17 වැනිදා රවි සිංහ රාශිගත වෙයි

ග්‍රහ යෝග රැල්ලක් සුබපල රැසක්
අගෝස්තු 4, 2023

 

  •  ධනවත් ගුණවත් දරු උපත්
  •  ලක්ෂ්මී යෝගය උදා වන්නන්ට ඉමිහිරි ජීවිතයක්
  •  කේදාර යෝග හිමියන්ට කෘෂි ක්ෂේත්‍රයේ වාසි
  •  සස යෝග හිමියන්ට රජදරුවන්ට සමාන සැප සම්පත්
  •  බුධ ආදිත්‍ය යෝග හිමියන්ට කාර්යශූරබව දූරදර්ශි අවබෝධය
  •  සත්කලත්‍ර යෝග හිමියන්ට වාසනාව-භාග්‍යය-ධනය ගලා එයි

 

මේ මස 17 වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 1.32ට පමණ ආත්මකාරක රවි ස්වක්ෂේත්‍ර බලයෙන් සිංහ රාශිගත වෙයි. එය දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි සිංහ රවි භාග 01 නිකිණි මස පුර පෑලවිය තිථිය ලත් දිනයයි. මා නැකැතේ 01 පාදය ආශ්‍රිතව ආරම්භ වන මේ ගමන එහි සිවුවැනි පාදය දක්වාත් උත්‍රපල් නැකැතේ පළමු පාදය දක්වාත් ගමන් කරයි. එබැවින් සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා මෙහි බලපෑම සියලු ලග්න හිමියන්ට මෙන්ම රටටද ලෝකයට එක සේ බලපාන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයේ සෙන්පති අඟහරු හිමි වෘශ්චික රාශිය උදාවන විට එහි තුන්වැන්නේ වක්‍ර සතුරු ප්ලූටෝ ද, වකු සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව සිවුවැන්නේද, වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව පස්වැන්නේද රෝගස්ථානය වූ සය වැන්නේ රාහු සතුරුවත්, ගුරු මිත්‍රවත්, යුරේනස් සවවත් පිහිටන අතර සිකුරු වක්‍රව භාග්‍යස්ථානය වූ නවවැන්නේ ද රවි ස්වක්ෂේත්‍රව සහ චන්ද්‍ර, කුජ, බුධ මිත්‍රශීලීව දසවැන්නේ ද කේතු සතුරුව 12වැන්න වූ අලාභ ස්ථානයේ ද පිහිටයි. සෙනසුරු 22 වැනි මාරක දෙර්කාණාධිපතිවත්, චන්ද්‍රයා බාධක ග්‍රහයා ලෙසත් සිකුරු මාන්දි ග්‍රහයා ලෙසටත් පවතී. මේ අනුව රාශි දොළහටම බලපවත්වන පරිදි යෝග රැල්ලක් නිර්මාණය වී තිබේ. ධර්ම කර්මාධිපති යෝගය, උපේන්ද්‍ර යෝගය, ගජකේශරී යෝගය, සත්කලත්‍ර යෝගය, බුධ ආධිත්‍ය යෝගය, ශ්‍රී විෂ්ණු ලක්ෂ්මී යෝගය, කේදාර යෝගය, ශනි මංගල යෝගය, කාල සර්ප යෝගය, ශනි දීප්ත යෝගය, චන්ද්‍ර මංගල යෝගය මෙන්ම වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි වෙත සස යෝගය උදා වෙයි. මේ අතර අගෝස්තු 24 වැනිදා බුධ වක්‍ර වීමද, අගෝස්තු 29 වැනිදා යුරේනස් වක්‍ර වීමද, සැප්තැම්බර් 04 වැනිදා ගුරු වක්‍රවීමද සිදු වනු ඇත.

සමස්ත ග්‍රහ පිහිටීම සලකන කල මේෂ සිංහ ධනු රාශි හිමියන්ට ඉතා බලවත් සුබපල හිමිවන පිහිටීමකි. වෘශ්චික රාශි හිමියන්ට ධර්මකර්මාධිපති රාජ යෝගය ද විෂ්ණු ලක්ෂ්මී යෝගය ද උදා වීම අති ප්‍රබල සුබවාදී පිහිටීමක් වනු ඇත. ඒ විෂ්ණු ලක්ෂ්මී යෝගය අගෝස්තු 19 වැනිදා අලුයම දක්වා ප්‍රබලව යෙදෙනු ඇත. එසේම බ්‍රහස්පති හිමි ධනු රාශි හිමියන්ට සිංහ රවිය පුරාම ධර්මකර්මාධිපති යෝගය පාරිජාත, බුධ ආදිත්‍ය, ගජකේශරී, සත් කලත්‍ර යෝග යෙදීමෙන් ඉමහත් සුබපල යෙදෙනු ඇත.

