හොඳම ඔසුව සිනහවයි

ජුනි 16, 2023

“මොකද මාලි මේ උදේ පාන්දරම බුම්මගෙන?“ සිරි ඇසුවේ කනස්සල්ලෙනි.

“ඔයා ඔහොම ඉන්නකොට ගෙදර ශ්‍රියා කාන්තාව පැනලා ගිහින් මූදේවිගේ බැල්ම වැටෙන්න ගන්නවනේ. මට නම් තේරුම් ගන්න බෑ ඔයාගේ සුන්දර සුකොමළ සිනාවට මොකද වුණේ මේ කියලා“

මාලි එයට පිළිතුරු දෙමින් “මගේ හිනාවට වෙච්චි දෙයක් නෑ. තරුණ කාලේ තිබුණ සිනාව ඒ විදිහටම හැමදාම තියාගන්න බෑනේ. ඔයාට ඕනෙ නම් හිනා වෙවී ඉන්න. මගේ මූණ ඔහොම තිබුණාවේ.“ කීවාය.

“ඔයා මේ වයසට ගිය නිසාද ලස්සන හිනාවත් වසන් කරගෙන ඉන්නේ?“

මාලිගේත් සිරිගෙත් කතාබහ අතර එතැනට ආවේ පීතර මාමාය. “මොකක්ද මේ දෙන්න දෙමහල්ලන්ගේ අරවුල. මට පේර ගහ ගාවටත් ඇහුණා“ පිළිතුරු දුන්නේ සිරීය. “නෑ මාමෙ මේ මාලි කියනවා වයසට ගියාම හිනාව එච්චර ඕනේ නෑලු. හිනාවට වයස බලපානවද කියන්නකෝ?“ මාමා උගුර පාදමින් මෙසේ පිළිතුරු දුන්නේය. “හා හා දෙන්නම මේක අහගන්නකෝ. සිනහව කියන්නේ මනුෂ්‍යයන්ට තිබෙන මහා බලගතු ඖෂධයක් වගේම වශීයක්. සිනහවකින් දෙහදක් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම හිනාවක් කෙනෙකුට බලෙන් දෙන්නත් බෑ, බලෙන් ගන්නත් බෑ. ඒකට අමනාපකම් මනාප කරන්න පුළුවන්. හරිම ප්‍රියමනාපයි. සුන්දරයි.“ මේ අතර එතැනට ආවේ මාලීගේත් සිරීගේත් දියණිය සුරූපී ය. ඇයගේ සිනාව දුටු පීතර මාමා මෙසේ කීවේය.

“මේං බලන්නකො මේ දැරිවිගේ නම වගේම හිනාවේ ලස්සන. ඔහොම ඉන්න එපායැ තරුණ ළමයි වුණාම. මොකක්ද දුව කියන්න ආවේ?“

“සීයේ වෙද මහත්තයා දවසක් කීවා හිනාවෙන එක ගැන දැන් බටහිර ලෝකෙත් ලොකු පර්යේෂණ වගයක් කරලා තිබෙනවා කියලා. ඒ අනුව නිකම්ම ලැබෙන හිනාවෙන් අපට බොහොම ගුණ ලැබෙනවා කියලා. හිනාවෙන් මුළු සිරුරම සැහැල්ලු වෙනවාලු. හොඳ හෘදයාංගම හිනාවකින් විනාඩි 45ක් විතර අපේ මාංශපේශි ඉහිල් වෙලා ඇඟම සැහැල්ලු කරනවාලු.“

සීයා එයට අලගු තබමින්. “මමත් අහලා තියෙනවා, හිනාවෙන් ප්‍රතිශක්තීකරණය පවා වැඩි වෙනවා කියලා. මොකද සිනාසෙනකොට අපේ ආතතියට බලපාන හෝමෝන අඩුවෙලා ප්‍රතිශක්තීකරණ සෛල වර්ධනය වෙනවා. ප්‍රතිදේහ නිපදවලා ආසාදනයන්ට එරෙහිව සටන් කරන්න හැකියාව වර්ධනය කරනවා. ඒ නිසා සිනාවෙන අයට වැඩිය ලෙඩ රෝග හැදෙන්නේ නෑ.“

