හරියටම පලාපල කියන සුදර්ශන දශාව

ඔක්තෝබර් 27, 2023

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත්‍ර ග්‍රහයන්ගේ ආශ්චර්යමත් හැසිරීම අහසේ රටා මැවීමට හේතුවක් වනු ඇත. බටහිර විද්වත්හු සහ පෙරදිග විද්වත්හු ඒ ඒ නයින් ඒ තැන සාකච්ඡා කොට ඇත්තාහ. කේන්ද්‍රයක් නිර්මාණය වනුයේ යම් අවස්ථාවක යම් ස්ථානයක නැඟෙනහිර ක්ෂිතිජය මුල්වය. එහි රාශි දොළොසක්, භාව සොළොසක් ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

රාහු – කේතු සහිත සෙසු සප්ත ග්‍රහයන් එහි සනිටුහන් කෙරේ. ඒ කේන්ද්‍රය අනුව සමස්ත ජීවිතයෙහි කේන්ද්‍ර සටහන් දොළොසක් නිර්මාණය වන්නේ යැයි ඔබට පැවසුවහොත් සමහර විටෙක ඔබට එය එකවර පිළිගැනීමට නොහැකි වීමටද ඉඩ තිබේ.

කෙසේ නමුත් එය එසේ සිදුවන බව සුදර්ශන චක්‍රයෙහි ඉගැන්වීම් අනුව පිළිගැනීමට සිදුවේ. ඔබගේ ලග්නය මේෂය වීනම් මේෂාදී රාශි දොළොස චක්‍රයෙහි පිහිටයි. ඒ ඒ රාශි සඳහා ආයු ඛණ්ඩයක් හිමිවේ. මේ ලිපිය අවබෝධ කර ගැනීමට ඔබට සාමාන්‍ය ඡ්‍යොතිෂ දැනුමක් අවශ්‍ය වනු ඇත. මේෂ සහ වෘශ්චික රාශිවලට අඟහරුත්, වෘෂභ සහ තුලා රාශි සඳහා සිකුරාත්, මිථුන කන්‍යා සඳහා බුධත්, ධනු, මීන සඳහා ගුරුත් මකර, කුම්භ සඳහා සෙනසුරුත්, කටකයට සඳුත්, සිංහයට රවිත් අධිපති වෙයි. මේෂ රාශි කෙන්ද්‍රයක ලග්නයේ රාහුය. දෙවැන්නේ සිකුරුය, තෙවැන්නේ රවි බුධය, පස්වැන්නේ අඟහරු සිටින අතර ගුරු කේතු 7 වැන්නේය. සෙනසුරු 12 වැන්නේ සිටී.

මේ කේන්ද්‍ර සටහන අපි විමසුවහොත් ලග්නය හිමි මේෂ රාශිය අධිපති අඟහරු ඇත්තේ පස්වැන්නේය. රාශියේ සිට අඟහරු සිටින රැසට ගැන ගිය විට ස්ථාන 5කි. ඉන් එකක් අඩුකොට මේෂ රාශියෙහි 4 ඉලක්කයට යොදනු. එය මේෂ රාශියෙහි ආයු ඛණ්ඩනයයි. දෙවනුව වෘෂභ රාශිය කේන්ද්‍රයේ දෙවැන්න වේ. එතැන සිට එම වෘෂභ අධිපති සිකුරු සිටින රාශියට ගැනිය යුතුය. උදාහරණ කේන්ද්‍රයේ සිකුරු එම ස්ථානයේම සිටිනා බැවින් ස්ථිර න්‍යායකට අනුව එම කොටුවේ 12 ඉලක්කයට යොදා වෘෂභ රාශියේ ආයු ඛණ්ඩය 12ක් සේ ගත යුතුය . තෙවැනි රාශිය මිථුනයයි. මෙහිදී බුධ එම රැසෙහිම සිටින බැවින් බුධට ද 12ක් දී මිථුන රාශියේ ආයු ඛණ්ඩය වර්ෂ 12ක් බව දත යුතුය. කටක, සිංහ, කන්‍යා, රාශි සුළු මොහොතකට අමතක කරමු. තුලා රාශිය කේන්ද්‍රයේ 7 වැන්න වේ. එහි අධිපති සිකුරු දෙවැන්නේ සිටින නිසා හත්වැන්නේ සිට දෙවැන්නට 8කි. ඉන් එකක් අඩුකොට තුලා රාශිය මත 7 යොදනු, වෘශ්චික රාශියේ අධිපති අඟහරු පස්වැන්නේ නිසා මේෂ ලග්න හිමියාගේ අටවැනි කොටුවේ සිට පස්වැන්නට ගණින කල 10ක් ලැබේ. ඉන් එකක් අඩුකොට නවය 8වැනි වෘශ්චික රාශියේ සලකුණු කරනු. මෙසේ ධනු රැස සිට එහි අධිපති ගුරු දක්වා ගැන එකක් අඩුකර ධනු රැස තබනු. ගුරු 7 වැන්නේ නිසා ගුරු සිටින ස්ථානයට එහි සිට ගැන්න කල 11ක් ලැබේ. එකක් අඩු කළ විට ලැබෙන 10 මේෂ රාශි හිමියාගේ නවවැනි කොටුවේ තබනු.