සිංහ හිමි ජනරජ කේන්ද්‍රයට අනුව ලංකාද්වීපයට යහපත් වකවානුවක් උදාවනු ඇත. දෙස් විදෙස් ආධාර උපකාර නොමඳව ලැබේ. රාජ්‍ය සේවකයන්ට මෙන්ම කම්කරු ජනතාවට සහන සැලසෙන කාලයකි. කලාව, ජනමාධ්‍යය, ඡ්‍යොතිෂය, ගුප්ත විද්‍යා ආදියට සුබවාදී සමයකි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අධිකරණය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, විධිමත් කෙරෙයි. එහෙත් වසංගත රෝග ආදිය පැතිර යා හැකි බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

 

මේෂ රාශිය

 

ලග්න ස්ථාන බලය මෙන්ම 5 - 9 ත්‍රිකෝණ ස්ථාන බලය ද සහිතව යෝග රැසකගේ අධිවේගී සුබපල මේෂ රාශි හිමියාට ප්‍රබලව බලපානු ඇත. දූ දරු ගැටලු, සෞඛ්‍යය ගැටලු අධ්‍යාපනය ආශි‍්‍රත බාධක අවහිරතා දුරු කෙරෙයි. එහෙත් හිස, පපුව, උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිස් පාද ආශි‍්‍රත වරින්වර රුදා වේදනා මතු කෙරෙයි.

 

වෘෂභ රාශිය

 

අවහිර බාධක දුෂ්කරතා අතරින් වුව පදිංචි ස්ථානයේ දියුණුව ඇතිවේ. කල්ගත වූ කාර්යයන් යළි ආරම්භ කෙරේ. විවාහ මංගල බාධක අවහිරතා දුරු කෙරෙනු ඇත. එසේ වුවද උදරාබාධ, උරහිස්, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත වූ රෝගාබාධ වරින් වර උත්සන්න වීම දැකිය හැකිය. 10 වැන්නේ සුබ පිහිටීම් නිසා රැකියා ආදායම් මාර්ග සතුටු දායකවනු ඇත.

 

මිථුන රාශිය

 

03 වැන්න වූ වික්‍රමස්ථාන ගත චතුර්ග්‍රහ යෝගය ප්‍රබලව පිහිටීම සතුටුදායක බවක් ගනු ඇත. උසස් සමාජ ඇසුර, දියුණුව මෙන්ම පදිංචි ස්ථානය ආශි‍්‍රත දියුණුවක් ඇතිවේ. ඥාති හිතෛෂීන් ඒක රාශී වන උත්සව පි‍්‍රය සම්භාෂණ ආදිය සිදු වීමට හේතුයි. රැකියා ආදායම් මාර්ග ව්‍යාපාර සාර්ථක කෙරෙනු ඇත. මංගල කටයුතු සතුටුදායකව ඉටුවනු පෙනෙයි.

 

කටක රාශිය

 

රැකියා ආදායම් මාර්ග මෙන්ම ව්‍යාපාරික කටයුතු ද තැන්පත් දේපළ වස්තු ආශි‍්‍රතව සුබදායී පසුබිමක් නිර්මාණය කෙරෙයි. ලැබීම් අංශය දියුණුවෙයි. බුද්ධිමත්ව දූරදර්ශීව සියලු කටයුතු කරගත යුතුවෙයි. රාජ්‍ය අංශයෙහි රැකියාවල නියුතු වූවන්ට ද ශුභවාදී බවක් මනාව පෙනී යයි. නවතාවයකින් නව ගමන් මඟක කටයුතු කර උසස් දියුණුවක් ලැබීමට හේතුයි.

 

සිංහ රාශිය

 

විෂ්ණු, ලක්ෂ්මී මෙන්ම උපේන්ද්‍ර යෝග බලය ද රවි, බුධ ආධිත්‍ය යෝගය මෙන්ම ගජ කේෂරී යෝගය සෙනසුරුගෙන් යෙදෙන සස නම් පංච මහා පුරුෂ යෝග බලය ද අනුව යෝග රැසකගේ බලය මුල් වූ සිංහ රාශි හිමියනට අතිශයින් සුබදායී කාලයකි. කරන කියන කටයුතු සාර්ථක වේ. උසස් ජන දිවියකට භාග්‍යය උදාවෙයි. එහෙත් උරහිස්, කොන්ද, තුනටිය, යටිබඩ, දණහිස් ආශි‍්‍රත වරින්වර රුදා වේදනා බහුලව මතු වෙනු පෙනේ.

