වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාව

ජූලි 1, 2022

ලග්නය හා කාන්තාව

රාශි චක්‍රයේ දෙවැන්න වූ ‘වෘෂභ’ තිර රාශියක් වන අතර, වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා ය. මාරකස්ථානය හා ත්‍රිකෝණස්ථානය අධිපතිවීම නිසා සිකුරු හා සඳු පාප ග්‍රහයන් වශයෙන් ද සෙනසුරු හා රවි සුබ ග්‍රහයන් වශයෙන්ද වෘෂභ ලග්න හිමියන්ට හඳුන්වා දී ඇති අතර සඳු ගුරු කුජ යන ග්‍රහයන් උසුලන තත්ත්වයද සැලකිල්ලට ගත යුතු ය. එම ග්‍රහයන් බලවත්ව සිටීමෙන් සියලු සැප සම්පත් ලැබීමට ද හැකිවනු ඇත.

වෘෂභ ලග්නය හිමිව මකර, කුම්භ, මීන යන නවාංශකයකට අයත්ව සිටින කාන්තාවෝ පි‍්‍රයංකර පෙනුමෙන් යුක්ත කැරලි ගැසුණු කේශ කලාපයක් ඇති අය වෙති. ආහාරවලට මෙන්ම ආභරණවලට ද ඉතා ඇලුම් කරයි. කොයිකරුණක දී වුවත් වහා කලබලවන ගතියෙන් පෙන්නුම් කරන අතර සැරපරුෂ අන්දමින් කතා කිරීමෙන් ඇගේ මනසට ඇතිවන වේදනාව නිසා රෝගාබාධ වුවද සෑදිය හැකි ය. අනුකම්පා ගතියද තරමක් දුරට අඩු ය. වැඩිමහල් සහෝදරයන්ගෙන් ඵල ප්‍රයෝජන අඩුවන අතර ගුරු 11 වැන්නේ නම් ඇය පවුලේ වැඩිමලා වීමට ද පුළුවන.

සුබ ග්‍රහයකු වුවත් ගුරු ග්‍රහයා මෙම කතුන්ට අශුභඵල උදාකරයි. වෘෂභ ලග්නය වී මකර, කුම්භ, මීන යන නවාංශකයකින් ඉපදී ඇති අයගේ අට වැන්න අධිපති ගුරු ග්‍රහයා 22 දෙර්කාණාධිපති වන අතර ගුරු ග්‍රහයා 4 වැන්නේ උපතේ දී සිටියේ නම්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලැබීමේ භාග්‍ය අඩුය. ගෙදර වාසය කරන්නේ ද නිතර සිතේ කනස්සලු ගතියෙනි.

ගුරු 7 වැන්නේ නම් ජාතියෙන් හා ආගමෙන් වෙනස් අයකු හා විවාහ වීමට ද ඉඩ තිබේ. 10 වැන්නේ නම් අතුරු දශා කාලයකදී රැකියාවේ කරදර ඇතිවීමට ඉඩ තිබේ.

වෘෂභ ලග්නය වී මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයකින් ඉපදුණ අයගේ 22 වන දෙර්කානාධිපති කුජ ග්‍රහයා වනු ඇත. වෘෂභ ලග්නය වී වෘෂභ නවාංශකය හිමිව ඉපදුණ කාන්තාව පවුලේ හෝ ඥාතීන් අතර ප්‍රධානත්වයක් ගෙන කටයුතු කිරීමට හැකි අය වන අතර ගුරු 10 වැන්නේ හෝ 11 වැන්නේ සිටීනම් ඉතාම උසස් තත්ත්වයයකට පත්වීමේ ඇති අයකු වනු ඇත.

ගුරු වෘත්තිය, නීති වෘත්තිය, කතිකාචාර්ය තනතුරු දැරීමට වුවත් භාග්‍ය ඇති අයකි. 4 වැන්නේ ගුරු සිටීමෙන් උසස් ගුණවත්, කාන්තාවක් වනු ඇත. සහකරුද විධායක තත්ත්වයේ රැකියාවකට හිමිකම් කියන අයකු විය හැකි අතර, විවාහයෙන් පසු ගේ දොර ඉඩකඩම් ලැබීමට ද හේතු ඇති කරයි.

මෙම කතුන්ගේ ශරීරය උෂ්ණාධික වන අතර ඉක්මණින් කෝපවන ගතියක්ද පෙන්නුම් කරයි. සුළු කරුණකට පවා ආරවුල් ඇති කර ගනී. කුජ 7 වැන්නේ සිටීම නිසා යුගදිවිය අසාර්ථක වන අතර, අඟහරු අතුරු දශා කාලවලදී විවාහය කැඩීයාමට හෝ සහකරුට විපත් ඇතිවීමටද ඉඩ තිබේ.

අටවැන්නේ කුජ සිටීමෙන් හදිසි අනතුරුවලට ලක්විය හැකි අතර, ශෛල්‍ය කර්මවලට පවා ලක්විය හැකිය. අඟහරුවාදා දිනය, අසුබ දිනය වේ.

වෘෂභ ලග්නය හා කටක, සිංහ, කන්‍යා යන නවාංශකයකින් ඉපදී ඇති අයගේ රවි ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා වන අතර, මෙම නවාංශකය හිමි කතුනට සිත් පීඩා වද වේදනාවන්වලට මුහුණ දීමට සිදුවන අතර හා පහත් අදහස් ද වලින් යුතු අන් අය අතර ගරුසර නොලැබීමට ද හේතුයි. රවි ග්‍රහයා 6, 8, 12 යන ස්ථානයක සිටීමෙන් පියාගෙන් ප්‍රයෝජන අඩුවනු ඇත. රවි 10 සිටීමෙන් රැකියාවලට බාධා ඇතිකරයි. රජයේ රැකියාවක් නොලැබීමට පවා ඉඩ ඇති අතර අමාරුවෙන් ලැබුණත් එය කරදර බාධක මැදින් කරගෙන යාමට සිදුවේ.

රවි ලග්නයෙ සිටීමෙන් උෂ්ණාධික රෝග හිසේ හෝ ලිංගික ප්‍රදේශවල සෑදීමට පවා ඉඩ ඇති අතර, ආත්ම විශ්වාසය අඩු අය වනු ඇත. අහංකාරකම හේතුවෙන් සමාජයෙන් කොන්වන ස්වභාවයක් දැකිය හැකි ය. රවි 7 වැන්නේ සිටීමෙන් විවාහය ප්‍රමාදවීම, නොගැළපෙන සහකරුවෙක් ලැබීම වැනි බාධාකාරී බවක් පෙන්නුම් කරයි.

රවි 5 වැන්නේ නම් උසස් අධ්‍යාපනයට බාධා පැමිණේ. දූ දරුවන් ද අයහපත් වන අතර විශේෂයෙන් ගබ්සාවීම් වැනි දෙයටද ගොදුරු විය හැකි ය. දරු ලාබ අඩුවන බවක් පෙන්නුම් කරයි.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.