ඥානකාරක බුධ සිංහයට ලග්න අටකට සුබ යෝග

අගෝස්තු 5, 2022
  • නිකිණි මාසය පුරා අසිරිමත් ග්‍රහ මාරු රැසක්
  • දේශපාලනික ආර්ථික අවහිරතා මගහැරී යන පසුබිමක්
  • නව කර්මාන්ත මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි
  • වසංගත රෝග හා කාලගුණ විපර්යාස ඇති වීමට වැඩි ඉඩක්

දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 7 භාග නිකිණි මහේ පුර දියවක තිථිය මා 01,02,03,04 පුවපල් 01,02,03,04 උත්‍රපල් 01,02,03,04 ආදී පාද 09ක් ආශ්‍රිතව සිංහ රාශිය මේෂ නවාංශකය මා 01 පාදයෙන් අගෝස්තු 01 වැනිදා පෙරවරු 03:45 ට ඥානකාරක බුධ ග්‍රහයා සිංහ රාශියට සම්ප්‍රාප්ත විය.

ගුරු- ශනි ෂඩ් කෝණ රවි -ගුරු චන්ද්‍ර -කුජ ත්‍රිකෝණ කේතු -ශනි චතුර් කෝණ දෘෂ්ටිය සමඟ බුධ චන්ද්‍ර සංයෝගය මේෂ- කටක- තුලා -මකර රුචක යෝගය මිථුන- කන්‍යා- ධනු- මීන හංස යෝගය මේෂ- කටක- තුලා මකර සස යෝගය වෙශී වොශී උභයචාරී අනථා දාමිනි යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ ග්‍රහයා සිංහ රාශි සංක්‍රමණය සිද්ධ විය.

නැගෙනහිර සිතිජයෙහි බුධ හිමි මිථුන රාශියෙහි රස ලෝලී සිකුරු ග්‍රහයා සමව ද රවි මිත්‍රශීලීව දෙවැන්න වූ ධනස්ථානගතවද චන්ද්‍රයා මිත්‍රශීලීව ද බුධ මිත්‍රශීලීව ද තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව ද කේතු සතුරු පස්වැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව අටවැන්න වූ මෘත්‍යු ස්ථානගතවද වක්‍ර ගුරු ස්වක්ෂේත්‍රව වක්‍ර නැප්චූන් ස්වකේෂ්ත්‍රව මූල ත්‍රිකෝණව දහ වැන්න වූ කර්මස්ථානගතවද යුරේනස් සමව රාහු සතුරු ව අඟහරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව අයස්ථානය වූ එකොළොස්වැන්නේ ද සෙනසුරු විසිදෙවෙනි මාරක දෙර්කාණාධිපතියා ලෙසටද බ්‍රහස්පති බාධක ග්‍රහයා ලෙසටද මාන්දි ග්‍රහයා ලෙසට ද යෙදී විශ්ව තාරකා මන්දාකිණිය නිර්මාණය විය.

විශ්ව මේෂාදී රාශි සටහන සහ ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි සටහන කෙරෙහි සෞරග්‍රහ මණ්ඩල ගමන්මඟ සලකා බලන කල්හි පවතින දේශපාලන ආර්ථික අවහිරතා දුෂ්කරතා බොහෝ දුරට මගහැරී යාමේ ප්‍රවණතාවයක් ඇති වන බව පෙනේ. නවීන තාක්ෂණික උපදේශනයන් මත නව කර්මාන්ත සහ මහ පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවක් පෙනෙයි. ලැබුවා වූ මෙම ග්‍රහචාරය අනුව රෝහල් බන්ධනාගාර ඇතුළු රාජ්‍ය ආයතන සංවර්ධනය වෙයි. රටේ කාර්මික අංශයන්වල දියුණුවක් ඇතිවේ. ඒවාහි නිෂ්පාදන ධාරිතාවයන් වැඩිවී ක්‍රමවත් වීම ද සිදුවේ. අධ්‍යාපන ක්ෂේත්‍රය ද යම් ආකාරයක දියුණුවක් ලබන්නේය. එලෙසම රටේ ආනයන අපනයන වාණිජ ව්‍යාපාරිකකරණය සක්‍රීයව මුහත් වන බවක් පෙනෙයි. මේ අතර රටෙහි පවත්නා අරගල කැරළිකාර පසුබිමෙහි ද යම් වෙනස් මුහුණුවරක් දක්නට ලැබෙයි.

