පස් ආයුධ බරණ පළඳවනු ගෙන බිලිඳු මෙලෙසින

සැප්තැම්බර් 8, 2023
 
  
ග්‍රහ අපල යක්ෂ, භූත, පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් හා ඇස්වහ කටවහ දෝෂවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ට පලඳවනු ලබන පංචායුධය මුතුන් මිත්තන්ගේ කාලයේ සිටම පැවතෙන චාරිත්‍රයකි. පංචායුධයක් පැලඳවිය යුත්තේ එය කහ දියර වතුරෙන් සෝදා පවිත්‍ර කොට සිදු කළ යුතු වත්පිළිවෙත්වලින් පසුවය. 
 
දරුවකුට පංචායුධයක් පැලඳවීමේ සිරිත වන්නේ උපතේ සිට දින පහෙන්, මාස තුනෙන් හෝ ඉඳුල්කටගෑම දිනයේදී වීම සාමාන්‍ය සිරිතකි. පංචායුධයක් රනින් නිර්මාණය කිරීමේදී නියමිත දිග පළලක් හෝ බරක් හෝ හැඩරුවක් හෝ සැලසුමක් සඳහන් කර නොමැත. 
මේ නිසා පංචායුධය රවුමට හෝ බෝ කොළයක් ලෙසට ද සකස්කර දරුවන්ට පලඳවා ඇති බව බොහෝ විට දැක ගන්නට ඇත. මෙය රනින් මෙන් ම, රිදියෙන්ද නිර්මාණය කර ඇත. වඩාත්ම ඇත්තේ රනින් නිම කරන ලද පංචායුධය, පංචායුධයක් සැකසීමේදී ඉපැරැණි ක්‍රමය වූයේ හක්ගෙඩිය (ජයසංඛය) චක්‍රය මුගුර දුන්න කඩුව යන ආයුධ පහ වෙන වෙනම කපා සකස් කර එකනෙකට නොගෑවෙන ලෙස පෑස්සීමයි. චතුරශ්‍ර බෝපත් හැඩය රවුම් ආදි විවිධ හැඩතල උපයෝගි කරගෙන නිර්මාණය කිරීමයි. එසේ සකස් කළ පංචායුධයක් දරුවාට පැලඳ විය යුත්තේ නිසි පරිදි ඔප දැමීමෙන් පසුවය. පංචායුධය සුවඳ පැණින් සෝදා දරුවාගේ උපන් වේලාව අනුව සකස් කරගත් සුබ මොහොතේදී පූජාවක් තබා ස්තෝත්‍ර ගායනාකොට ලබා දී ඇත. සුබ නැකැත් වේලාවේදී නියමිත දිසාව බලා දරුවාගේ ගෙලෙහි පැලඳ විය යුතුය. 
සමහර දරුවන්ගේ ඉණ ප්‍රදේශයේද පංචායුධ පලඳවා ඇති බව දැක ගන්නට ඇත. පංචායුධයට අයත් හක්ගෙඩිය, චක්‍රය, මුගුර, දුන්න හා කඩුව විශේෂ වූ සංකේතවල අර්ථයක් ඇත. ජය සංකේතය නොහොත් හක්ගෙඩිය සශ්‍රීකත්වයේ සංකේතයයි. විෂ්ණු දෙවියන් කිරි සයුර කලඹවා ලබා ගත් අනර්ඝතම වස්තුවකි. එමෙන්ම දෙවියන්ට ආරාධනා කිරීමේදී මෙන්ම යුද්ධ හා සටන් අවස්ථාවලදී ලැබූ ජය සංකේතවත් කිරීමට ද යොදාගත් වාලම්පුරිය හෙවත් ජය සංකේතය හක්ගෙඩිය මහා අනර්ඝතම වටිනා වස්තුවකි. පංචායුධයේ ඇති චක්‍රය සටනකදී ආරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර වැළැක්වීම සඳහා යොදාගනු ලබන ආරක්ෂක ආයුධයකි. මුගුරද ප්‍රබල ආයුධයකි. යමකට ඇනීමට හා යමක් පැළීම සඳහා යොදාගනු ලබන ශක්තිමත් ආයුධයකි, මුගුර. 
දුන්න හා ඊතලය සතුන් දඩයමට මෙන්ම සතුරන් දමනයට යොදාගනු ලබන ආකර්ෂක ආයුධයකි. කඩුවට ඇත්තේ දීර්ග ඉතිහාසයකි. සටන් බිමේදී ප්‍රධානතම ආයුධයක් ලෙස රජ කාලයේදී පැවැති කඩුව ඉතිහාසගත ආයුධයකි. මෙවැනි බලසම්පන්න බලගතු ආයුධ පංචායුධයට එක්කිරීමෙන් ඉන් ලැබෙන ආරක්ෂාව කිව නොහැකි තරම්ය. ඈත අතීතයේ පංචායුධ නැමැති කුමරකු ඈත ප්‍රදේශයකට ගොස් ශිල්ප හැදෑරීමේ නියුතුව සිටියේය. දිනක් එසේ ශිල්ප හදාරා එන විට ඇති වූ නිදිමත ගතියක් නිසා කුමරු වනයේ රූස්ස ගසකට හේත්තු වී සිටියදී නින්ද ගියේය. එම අවස්ථාවේදී එම ගසට අරක්ගෙන සිටි බලවත් යක්ෂයකු ගසින් බැස කුමරා සිටි දෙසට පැන්නේ කුමරා අල්ලා ගැනීමටයි. 
එසැණින් අවධිවූ කුමරා බියක් නොපෙන්වා යක්ෂයාට යමක් පවසන්නට ඇතැයි කියා සිටියේය. එහිදී කුමරුගේ නම ඇසූ යක්ෂයා තමා මැරුම්කෑමට ප්‍රථම වහාම නම කිය යුතු යයි කියමින් මොර දුන්නේය. කිසිදු බියක් සැකක් නොපෙන්වූ කුමරා තම පංචායුධ කුමරු බවත් තමාගේ සිරුරේ පංචායුධ පහක්ම ඇති බවත් කී අතර තමා මරා කෑවොත් යක්ෂයාද එම ආයුධ ඇනී මැරෙන බවත් කීය. ඉන් බියට පත් වූ යක්ෂයා කුමරුට වැඳ නමස්කාර කොට ඔහු සිටි මහා වෘක්ෂයටම නැග්ගේය. එසේ බියට පත්ව ඉවත්ව යෑමට සිදුවූයේ පංචායුධ කුමාරයා පංචායුධ ගැන කියා සිටි නිසාය. එයින් පසුව දරුවන්ට පංචායුධ පැලඳවීමේ චාරිත්‍රය ඇති වූ බවට විශ්වාස කෙරේ. 
 