“ඇයි සීයේ තව අර එන්ඩ්‍රොපින් කියන හිත සතුටින් තබන්න පුළුවන් හෝමෝනය ශ්‍රාවයටත් හිනාව බලපානවලුනේ. ඒකෙන් ඇඟේ පතේ වේදනාවත් අඩුවෙනවාලුනේ. තව හෘදය වස්තුවේ ලෙඩවලටත් හිනා වෙන එක බේතක් වගේලුනේ. මොකද හිනාවෙනකොට රුධිර නාලවල ලේ ගමනාගමනය යහපත් වෙලා හාට් ඇටෑක් වගේ දේවල් හැදෙන එක අඩු කරනවලුනේ. අනෙක හිනාවෙනකොට අපේ සිරුරේ කැලරි ප්‍රමාණයත් පුච්චනවාලු. දවසකට විනාඩි 10ක් 15ක් විතර හිනා වෙනවා නම් අපට කැලරි 40ක් විතර පුච්චගන්න පුළුවන්ලු. එහෙම අවුරුද්දක් විතර හිනා වුණොත් කිලෝ තුනහතරකින් බරත් අඩු කරගන්න පුළුවන්.“

“අනෙක දෝණියේ හිනා වුණාම කේන්තියත් අඩුවෙනවානේ. ඒකෙන් එකිනෙකා අතර අසමගිකම්, තරහ මරහ ආදියත් නැති වෙලා සාමකාමී පරිසරයක් ගොඩ නැඟෙනවා. හිනවෙන්න වැඩ කරන මාංශ පේශි ගණන අඬන්න යන ගාණට වඩා අඩුයි. ඉතින් හිනාව කියන්නේ නොමිලේම ලැබෙන හොඳම බේතක්.“

සීයාගේත් මිනිබිරියගේත් දෙබසට කන් දීගෙන සිටි මාලි සහ සිරී දෙදෙනා දිහා බලා සිනාසුනහ. මාලි තේ රැගෙන ඒමට මුළුතැන්ගෙට ගියේද සිනා මුසු මුහුණිනි. ඒ අතර සිරී මෙසේ කීවේය.

“ඇත්තටම මාමේ මාලිගෙ හිනාව හරියට පිබිදුණු රෝස මලක් වගේ. ඒ වුණාට බුම්මගත්තාම හරියට පරවුණු වද මලක් වගේ.“

පීතර මාමා එයට මෙසේ කීවේය.

“ඔව් ඉතින්. දෙතොල පොපියවන සුන්දර හිනාවක් ගෘහණියකට තිබෙනවා නම් ඒ ගෙදරට මහත් වාසනාවක් තමයි.“

තේ කෝප්ප රැගෙන සිනාසීගෙන එන මාලි දෙස බැලූ දියණිය මෙසේ කීවාය.

“ ගැහැනු විතරක් නෙවෙයි, පිරිමිත් හිනාවෙලා ඉන්නකොට තමයි ලස්සන. බලන්නකෝ තාත්තා හිනාවෙද්දි කිරි ඉතිරෙනවා වගේ ගෙදරටම. තාත්තා දන්නවාද? රොබර්ට් කියන මනෝ විද්‍යා හා ස්නායු වෛද්‍ය විශේෂඥයායි, රෝග විනිශ්චය පිළිබඳ ලී බර්ග් කියන මහාචාර්යවරයායි, හෘද රෝග පිළිබඳ මයිකල් බැලර් කියන විශේෂඥ වෛද්‍යවරයයි මේ ඔක්කෝමලා කියලා තිබෙන්නේ සිනහව නිසා සිරුර නිරෝගී වෙනවා වගේම සුවදායකබවින් වැඩි වෙනවා කියලා. නෝර්වේවල සොයාගැනීමක් කර තිබෙනවා ඔය පොඩි පොඩි විහිළු තහළු කරලා ඉන්න අය බුම්මගෙන ඉන්න අයට වඩා කල් ජීවත් වෙනවා කියලා. ඒ වගේම සිනාවෙන අයට පිළිකාවලට ඔරොත්තු දීමේ හැකියාවත් වැඩියිලු. ඒ නිසා සොබාදහම අපට නොමිලේ දීලා තිබෙන හිනාව මොහොතකටවත් මඟහරින්න එපා“

දුවගේ කතාව අසාගෙන සිටි මාලි කීවේ “අම්මෝ මෙයා දන්න පණ්ඩිතකම් “ කියාය. ඒ කතාව සියලු දෙනාට ගෙනාවේද සිනාවකි.

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.