තෘෂ්ණා නිදානය හා චිකිත්සාව

ජනවාරි 18, 2019

අල්ප රෝගයක් ලෙස පෙනුනත් ශරීරය බෙහෙවින්ම පීඩා කළ හැකි රෝග තත්ත්වයකි. වමනයේ උපද්‍රවයක් ලෙස ද, මධුමේහයේ හා විජලනයේ ලක්ෂණයක් ලෙසද ප්‍රධාන රෝගයක් ලෙසද හටගනී. වාතය හා පිත ප්‍රබලව හටගනු ලබන්නා වූ පිපාසය සත්ත්ව ශරීරය ඉක්මනින්ම පීඩාවට පත්කරන රෝගයකි. යම් පුද්ගලයකු නැවත නැවත ජලය පානය කරත් තෘප්තියට පත් නොවන්නේ ද එය තෘෂ්ණාවයි.

රෝග හේතු හා සම්ප්‍රාප්තිය

“භයශ්‍රමාභ්‍යාං බලසංක්ෂයාද්වා

හ්‍යුර්ධ්වං චිතං පිත්තව්වර්ධ නෛර්වා

පිත්තං ස වාතං කුපිතං නරාණං

තාලුප්‍රපන්නං ජනයේද් පිපාසම්

බිය සහ විඩාව යන දෙකෙන් හෝ ශරීර බලය පිරිහීයාම නිසා හෝ පිත කෝප කරන උෂ්ණ තීක්ෂණ, විදාහී පදාර්ථ ගැනීමෙන් ද මද්‍ය පානය, ක්‍රෝධ කිරීම, උපවාස කිරීම, කය වෙහෙසවා අධික ලෙස වැඩ කිරීම යන මේ කරුණුවලින් හෝ ඌර්ධව ගාමීව ගොස් රැස්වී කිපුණාවූ වාත සහිත වූ පිත උඩුතල්ලට පැමිණියේ මිනිසුන්ට පිපාසය උපදවයි.

ජලය වහනය කරන්නාවූ ‍ස්‍රෝතස් දෝෂයන් විසින් දූෂණය කළ කල්හි පුද්ගලයින් හට පිපාසය හට ගනී.

ශාරීරික මානසික හා ආගන්තුකව හටගන්නාවූ වාත පිත්ත විකෘතියට තෘෂ්ණාව මුල්වන අතර වාතයේ රූක්ෂ ගුණය පිතේ උෂ්ණත්වය නිසා ශරීරයේ ක්ලේදක කොටස් වියළි පිපාසය හටගනී.

ශාරීරික දෝෂ කෝප කරන තීක්ෂණ කටුක, ලවණ, උෂ්ණ ආහාරද, ධාතු ක්ෂයවීම, අතීසාරය, වැනි ද්‍රව පදාර්ථ හීන කරන රෝග තත්ත්ව යනාදිය ශාරීරික හේතු ලෙසද භය, ක්‍රෝධය නිසා ඇතිවන හදිසි විපර්යාස හේතුවෙන් මධ්‍ය ස්නායු පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ද්‍රව කොටස් නොවැගිරීම යනාදිය මානසික හේතු වශයෙන් ද අධික තාපය නිසා දහඩිය පිටවීම ද, තුවාලයකින් හෝ කැපීමකින් අධික රක්තය වහනය වීම යන මේවා ආගන්තුක හේතු ලෙස ද දැක්විය හැකි ය.

මෙම රෝග හේතූන් නිසා වාතය හා පිත වර්ධනය වී ඌර්ධවගතව තල්ලට පැමිණ පිපාසය ඇති කරයි.

පූර්ව රූප අවස්ථාව

පිපාසයක් ඇති කිරීමට පෙර උෂ්ණ ගුණ යුත් පිත හා රූක්ෂ ගුණ යුත් වාතය නිසා ජලය වහනය කරන ‍ස්‍රෝතස් වියළීමට පත්වෙයි. මේ නිසා පිපාසයෙන් පෙලුණ පුද්ගලයා වියළිබවට පත්වී කෝපවූ වාතය හා පිත තල්ලට ආ බව අඟවයි.

