නොවැම්බර් 16 වැනිදා සිට මාසයක් පුරා රවි වෘශ්චික රාශියේ සැරිසරයි

ඔක්තෝබර් 27, 2023

නොවැම්බර් 16 වැනිදා ගුරුදා පැය 17.50ට රවි වෘශ්චිකයට ගමන් කරයි.

එදින සිට දෙසැම්බර් 16 දින දක්වා රවි වෘශ්චිකයේ හැසිරෙනු ඇත. මේ කාලය තුළ ‘විසා එක් අනුර, දෙට වෘශ්චිකය රැස’ කීවාසේ ගුරු හිමි විසා නැකතේ 4 වන පාදයත් ශනි හිමි අනුර හා බුධ හිමි දෙට නකතේ සම්පූර්ණ පාදත් එකතු වූ කළ පාද 9ම මේ කාලය තුළ රවි ගෙවා දමනු ලබයි. වෘශ්චිකය කුජගේ ස්වක්ෂේත්‍ර රාශිය වේ. රවි මෙහි 10 අධිපති වේ. මේ දෙදෙනාම මිත්‍රවෙයි. පාපයින් වේ. රවි පාප ගණයට වැටුනද සත්වයා ජීවත් කරවන්නේ රවිය. වෘශ්චිකය අධිපති කුජ පාපයින් අතර ප්‍රධානත්වය ගන්නා අතරම නෛසර්ගික පාපයෙකි.

රවි වෘශ්චිකයට පැමිණෙන තත්කාල අවස්ථාවේ සිංහ ලග්නය හා කන්‍යා අංශක රැස උදාව පවතී. දෙවැන්නේ නීච සිකුරු කේතු සමඟ සිටී. 4 වැන්නේ රවි, කුජ, බුධ සිටී. සඳු පස්වැන්නේය. සෙනසුරු “ශශ” යෝගය ඇතිව 7 වැන්නේ දිග්බලව ඇත. 8 වැන්නේ රාහු හා නෙප්චූන් ද 9 වැන්නේ ගුරු සමඟ යුරේනස් ද වේ. මෙම ග්‍රහ තත්ත්වයේ ප්‍රතිඵල අනුව රටෙහි ආර්ථිකයට තදින් බලපෑම් කරනු ලබයි. කෘෂිභෝග, ගොවිතැන, විනාශ වන ලකුණු ද පෙනේ. පාරිසරික විපත් බහුල වේ. මැසි මදුරු ආදීන්ගේ රෝගද පැතිර යයි. වාහන අනතුරු ජීවිත හානි, මංකොල්ල කෑම්, සොර සතුරු බිය වර්ධනය වේ. ජනතා විරෝධී කුමන්ත්‍රණ, වැඩ වර්ජන, කම්කරු උද්ඝෝෂණ වැඩිවේ. දෙසැම්බර් මුල් හරියේදී ජන හිත සුව පිණිස කටයුතු සිදුවීමට ඉඩකඩ සැලසේ.

මේෂ

පවතින ග්‍රහ චාරය සමපල දායකය. තම අපේක්ෂාවන් පල දරයි. හදිසි ධන ලාභද ගෙන දෛ්. පවුලේ කටයුතුවලදී පරිස්සම් විය යුතුය. ඉඩකඩම් ප්‍රශ්න විසඳා ගැනීමට නොයන්න.

වෘෂභ

රවි සත්වැන්නේ කුජ හා එක්ව ගමන් ගනී. තම ලාභ අපේක්ෂාවන්ට හිතකර නොවේ. ආර්ථිකය දුර්වල කිරීමට පුළුවන. විදේශ ගමන් ආදියට හොඳයි. මංගල කටයුතුවලට බාධා ඇතිවේ. අනුන් සමඟ කටයුතු කිරීමේදි පැමිණෙන ගැටුම් වළක්වා ගන්න.