දැන් ඔබට රාශි හයක ආයු ඛණ්ඩ ලැබී ඇත. මේ විස්තරය කෙටියෙන් පවසන්නේ නම්, මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, ධනු රාශි සඳහා ආයු ඛණ්ඩ සොයන විට එම රාශියේ සිට එහි අධිපතියා දක්වා ගැන එකක් අඩුකොට එම රාශියේ ලියනු. එය සවස න්‍යායයි. මෙහි නොකී, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ, මීන රාශි සඳහා ආයු ඛණ්ඩ සොයන විට එසේම එම රාශි අධිපතියා දක්වා ගැන බැලිය යුත්තේ ආපස්සටය. රූප සටහන බලන්න. කටකය හිමි සඳු කේන්ද්‍රයේ නවවැන්නේය. කටකය හතර වැන්නයි. එහි සිට නවවැන්නට ආපසු ගණන් කරන විට 8ක් ලැබේ. එකක් අඩුකොට 7ක් එහි යොදනු සිංහ හිමි රවි 2 වන කොටුවේය. ආපසු ගණින විට 3කි. එකක් අඩු කළ විට 2කි. කන්‍යා හිමි බුධද තෙවැන්නේය. කන්‍යාව 6 වැන්නයි. එහි සිට තෙවැන්නට ආපසු ගණින විට 4ක් ලැබේ. එකක් අඩු කළ විට හයවැන්නේ ආයු ඛණ්ඩය 3කි. ඊළඟට මෙසේම මකර රාශිය විමසමු.

සෙනසුරු 12 සිටී. මකරය 10වැන්නයි. ආපසු ගණින විට 11කි. එකක් අඩුකොට මකර රාශිය පිහිටි තැන 10 යොදනු. කුම්භයට මෙසේ ගිණූ කල ඊට 11 ක් යෙදිය යුතු බව ඔබට පෙනී යා යුතුය. 12 වැනි මීන රාශියේ අධිපති ගුරු 7 වැන්නේ නිසා ආපසු ගණින විට 3ක් ලැබේ. එකක් අඩුකර 4ට යොදනු.

