දියවැඩියාව වැලඳීමට හේතු වන ග්‍රහ පිහිටීම්

නොවැම්බර් 25, 2022

දියවැඩියාව අප රටේ බොහෝ දෙනාට වැලඳෙන රෝග විශේෂයකි. මෙලෙස මෙකී රෝගය බාල,තරුණ, මහලු සෑම වයස් කාණ්ඩයන් අතර ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් තුන්වේලට පිෂ්ටය අඩංගු ආහාර වැඩිපුර අනුභව කිරීමයි. ඒ හේතු කොටගෙන රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමත් එය පාලනය කිරීමට අවශ්‍ය කරන ඉන්සියුලින් හෝමෝනය අග්න්‍යාසය මඟින් නිකුත් කිරීමට නොහැකි වීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය නොවීමෙන්, මෙරට බොහෝ දෙනා දියවැඩියා රෝගයට ගොදුරු වෙති.

 

ඒ අනුව මෙකී දියවැඩියා රෝගය හේතු කොට ගෙන මුත්‍ර රෝග, වකුගඩු රෝග, හෘද රෝග, අක්ෂි රෝග, ස්නායු රෝග එමෙන්ම සුවපත් කළ නොහැකි වණ ඇති වීම හේතු කොට ගෙන අත් පා කපා දැමීමට සිදුවීම වැනි ශරීරය ජරාවට පත් කරන රෝග ද ඇතිවන හෙයින් දියවැඩියාව මිනිසා ශාරීරික මෙන්ම මානසික වශයෙන් පීඩාවට පත් කරන රෝගයකි. එහෙයින් ලග්න කේන්දරයක් තුළින් කේන්දර හිමියා දියවැඩියා රෝගයට ගොදුරු වූවෙක් ද, අනාගතයේදී දියවැඩියා රෝගයට ගොදුරු වෙයි ද? යන්න පිළිබඳව කරුණු දැන ගෙන දියවැඩියා රෝගයට ගොදුරු වූවෙක් නම් එකී රෝගය පාලනය කර ගැනීමට හෝ සුව කර ගැනීමට කුමන වෛද්‍ය ක්‍රමයක් අනුගමනය කළ යුතුද (දේශීය, විදේශීය නැතිනම් ඒ ක්‍රම දෙකම) යන්න පිළිබඳවත් කේන්දර හිමියාට අනාගතයේදි දියවැඩියා රෝගයට ගොදුරුවීමේ ඉඩකඩ පවතී නම් ඉන් වැළකීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳවත් කේන්දර හිමියා දැනුවත් කළ හැකිය. ඒ අනුව මෙකී දියවැඩියා රෝගය ජන්මියා ගේ දෛනික වැඩ කටයුතුවලට බාධා පමුණුවන රෝගයක් වීමට නම් ලග්න කේන්දරයේ ලග්නයත් ලග්නාධිපතිත් පීඩා විය යුතු ය. එමෙන්ම සීනිවලට කාරක ගුරු ග්‍රහයා පීඩා විය යුතුය. මෙකී දියවැඩියාව මූත්‍ර හා වකුගඩු රෝග ඇති කරවන හෙයිනි. සිකුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයාට අයත් තුලා රාශිය පාප පීඩිත විය යුතුය.

ඒ වාගේම මෙකී රෝගය රුධිරයේ සීනි මට්ටම නැතිනම් ග්ලූකෝස් මට්ටම ඉහළ දමන රෝග විශේෂයක් වන හෙයින් මිනිස් සිරුරේ රුධිරය නිවේදනය කරන ග්‍රහයා වන සඳු ග්‍රහයාත් සඳුට හිමි කටක රාශියත් පීඩා විය යුතු ය. මෙකී සඳු රුධිරය මෙන්ම සිරුරේ හෝමෝන පාලනය කරන ග්‍රහයෙකි. එහෙයින් සඳු පීඩා වීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය නොලැබීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑමෙන් ජන්මියා දියවැඩියා රෝගියෙක් බවට පත්වන හෙයිනි. දියවැඩියා රෝගය වැලඳීමට නම් ලග්න කේන්දරයක සඳු ග්‍රහයා අනිවාර්යෙන්ම පාප පීඩා විය යුතුය. එමෙන්ම ලග්න කේන්දරයක රුධිරය නිවේදනය කරන සිවුවැනි සහ එහි අධිපති පාප පීඩිත විය යුතුයි. ඒ අනුව යටකී ග්‍රහ පිහිටීම් ලග්න කේන්දරයක වු විට එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියා දියවැඩියා රෝගියෙක් බවට පත් වන්නේය. ඒ අනුව මෙකී කරුණුවලින් සත්‍යතාවය තහවුරු කර ගැනීමට උදාහරණ කේන්දරයක් අධ්‍යයනය කරමු.

