ඔබව සමාජයේ ඉහළටම ඔසවා තබන පංච මහා පුරුෂ යෝග

ජූලි 8, 2022

ඡ්‍යොතිෂ්‍යය තුළ ඇති කේන්දරයක් තුළ දක්නට ලැබෙන යෝග ගණනාවකි. මේවා අතර සුබ යෝග මෙන්ම අසුබ යෝගද වේ. පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑම් ඇති කරන මෙම යෝග අතර පංච මහා පුරුෂ යෝග ප්‍රධාන වේ. එම යෝග එකක් හෝ වැඩි ගණනක් යෙදී ඇති පුද්ගලයින් සමාජයේ, රටේ උසස් තත්ත්වයකට පත් වෙයි. ගුරු, සිකුරු,බුධ, ශනි,කුජ යන ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් ජන්ම පත්‍රයක 1,4,7,10 යන කේන්ද්‍රස්ථානවල යෙදීමෙන් මෙම පංච මහා පුරුෂ යෝග යෙදේ. මෙම යෝග ඔබේ හෝ ඔබේ දරුවාගේ ජන්ම පත්‍රයේ යෙදී ඇත්දැයි මෙම ලිපිය කියවීමෙන් ඔබටම වටහා ගත හැකිය.

ගුරු හංස යෝගය

කේන්දරයක ගුරු නොහොත් බ්‍රහස්පති ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක යෙදීමෙන්, ගුරු හංස යෝගය යෙදේ. මෙම යෝගයෙන් හොඳ ඥාන ශක්තියක් ඇති, නීරෝගිමත්, බලවත් ධන සම්පත් හිමි, දීර්ඝායුෂ ඇති පුද්ගලයකු බිහි වේ. රාජ්‍ය අංශයේ තනතුරු ලැබේ. ආගම දහමට ඉතා ළැදිවේ. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට මෙම යෝගය නොයෙදේ.

භද්‍ර යෝගය

බුධ ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් 1,4,7,10 යන ස්ථානයක පිහිටීමෙන් මෙම භද්‍රයෝගය යෙදේ. මෙම යෝගය ඇති අයට දැනුම, බුද්ධිය හොඳින් පිහිටයි. ශාස්ත්‍රීය කටයුතුවලට ලේඛන කටයුතුවලට, කථිකත්වයට දක්ෂ වේ. ගත්කතුවරුන්. මාධ්‍යවේදීන් , පැවිදි පඬිවරුන් මෙම භද්‍ර යෝගයෙන් බිහි වේ. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට මෙම භද්‍ර යෝගය යෙදේ.

මාලවී යෝගය

මාලවී යනු අනංගයාය. අනංගයා වැනි රූප ශෝභාවක් මෙම යෝගය ඇති අයට හිමි වේ. සිකුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1,4,7,10 හි යෙදීමෙන් උදාවන මාලවී යෝගය සෑම ලග්නයකටම යෙදේ. සතුට, විනෝදය කලාකාමි බව මොවුන් තුළ පිහිටයි.

සස යෝගය

ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා, උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක පිහිටීමෙන් සස යෝගය යෙදේ. මෙම යෝගය ඇති අයට ගේ දොර, ඉඩකඩම්, යාන වාහන හිමිවේ. දුක – සැප සමසේ විඳ දරා ගැනීමේ ශක්තිය ඇත. ආගම දහමට ලැදිය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හැර අනෙක් ලග්නවලට මෙම යෝගය යෙදේ.

රුචක යෝගය

රුචක යෝගය යෙදෙන්නේ කුජගෙනි. කුජ නොහොත් අඟහරු 1,4,7,10 කේන්දරස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව යෙදීමෙන් මෙම යෝගය යෙදේ. මෙම යෝගය ඇති අය නිර්භීතය. එඩිතරය. සතුරන් ජය ගත හැක. ආරක්ෂක අංශවල ප්‍රධානීහු වෙති. කාර්මික හා වගා කටයුතුවලට දක්ෂය. මෙම යෝගය මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට නොයෙදේ.

උදාහරණයක් ලෙස ලග්නය මේෂ නම් ගුරු 4 කොටුවේ නම් ගුරු හංස යෝගය ඇත. සිකුරු 7 නම් මාලවී යෝගය ඇත. ශනි නොහොත් සෙනසුරු 7 හෝ 10 කොටුවක නම් සස යෝගය පිහිටා ඇත. කුජ 1 හෝ 10 නම් රුචක යෝගය ඇත. මේ අනුව අනෙක් ලග්නවලටද මෙම යෝගය යෙදී ඇත්දැයි හඳුනා ගන්න.

ඡ්‍යොතිර්වේදී , වාස්තු විද්‍යා උපදේශක

දේශමාන්‍ය, දේශබන්ධු

ආචාර්ය

කපිල ඉන්ද්‍රික ගුණදාස

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.