කලකින් යෙදෙන උතුම් නිවාස නැකැතක් ජූලි මස 19 වැනිදා

ජුනි 28, 2024

කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.

නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා එදින උදේ 06.08 ට නැඟෙනහිර බලා පාද බෙදීම යහපත් වන අතර එදිනම උදේ 7.08ට නැඟෙනහිර බලා අත්තිවාරම් කැපීම යහපත් වේ.

එලෙසම නිවාස, ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා එදින උදේ 8.32ට නැඟෙනහිර බලා මුල් ගල් තැබීම යහපත්ය.

මෙකී සුබ කටයුතු සිදුකිරීම සඳහා පහත පියවර අනුගමනය කිරීම යහපත් වේ.

ඒ අනුව සිවුවරම් දෙවියන් උදෙසා සිවුකොන පහන් පැල් 4ක් දල්වන්න. ගෘහ නිධන් වස්තු පැකැට්ටුවක් මුල් ගලට දැමීම යහපති. එම අවස්ථාවට සෙත් පිරිත් කියවීමත් යහපති.

මේ දිනයට මේ නිවාස නැකැත වෘෂභ චක්‍රය ආදියට ශුභදායක අන්දමින් යෙදී ඇති නැකතකි. ඇසළ මාසයෙන් කටක රවියෙන් මුල නැකතින් පුර තෙළෙස්වක ලත් තිථියෙන් මේ නැකත උදා වී ඇත.

සිකුරු හෝරාවෙන් සිකුරුගේ පංචම කාලයෙන් පාද බෙදන නැකත යෙදී ඇත. එදින බුධගේ හෝරාවෙන් බුධගේ පංචම කාලයේ අත්තිවාරම් නැකැත යෙදී ඇත. තිර රාශියක් වූ සිංහ රාශියෙන් සඳුගේ තත්කාල හෝරාවෙන් සඳුගේ පංචම කාලයෙන් මේ නැකත උදා වී ඇත.

පුර පක්ෂයේ චන්ද්‍රයා මූල ත්‍රිකෝණව යෙදී ඇත. එමනිසා ඉතා ශුභදායක බව කිව යුතු ය. මේ නැකතින් මුල්ගල් තැබූ විට ඉක්මනට වැඩ නිමකර ගැනීමට හැකි වේ. එසේම නිවෙසට ගෙවැදීමෙන් පසු බොහෝ ධනයක් ඉතිරි කිරීමට හැකි වේ.

එසේම ලබන ලද ධනය සරු කර ගැනීමට හැකි වේ. නිවෙසේ ජීවිතය ගත කරන සෙසු අයගේ සියලු වැඩකටයුතුවලට අනාගත දියුණුවටද ශුභදායක වේ. සොර සතුරු බිය ඇති නොවේ. එසේම අකුණු ගැසීම, ගස් කඩා වැටීම් වැනි අනතුරු සිදු නොවේ. ජල ගැලීම් වැනි දෙයක් සිදු වුවත් නිවාස කැඩීයාමත් සිදු නොවේ. එතරම් උතුම් නැකතක් නිවාස ඉදිකිරීම සඳහා යෙදෙන්නේ ඉතා කලාතුරකිනි.

දෙට, රේවතී, අස්ලිස, පුනාවස, විසා, පුවපුටුප, සිත, මුවසිරස, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, පුවපල්, බෙරණ, පුවසල යන නැකැත් හිමි අයට මේ නැකත ඉතා ශුභදායක බව කිව හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.