උපත 1961.09.15

වෘෂභ ලග්නයෙන් මීන නවාංශකයෙන්

විසා නැකතේ 4 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් ගුරු මහ දශාව ඉදිරියට 00 මාස 09 දින 05 ක් ශේෂව තිබුණි.

ඉහත කේන්දරය හිමි වන්නේ කාන්තාවකටය. එම වෘෂභ ලග්න කේන්දරය හිමිකාරිය 2005 දී එනම් වයස අවුරුදු 44 දී දියවැඩියා රෝගය වැලඳීම නිසා පසු කලෙකදී ඇයට දෛනික කටයුතු කර ගෙන යෑමට නොහැකි වන පරිදි ඇගේ ඇස් පෙනීම දුර්වල විය. එසේ ඇයට දියවැඩියා රෝගය වැලඳීමට හේතු භූත වූ ග්‍රහ බලපෑම පිළිබඳව ඉහත කේන්දරයට අනුව කරුණු විමසා බැලීමෙදී දියවැඩියා රෝගය වැලඳීමට හේතු භූත වන ග්‍රහයෙක් වන සිකුරු උපචය භාවයක් වන 3 වැනි වූ කටක රැසෙහි සතුරු ව සිටියදී 9 වැන්නේ සිටින 22 වෙනි දෙර්කාණාධිපති ගුරු ගේ සප්තම දෘෂ්ටියට ලක්වීමත්, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරීහ යෝගයකට මැදිව 7 වැන්නේ සිටින නීච සඳුගේ රාශි දෘෂ්ටියට භාජනය වීම දියවැඩියා රෝගය වැලඳෙන බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. එමෙන්ම අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සඳු නීචව 7 වැන්නේ පතිතව රාහු /කේතු යන ග්‍රහයන්ගේ කේන්ද්‍රය දෘෂ්ටියෙන් මෙන්ම තුන් වැන්නේ සිටින සතුරු ලග්නාධිපති සිකුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වී ලග්නය දැකීම ද කේන්දර හිමියා දියවැඩියා රෝගයට ගොදුරුවන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේය.

එමෙන්ම මෙකී රෝගය වැලඳීමට හේතු භූත වන තවත් ග්‍රහයෙක් වන ගුරු 8 අධිපතිව 9 වැන්නේ නීච බලය ලබා ඇති නමුත් වක්‍ර නිසා උච්ච ග්‍රහයෙක් මෙහි බලවත්ව භාග්‍ය ස්ථානාධිපති සමඟ සංයෝගව සිටියත් ගුරු 22 දෙර්කාණාධිපති මෙන්ම 64 වෙනි නවාංශකාධිපති වීම, නීච සඳුගේ පූර්ණ දෘෂ්ටියට භාජනය වීම, සතුරු සිකුරුගේ සප්තම දෘෂ්ටියට ලක්වීම රාහු/කේතු යන ග්‍රහයන්ට මැදිව පාප කර්තරීහ වීම ගුරුගේ බලය බොහෝ සෙයින් දුර්වල බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේය. මෙහිදී ලග්නාධිපති සිකුරු 6 වැන්නාධිපති එනම් රෝග ස්ථානාධිපති වෙමින් සඳු, සහ ගුරු පීඩා කිරීමක් ගුරු ශුභයෙක් වන නමුත් වෘෂභ ලග්නයට පාපියකු වී එනම් බරපතල රෝගයක් ගැන කියැවෙන දුෂ්ට භාවයක් 8 වැන්නට හිමිකම් කියමින් යට විග්‍රහ කළ ලෙස 9 වැන්නේ පතිතව ලග්නයේ පූර්ණ දෘෂ්ටියෙන් දැකීම ඉහත කේන්දරය හිමි කාන්තාවට දියවැඩියා රෝගය හේතු කොට ගෙන ඇස් පෙනීම දුර්වලවීම පමණක් නොව මුත්‍රරෝග වැලඳීමට හේතුවී ඇත. ඒ අනුව ලග්න කේන්දරය මඟින් දියවැඩියා රෝගය හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගෙන දියවැඩියා රෝගයට ප්‍රතිකාර කළ හැකි බවත් ලග්න කේන්දරයට අනුව අනාගතයේ දියවැඩියාව වැලඳෙන ග්‍රහ පිහිටීම් ඇත්නම් කල් ඇතිව දියවැඩියාව වැලඳීමට හේතු භූත වන ආහාරපාන ආදියෙන් වැළකීමෙන් දියවැඩියා රෝගය වැලඳීම වළක්වා ගත හැකි බවත් මා මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

 

ඡ්‍යෝතිෂ්‍යවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.