 

කන්‍යා රාශිය

 

පොත්පත්, ලිපි ලේඛන ආශි‍්‍රත ශාස්ත්‍රීය කාර්යයන් ද පදිංචි ස්ථානගතව ආරම්භ කරන ලද කටයුතු ද කරගෙන යාමෙහි ක්‍රමවත් බවක් පෙන්වයි. දරු දැරියන්ගේ අධ්‍යාපන රැකියා ආදායම් මාර්ග ආදී දියුණුව වෙනුවෙන් කරන කටයුතු ද සතුටු දායක වනු ඇත. නව නිෂ්පාදන, උසස් වීම්, විධායක බලතල ලැබීමට හේතු සාධක මතු වෙයි.

 

තුලා රාශිය

 

කලක සිට අරමුණු කරන ලද ලැබීම් කටයුතු සාර්ථකත්වය දක්වා ගෙන යෑමේ භාග්‍යය උදාකෙරෙනු ඇත. අය ස්ථානය වන 11 වැන්නෙහි යෝග රැසක බලය යෙදී ඇත. මේ අනුව තුලා රාශි උරුම කරගත් ජන්මලාභීන් සිංහ රවියෙහි අභිමානනීය දිවි ගමනකට භාග්‍ය වාසනාව උදාකර ගනු ලබනුයේ උසස් සිතිවිලි සමුදායක් ද සමඟිනි.

 

වෘශ්චික රාශිය

 

සස යෝගය උදාකරගත් කර්මස්ථානගත ධර්ම කර්මාධිපති මෙන්ම විෂ්ණු ලක්ෂ්මී යෝග බලැතිව යෝග රැසකගේ කෝණ දෘෂ්ටිය, ත්‍රිකෝණ දෘෂ්ටිය, සප්තම දෘෂ්ටිය ලද මේ ජන්මලාභීන් අභිමානනීය ජීවන ගමනකට ප්‍රවේශ වන්නේ ය. රැකියා ආදායම් මාර්ග, සෞඛ්‍යය, සමාජගත මෙන්ම ගෘහ ජීවිතය අති සාර්ථකව ගෙනයන සුපින්වන්ත පිරිසයක් බවට මොවුන් පත්වනු ඇත.

 

ධනු රාශිය

 

ධර්මකර්මාධිපති මෙන්ම බුධ ආධිත්‍යය, ගජකේෂරී ආදී යෝග රැල්ලක් ධනු රාශි හිමියනට උදාවෙයි. මෙය සුවිශේෂී තත්ත්වයකි. දහසක් දෝෂ භංග කෙරෙමින් උසස් ගුණාත්මක මෙන්ම ධනාත්මක නව ජීවන ගමන් මඟකට පිවිසෙන්නේ ය. රැකියා ආදායම් මාර්ග, උසස්වීම්, සබඳතා, විවාහ මංගල කටයුතු ද සාර්ථක කරයි.

 

මකර රාශිය

 

නිර්මාණශීලී වූ උසස් ජීවන රටාවක් මෙන්ම තිරසර වූ විජයග්‍රාහී ගමන් මඟක් ඇති කරන යෝග රැල්ලකින් මකර රාශි හිමියන් සාර්ථකත්වයට පත් වන්නේ ය. රජයේ රැකියා, ආදායම් මාර්ග මෙන්ම සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කෙරෙන කාලයක් උදා වන්නේ ය.

 

කුම්භ රාශිය

 

සස යෝග බලය සමඟ 07 වැන්නෙහි යෝග රැල්ලක් උදාවෙමින් පැවතීම හේතු කොටගෙන සබඳතා විවාහ මංගල්‍ය කටයුතු සාර්ථකවෙයි. ලැබීම් සමඟ රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. ජීවිතය මනාව කළමනාකරණය කරගත හැකි වෙයි. කීර්ති ප්‍රශංසා ගලා එයි. සමාජයේ උසස් ඇසුර සහ විජයග්‍රහණ ලබනු ඇත.

 

මීන රාශිය

 

ප්‍රමාද වූ විවාහ මංගල කටයුතු ඉදිකිරීම් සතුටුදායක ලෙස නිමා වන්නේ ය. රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ ආදිය දෝෂ පදිංචි ස්ථානයෙන් දුරස්ථ වෙයි. රැකියා ආදායම් මාර්ග, උසස්වීම්, විජයග්‍රහණ ලැබීමට නියමිතයි. යෝග රැල්ලකින් 02, 06, 10 අර්ථ කෝණය ශක්තිමත් කිරීම සුබදායකය.

 

 

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.