නිවැරැදිව නම තබමු සුබ පල අත්විඳිමු

අප්‍රේල් 29, 2022

අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීම සඳහා විවිධ නම් භාවිත කෙරිණි. කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ නම්වලින් කතා කරන්නට යෙදුණි.

එදා සිට අද දක්වා නම් තැබීම ආවාට ගියාට සිදු නොවිණි. එය කිසියම් වූ ශාස්ත්‍රානුකූලව සිදු කෙරෙන කටයුත්තක් විය. බඹුන් 108 දෙනකු ගෙන්වා සිදුහත් කුමරුට නම් තැබීමේ කතා පුවත අප සියලු දෙනාගේම මතකයට එනු ඇත. නම් තැබීම නැතහොත් නාමකරණය ඒ තරම්ම වැදගත්ය. එය හුදු සරල කාරණයක් නොවන බව ඔබටම වැටහෙනු ඇත. උපතේ සිට මරණය දක්වා සිය දහස් වාරයක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් විවිධ පුද්ගලයන්ගේ කටින් කියවෙනු ඇත. නිවැරැදිව තබන්නා වූ නම් ජන්මියාට ආයු, සැප, බලය, වාසනාව, ධනය ලබාදෙන මන්තරයක් බඳුය.

ඒ වගේම, වර්තමානයේ ඉහළ මට්ටමේ දියුණු වී ඇති ව්‍යාපාර සියල්ලටම පාහේ එම තත්ත්වයට පැමිණීමට ව්‍යාපාරයට තබන නාමය මහා පිටුවහලක් වී ඇති බව ආධුනිකයාට පර්යේෂණාත්මකව බැලිය හැක. ජන්මියාට සුභ ප්‍රතිඵල වැඩි කර ගැනීමටත් අසුභ ප්‍රතිඵල අඩුකර ගැනීමටත්, නිවැරැදි නාමකරණය තුළින් හැකියාව පවතී. වර්තමානයේදී බොහෝ ඡ්‍යොතිෂවේදීන් නිවැරැදි ශාස්ත්‍රානුකූලව නාමකරණය සිදු නොකරන බවක් පෙනී යනු ඇත. උපන් නැකත හෝ උපන් නැකතට සීහෙන නැකත පමණක් බලා එයට අයත් විශාල ප්‍රමාණයේ අක්ෂර ලබාදීම පමණක් සිදුවීම කනගාටුවට කරුණකි. මෙය සැමවිටම නොගැළපෙන බව ජන්ම පත්‍රයක් තුළින් පැහැදිලි කරමු.

1991 වර්ෂයේ මාර්තු මාසයේ දී සුවන නැකතේ දෙවෙනි පාදයෙන් උපන් ජන්මියාගේ දළ කේන්දර සටහන ඉහත දැක්වේ. ඉහත ජන්මපත්‍රය හිමි ජන්මියාගේ නම තැබීම සඳහා ග,ර,ක,ව යන අක්ෂර සුදුසු බව පවසා ඉන් මේ ජන්මියාට ඉතාමත් යහපත් සුබ ප්‍රතිඵල ලැබෙන බවට මහා ඉහළින් වර්ණනා කර තිබුණි. ඒ අනුව ‘ගාමිනී’ ලෙස නම තබන ලදී. (සම්පූර්ණ නම හෙළි නොකරමි) මෙම ජන්මියා ආමන්ත්‍රණය කිරීමට ගාමිනි යන නාමය වැඩිපුරම භාවිතා විය. එක්තරා කාලයක දී මෙම නම වැඩි වශයෙන් භාවිතා වන්නට විය. එසේ සිදු වූයේ දින කිහිපයකි. අවාසනාවන්ත ලෙස මෙම ජන්මියාගේ ජීවන ගමන නිමාවිය.

මේ එක් නිදසුනක් පමණි. මෙම ජන්මියාට නම තැබීමේ දී උපන් නැකතට සීහන නැකත (සම්පත්) යන කාරණාව ගැන පමණක් ම අවදානය යොමු කර ඇති අතර, වෙන කිසිදු කරුණක් ගැන අවධානය යොමුකර නැති බවට ආධුනිකයාට ඉතා සියුම්ව පරික්ෂා කර බැලීමේ දී අවබෝධ වනු ඇත. නාමකරණයේ දී උපන් නැකතට හෝ උපන් නැකතට සීහෙන නැකතක් යන සාධකයට පමණක්ම මුල්තැන නොදී පහත සඳහන් ශාස්ත්‍රානුකූල නිවැරැදි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළත් ජන්මියාගේ අබල දුබලතා මඟ හැරී ඉතා උසස් මට්ටමේ යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

1. කේන්දරයේ බලවත්ම හෝ බලවත් ග්‍රහයාට අයත් අක්ෂරයක් වීම

2. උපන් නැකතට හෝ උපන් නැකතට සීහන අක්ෂරයක් වීම

3. යොදාගත් ගණය උපන් නැකතට ගැළපෙන ගණයක් වීම

4. යොදා ගන්නා නැකත හිමි ග්‍රහයා කේන්දරයේ සුබ ස්ථානයක සිටීම ආදි ප්‍රධාන කරුණුවලින් පෝෂණය වී සිදුකරන නම් තැබීම තුළ ජන්මියාට නිසැක වශයෙන්ම යහපත් සුබපල උදාකරයි. ඉහත සියලු කරුණු සම්පූර්ණ කළ නොහැකි පසුබිමකදී පළමු කරුණු ඇතුළු වැඩි කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම තුළ ජන්මියාට සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් ලැබෙන බව නැවත නැවතත් පැවසිය හැක.

 

 

ඡ්‍යොතිෂවේදී

දිනේශ් සාලින්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.