රටපුරා නීතිරීති පැනවීම තීව්‍ර වෙයි. රාජ්‍ය සහ රාජ්‍ය සේවාවන්හි කළමනාකරණය ආශ්‍රිතව වැය ශීර්ෂ ඉහළ යා හැකියි. අගෝස්තු 10 වැනිදා අඟහරු සිකුරු හිමි වෘෂභයට සංක්‍රමණය වූ කළී රාජ්‍ය සේවා කෙරෙහි දැඩි නීති රීති ක්‍රමවේදයකට පාත්‍ර වීමක් සිදුවිය හැක. එලෙසම වසංගත රෝග මෙන්ම කාලගුණික විපර්යාස කැලඹිලි මතුවීම මෙම කාල කාලසීමාවේදී සිදුවීමට ඉඩ ඇත.

මෙම තත්ත්වය ඔබේ ලග්නයට කෙසේදැයි විමසා බලමු.

මේෂ

දෛනික රැකියා ආදායම් මාර්ගවලට යම් අවහිරතා බාධක මතුවිය හැකිය. එය ඔබගේ දියුණුව, උත්සාහය අඩපණ කිරිමට හේතු වනු ඇත.එනිසා බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.

වෘෂභ

මෙම ග්‍රහමාරුව වෘෂභ ලග්න හිමියන්ට තරමක සුබපල ගෙනදෙනු ඇත. අධ්‍යාපනය කෙරෙහි හිත යොමු වේ. දූදරුවන්, හිතමිතුරන් කෙරෙහි ඇති බැඳීම් ශක්තිමත් වෙයි. සැනසීම, සතුට ,ප්‍රීතිය වෙනුවෙන් කාලය ශ්‍රමය, මුදල් වැය කෙරෙයි.

මිථුන

සමාජශීලීත්වය වැඩි කෙරෙයි. තමාගේ අඹූදරුවන් මෙන්ම සහෝදර සහෝදරියන්, හිතමිතුරන් කෙරෙහි වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරයි. ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කරයි.

කටක

රැකිරක්ෂා, ආදායම් මාර්ග මෙන්ම වෙනත් සුවිශේෂී අරමුණු ඉටුකෙරෙන යහපත් කාලයකි. ඒ කටයුතු සාර්ථක වෙයි. කලක් තිස්සේ බලාපොරොත්තු වූ දේවල් ඉටුවේ. ආදායම් තත්ත්වය මත වියදම් පවත්වාගෙන යාම ශුභවාදී වේ.

සිංහ

රැකියා, ආදායම් මාර්ග කෙරෙහි සුවිෂේශී අවධානයක් යොමුවේ. තැම්පත් දේපළ හා වාස්තු ක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි වශයෙන් යොමුවිය හැක.

කන්‍යා

පදිංචි ස්ථානය මඟහැරෙන බවක් රැකියා කටයුතු නිසා හෝ සිදුවෙන බව පෙන්නුම් කරයි. වැයවීම් අධික කරයි.

තුලා

නොසිතූ මෙන්ම මෙතෙක් බලාපොරොත්තු වූ අරමුණු සඵල කෙරෙයි. ලැබීම් අංශයෙහි ක්‍රියාකාරකම් ශුභවේ.

වෘශ්චික

රැකියාවේ හා වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රසාදයට හේතු වේ. සුබදායක කාල පරාසයකි.

ධනු

පදිංචි ස්ථානය, දියුණුව, සේවා තරාතිරම,සතුටුදායක පෙරළියකට පාත්‍ර කෙරෙනු ඇත. ජීවිතය ප්‍රතාපවත් ගමන්මගක ගමන්කරනු ඇත.

මකර

හදිසි තීරණ ඉක්මන් කෝපවීම්වලින් දුරස්වීම වැදගත් වෙයි. අනාගත දියුණුව කෙරෙහි සිත සිතුවිලි පහළ වෙයි.

කුම්භ

ප්‍රමාද වූ විවාහ කටයුතු තීන්දු තීරණ කඩිනම් කෙරෙයි. පවුල් ජීවිතය යහපත් වෙයි.

මීන

රෝගාබාධ කෙරෙහි සැලකිලිමත් වෙන්න. යටිබඩ ආශ්‍රිතව රෝගාබාධයන් ඇතිවීමට අවකාශ පවතී.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.