තෘෂ්ණාවේ ප්‍රභේද

1.වාතජ තෘෂ්ණාව

2. පිත්තජ තෘෂ්ණාව

3. කඵජ තෘෂ්ණාව

4. සන්නිපාතජ තෘෂ්ණාව

5. ක්ෂතජ තෘෂ්ණාව

6. ආමජ තෘෂ්ණාව

7. භත්තජ තෘෂ්ණාව

8. උපසර්ගජ තෘෂ්ණාව

වාතජ තෘෂ්ණාව

වාතජ තෘෂ්ණාවේදී වියලුන බැගෑපත් මුහුණක් රෝගියා කෙරෙන් දිස්වෙයි. එසේම හිස සහ හකු පෙදෙස යන මේවායේ අනින්නාක් බඳු වේදනාවද ජල වාහිනි ‍ස්‍රෝතස ඇහිරීයාමද මුඛයේ විරස බවද ඇතිවේ. අතිශයින් සිසිල් ජලයෙන් රෝගය වැඩිදියුණු වේ. එමෙන්ම රෝගියාට ශබ්දය හා ගඳ සුවඳ නොදැනෙයි. එයට හේතුව වාතයේ රූක්ෂතාවය නිසා කනෙහි හා නාසයේ විකෘති ඇති වීමයි.

පිත්තජ තෘෂ්ණාව

පිත්තජ තෘෂ්ණාවේදී මුර්ජාව, ආහාර එපා වීම, ප්‍රලාපය, ශරීර දාහය, ඇස්රතුපාට වීම, නිරතුරුවම ශරීරයේ වියළි බව සිසිලසට කැමති නොවීම, මුඛයේ තිත්ත රසය ශරීරයේ දාහය හා මළ මුත්‍ර ඇස් කහ පාට වීමද වේ.

කඵජ තෘෂ්ණාව

කඵ වෘද්ධිය නිසා පාචක අග්නිය නැසී යාමෙන් හටගන්නා ආම අවස්ථාව ‍ස්‍රෝතස් අවරෝධ කිරීමට සමත් වුවහොත් කඵජ තෘෂ්ණාව හටගනී.

පාචක අග්නිය කෝප කරන හේතූන් යෙදීමෙන් වැඩී ගියාවූ ක්ලේදක සෙම විසින් ඌර්ධවගතව ‍ස්‍රෝතස් අහුරාලත්ම අධෝභාගයේ ඇති අග්නියයේ උෂ්ණය ඇහිරීයාම හේතුකොටගෙන ද්‍රවශෝෂණය ඇන හිටීමෙන් උදක වහ ‍ස්‍රෝතස හිස් වී යාමෙන්ද ධාතුගත ජලීය අංශය සිඳීයාමෙන්ද කඵ දොෟෂයෙන් වූ පිපාසය හටගනී. එසේම වහා නිදිමතද, ඇඟ පතේ බරබවද මුඛයේ පැණි රස බවද යන මේ ලක්ෂණ සහිතව රෝගියා අධික ලෙස වියලීමට පත්වේ.

ක්ෂයජ තෘෂ්ණාව (ත්‍රිදෝෂජ තෘෂ්ණාව)

යම් පිපාසයක් රස ධාතුව ක්ෂය වීමෙන් හටගනීද එය ක්ෂයජ තෘෂ්ණාවයි. මේ තෘෂ්ණාවෙන් පෙළෙන රෝගියා දිවා රෑ දෙකෙහිම නිතර නිතර ජලය පානය කරයි. නමුත් සුවයක් නොලැබේ. මෙයම ත්‍රිදෝෂජ තෘෂ්ණාව වේ.

ක්ෂතජ තෘෂ්ණාව

අවි ආයුධ ආදියෙන් ලත් තුවාල ඇති පුද්ගලයා හට වේදනාව හා ලේ ගැලීම් යන දෙකෙන් යුක්තව පිපාසය හටගනී නම් එය ක්ෂතජ තෘෂ්ණාවයි. එයට හේතුව ආයුධයකින් තුවාල වූ විට පිටවන රක්ත ප්‍රමාණය අනුව පිපාසය ඇතිවීමයි. බාලයන්ට හා මහල්ලන්ට මෙහිදී කම්පනය ඇතිවේ. ලේ ගැලීමේ දී තොලකට වියලේ. ශරීරය සුදුමැලි වේ. ඔක්සිජන් වායුව නොලැබීමද මුත්‍රා යාම නැවතීමද, රුධිර පීඩනය පහත බැසීමද සිදු විය හැකි ය. මෙය අසාධ්‍ය වේ.

වෛද්‍ය 
ආර්.එම්.නයනි රස්නායක
රස්නායක වෙද මැදුර, 
නාරම්මල 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.