

පිළිතුර -

උණ සන්නිපාතයේ මූලික ලක්ෂණය වන්නේ වැඩි වෙමින් පවතින උණ හා හිසරදයයි. සමහර විට දින කීපයක් තදින් උණ පැවතිය හැකි ය. රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් උණ සති ගණනාවක් වුවත් පැවතිය හැකි ය. දිව වේළන ගතියක් දිවේ මැලියම් බැඳීම, මල බද්ධය, පාචනය පැවතීම ලක්ෂණයි. රෝගියකු පාවිච්චි කරන ලද උපකරණ ආහාර හා ජලය මඟින් ද මැස්සන් මඟිනුත් රෝගය බෝවේ. මේ විෂ බීජය ශරීරගත වන්නේ ආහාර මාර්ගයෙහි සැල්මොනෙල්ලා වර්ගයේ විෂබීජයයි. රෝගියකුට වහා ප්‍රතිකාර ලබාදිය යුතු අතර රෝගය අනෙත් අයට බෝවීම වැළැක්වීම සඳහා එන්නතක් ලබාගත යුතුය. රෝගියාට උණුකර නිවාගත් ජලය පානයට ලබාදිය යුතු ය. එළවළු පළාවර්ග හොඳින් තම්බාගත යුතු අතර, අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත කටයුතු ද වෛද්‍ය උපදෙස්මත ක්‍රියාත්මක කළ යුතු ය.

 

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.