මිථුන

6 වැන්නේ රවි, කුජ බලවත් ෙවේ. ලග්නාධිපති බුද ග්‍රහයා ද තරමක දුර්වලතාවලට ලක්වේ. මවුපස ඥාතින්ට අපලයි. යහපත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමට කල්පනා කරන්න. විවාහ මංගල්‍යයන් සඳහා හොඳම කාලයයි.

කටක

ලග්නාධිපති සඳු ගුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් බලවත් වන අතර හදිසි ධන ලාභද පෙන්වයි. සෙනසුරු 8 වැන්නේ බලවත් නිසා අෂ්ටම ඒරාෂ්ටක අපල අවම කරයි. විදේශ ගමන් අපේක්ෂා කරන්නේ නම් ඉන් හොඳ ප්‍රතිඵල අත්වේ.

සිංහ

තත්කාල ග්‍රහ සිත්තමද සිංහ ලග්නයට බලපෑම් කරයි. ඉඩකඩම්, ගේදොර ප්‍රශ්න පැන නඟී. මවු පස ඥාතින්ට හිතකර නැත. ධන හානි කරදර ඇතිවේ. පවුලේ කටයුතුවලදී ඉවසිලිවන්ත වන්න.

කන්‍යා

ලග්නාධිපති බුධ 4 වැන්නේ බලවත් වේ. තරග විභාග ජය අත්වේ. මවට ශුභපල ගෙනේ. සහෝදර පක්ෂයට ශුභ නැත. තම ඥාතීන් අතර ප්‍රමුඛතා ලබයි. මේ අතර අපවාද චෝදනාද අඩු නොවේ.

 

තුලා

ලග්නපති 12 වැන්නේ නීචව යාම තරමක් දුරට අශුභ වුවත් නොවැම්බර් අග සිට ශුභපල දානය කරයි. පවුල් ජීවිතයට අහිතකර බලපෑම් ඇතිවේ. භූමි ලාභ ඇති කරයි. ගමනාගමන වාහන අනතුරුවලට ලක්විය හැකිය.

වෘශ්චික

ලග්නයේ පවතින ග්‍රහ ගමන තරමක අවුල් සහගත වෙයි. ඉවසීම ප්‍රධාන කොට සලකන්න. ගේ දොර ලාභද ඇත. යානවාහන ගමන් පරිස්සමෙන්. නීතිමය ප්‍රශ්නයකට ඉඩ ඇත. තම ආගම දහම අනුව කටයුතු කරන්න. සිල් මෑණිවරුන්ට දානයක් දෙන්න.

ධනු

සඳු ලග්නයේ ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම තම බලාපොරොත්තු සපල කරයි. අන් අයගේ උදවු උපකාර ලැබේ. සහෝදරයකුට අපල ගෙනේ. විදෙස් ගමන්වලින් ජය අත්වේ. ආයෝජනවලට හොඳයි.

මකර

ලග්නාධිපති ශනි දෙවැන්නේ ප්‍රබල රාජයෝග ඇතිව ගමන් කිරීම තම පවුලේ දියුණුව ඇති කර ගැනීමට හේතු වේ. මුදල් යොදවා කරනු ලබන ව්‍යාපාරාදියෙන් දියුණුව ලබයි. ඒවා කළ යුත්තේ ඉවසීමෙනි. රවි කුජ, 11 වැන්නේ බලවත්ව උපචය ස්ථානගතව සිටී.

කුම්භ

ලග්නාධිපති ශනි “ශශ” යෝගව ලග්නයේ සිටින අතර මේ කාලය තුළ වෘෂභ, සිංහ, වාශ්චික හා කුම්භ ලග්න යන ලග්නවලින් ජනිත වන පින්වත් දරුවන්ට මෙම රාජයෝගය පිහිටනවා ඇත. විදේශ ගමන් ගැනද උනන්දු වන්න.

මීන

නම වැන්නේ රවි, කුජ, බුධ පිහිටයි. භාග්‍යය උදාවේ. පවුලේ දියුණුවට කරුණු යෙදේ. ආර්ථිකයට හොඳයි. ඉක්මන් තීරණවලින් බැහැර වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.