දැන් මේ ආයු කණ්ඩ දොළොස ඔබේ ජීවිතයේ ක්‍රමයෙන් උදාවන බව දත යුතුය. මේෂ ලග්නය මුල්ව ඇති කේන්ද්‍රය සමස්ත ජීවිතයටම බලපාන අතර, මුල් අවුරුදු හතරේදි එය විශේෂයෙන් පලදෙනු ඇත. දෙවැනි වසර 12 වෘෂභ රාශියෙහි ඵලය මෙන්ම එය මුල්කරගත් කේනන්ද්‍ර සටහන ඔබේ දිවිමගේ තොරතුරු ප්‍රකාශ කෙරෙනු ඇත. තෙවැනි වසර 12 මිථුන රාශියෙහි ස්වභාවය සහ එය මුල්ව සකස් කෙරෙන කේන්ද්‍ර සටහන ඔබේ ජීවිත තොරතුරු කියා පානු ඇත. ඉක්බිති කටක රාශියේ වර්ෂ 7කි. මෙසේ ක්‍රමයෙන් සිංහයට 2 කන්‍යාවට 3 තුලාවට 7 වෘශ්චිකයට 9 ධනුවට 10 මකරයට 10 කුම්භයට 11 සහ මීනයට 5 බැගින් ආයු ඛණ්ඩ පිහිටයි. ආයුෂ, වයස ගෙවීමත් සමඟම ඒ ඒ ආයු ඛණ්ඩ හිමි රාශිය ලග්නය කොට එම කාලයේ පලාඵල කිව යුතුය. එහෙත් මුල් ලග්න කේන්ද්‍රය අමතක කොට එම කාලයේ පලාඵල කිව යුතුය. එහෙත් මුල් ලග්න කේන්ද්‍රය අමතක කොට එය සිදු කළ යුතු යැයි මින් අදහස් නොවේ. මේ සුදර්ශන චක්‍ර සිද්ධාන්තයයි. චර දශායු නමින්ද යම් යම් ග්‍රන්ථවල ඉගැන්වේ.

දැන් වෙනත් ලග්න හිමියෙකු සඳහා ගණින පිළිවෙල ඔබට ප්‍රශ්නයක් විය හැකිය. ලග්නය කවරක් හෝ වේවා එම කේන්ද්‍රයේ මේෂ රාශිය පවතින තැන සළකුණු කොට එතැන් සිට පෙර කියන ලද පරිදිම රාශි තුනක අධිපතියන්ට ඉදිරියටද ඊළඟ රාශි 3 ආපස්සටද නැවත ඊළඟ රාශි තුන ඉදිරියට සහ අවසාන රාශි 3 ආපස්සට ද ගැන බලමු.

මෙහිදී ව්‍යාතිරේක කිහිපයක් වේ. යම් ග්‍රහයකු නීච නම් ඔහුට අයත් රාශිවල අගයෙන් තව 1ක් අතිරේකව අඩු කළ යුතුය. ග්‍රහයෙකු උච්ච ක්ෂේත්‍ර නම් අදාළ රාශිවල අගයන්ට අතිරේකව එකක් එකතු කළ යුතුය. මෙහි තව බොහෝ රහස් තිබේ. බොහෝ දෙනෙකු ජීවිත පලාපල කීමේදී විංශෝත්තරී දශාවටම මුල තැන දෙනු ලබයි. සමහර විටෙක කලාතුරකින් කෙනෙකු යෝගිනී දශාව විමසයි. මේ සුදර්ශන දශාවයි. සුදර්ශන දසා ක්‍රම රැසකින් එකකි. විශේෂයෙන් මෙහි පලාපල පැවසීමේදි කෙක්න්ද්‍රයේ පාප ග්‍රහයන් සිටීම සහ ත්‍රිකෝණයේ රාහු ග්‍රහයා සිටීම දුෂ්ට පිහිටීමක් ලෙස සලකනු ලැබේ. අදාළ ආයු කණ්ඩය හිමි රාශිය අධිපතියා ජන්ම කේන්ද්‍රයේ ඉතා සෞම්‍යව දෝෂ, වර්ජිතව සිටිමින් ආයු ඛණ්ඩය මුල්ව ගණිනු ලබන සකසන කේන්ද්‍රයේද දෝෂ වර්ජිතව සිටී නම් එම ආයු ඛණ්ඩය ජන්මියාගේ වාසනාවන්ත කාලයක් සේ ගැනෙනු ඇත. එය එසේ නොවී නම් විලෝමයෙන් දත යුතුය.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.