බිලිඳුන් හට නිති නා 
යත් බු පියත් රැසි නා 
තව ගහ තිදොසි නා 
නොයෙක් දොස් ඇතිවේය නිති නා 
 
ඒ දොස් නොවන ලෙ ස 
පිරිසුදු රනින් නිසි ලෙ ස
කොටා ආයුධ ප ස 
සදා පංචායුධය සිත් ලෙ ස 
 
රන් නූලක යො දා 
උපන් එම පස් වන දා 
සුබ මොහොතක් ස දා 
ළඟට වඩවා පෙමින් බිළි දා 
 
ජපකර කියමි න 
නැබට වැටෙනා විලසි න 
පස් ආයුධ බර ණ 
පලඳවනු ගෙල බිලිඳු මෙලෙසි න 
 
කුඩා කුමරුන් ගෙලෙහි පංචායුධය බැඳීමට පෙර පංචායුධය මෙයින් ජප කරනු මැනවි. 
බ්‍රහ්මා විෂ්ණු ශව රුද්‍රා ශව
ශත තෙධා වෛෂ්ණු සතථා 
රක්ෂන්තුන්ව රිතාබාලං 
මුවන්තුකු කුමාරකම්
 
යක්භූ පිසසගේ න 
බාලගහ දොසෙත්ව න 
උවදුරු යන ලෙසි න 
කියන් පිරිතුත් සැදෑ සිතකි න 
 
පංචායුධය බඳින විට මෙම පිරිත් ගාථාව කීප වරක්ම කිය යුතුය. ඛයං විරාගං අමතං පණීතං – යධග්කජා ශක්‍ය මුනි සමාහිතො, නතෙන ධම්මේන සමත්ති කිංචි, ඉධම්පි ධම්මේ රතනං පණීතං , ඒතේන සච්චේන සුවත්ති හෝතු 
සමහර මාපිය වැඩිහිටියෝ පංචායුධය ආයුධ පහට අමතරව පංචායුධය සදා මැණික් ඇලීමටද කටයුතු කරති. මෙසේ මැණික් අල්ලනු ලබන්නේ දරුවාගේ ජන්ම පත්‍රය බලා ඡ්‍යොතිෂයට අනුව දෙනු ලබන නැකැත් චාරිත්‍ර අනුවය. දරුවාට යම් අපල උපද්‍රවයක් ඇතොත් එය දුරුවීම සඳහා පංචායුධයෙන්ද ලැබෙන්නේ අනගි සහායකි. පංචායුධය මැදට මැණික් ගල් ඇල්ලීම සුදුසු නොවේ. ආයුධ පහ පමණක් පංචායුධයේ තිබිය යුතු අතර වෙනම කෙවෙනියක් සාදා මැණික් ගල ඒ තුළ ගිල්වීමෙන් සකස් කිරීමට සමහර අය කටයුතු කර ඇත.
 
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී 
මොරටුවේ 
තිස්ස මහානාම 
 
සටහන – 
බී.ඇල්. පේ‍්‍රමරත්න 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.