අවුරුදු අරුත

අප්‍රේල් 8, 2022

අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන හැම කෙනකු මැ “අවුරුද්ද” යන්නෙහි අරුත දනී ද යනු සැකයෙකි. යටත් විජිත පාලන සමයේ ඉංගිරිසි බසින් New year  යනුවෙන් මෙය හඳුන්වා ඇතත් New year  යනු නව වසර මිස අවුරුද්ද නොවේ.

අවුරුද්ද යන වදන සෑදී ඇත්තේ අ+ වරු+ දු යන කොටස් තුන එක්වීමෙනි. එ තැන “අ” යන්න උපසගයකි. (පමණ යන්න අපමණ කීවා මෙනි) වරු, නම් වාරය හෙවත් අවස්ථාවයි. “දු” යනු ඇති අරුත දෙයි. (පුරුදු - යන්න මෙනි) එ සේ සලකන කල අවුරුද්ද යනු වෙසෙසි අවස්ථාවක් ඇති දිනය යන අරුත දෙයි. කුමක් ද මේ වෙසෙසි අවස්ථාව. ලොවේ පළමුවැනි වරට, දස්කම් ඇති සුරුවකු තෝරාගෙන ඔහුට ඔටුනු පළඳවා රටේ රජු හැටියට පත් කැර ගැනීමේ අවස්තාව යි. “මනු වස” නමැති පොතේ, අරිසෙන් අහුබුදුවන් එය සඳහන් කැර ඇත්තේ මෙ සේ යි.

“පෙර කලියුග වසේ

වැඩි වූ තෙවිසි දහසේ

ස එක සිය වරුසේ

මනුහු රජ වූ බවක් පැවැසේ”

ඈපා පංචාංග ලිතේ සඳහන් වන හැටියට කිතුවසින් 2022 වන මෙම වසරට සමාන කලියුග වසර 5122 වැනි වසර යි. එ හෙයින් කලියුග වස ඇරැඹෙන්නට වසර 23601 කට පෙර යැ යි කීයේ මෙම වසරින් වසර 28723 කට පෙර යි. සිංහල අවුරුද්ද හෙවත් සිංහල ජාතියේ වෙසෙසි දිනය ඇරඹී ඇත්තේ එ පමණ කලකට පෙර යි. ඒ විස්තරය අරිසෙන් අහුබුදුවන් සඳහන් කැර ඇත්තේ මෙසේ යි.

උපන් තෙක් මිහි මත

එ වන් උළෙලක් දැක දැක නැත

උලෙළට මැ දී හිත

එදා දිනිඳු ද ලැබී තොස් සිත

 

මනු ලොවැ මුල් වරට

තෝරා ගැනුණු එ ලෙසට

රජ වූයෙන් ඔහුට

නම ද මනු නිසි වුණා අරුතට

 

මනු නිරිඳුගෙ නමට

කප් හිමි යසස් පළ කොට

නිවස වී එ රජුට

නැඟිනි මුල් රජ දහන මිහි පිට

 

මනු රජු හිසැ කිරුළ

පළඳවන නැකත ද පළ

දිනෙකැ වී මුළු හෙළ

දිව මැ සැණ කෙළි වෙස් උදා කළ

 

මන්නාරම් නුවර

මතින් බක් මසැ දිනකර

ලඹ රස් හෙළන වර

ලැබී අබිසෙක් සිහළ නරවර

 

මනු රජුගෙ අබිසෙස

සිදු වූ වෙසෙසි එ දවස

අවුරුදු මඟුල ලෙස

ගනිති හෙළයෝ අදත් පෙර ලෙස

මෙම වසරින් වසර 28723 කට පෙර ලක්දිව පාලනයට සුදුසු නයුවකු තෝරා ගෙනැ ඔහුට ඔටුනු පැළඳවීමේ උලෙළ මේ අවුරුදු උලෙළයි. එයින් රටට දැයට වූ යහපත සලකා වසරක් පාසා එම උලෙළ සිහි කැර හැම සිංහල ගෙදරක මැ උලෙළක් පැවැත්වීම සිරිත වී ඇත. එ තරම් ඈත කලෙක සිට වසරක් පාසා නොකඩවා පවත්වා ගෙනැ එන දෑ උලෙළක් හිමි එක මැ ජාතිය හෙළ ජාතිය යි.

හෙළ ජාතිය යනු ලොවට එළිය දෙන හිරු දෙවියකු ලෙස සලකා වැඳුම් පිදුම් කළ ජාතිය යි. ඒ ජාතියට නයුවකු තෝරා ගෙනැ රට මැනැවින් පාලනය කිරීමට කටයුතු යොදා ගැනීම ද හිරු දෙවියා වැඩි මැ බලයට පත්වන මොහොතක යොදා ගත් බව පෙනෙයි.

රවි ගේ උච්ච රැසහෙළ රැස හෙවත් එළු රැසයි. එය ඇරැඹෙන්නේ මන්නාරම මතින් හිරු පායා එන දිනයේ යි. දෝ සතරේ අංසක 0 එ තැනින් ඇරඹෙයි. ඒ විස්තරය “මනු වසෙහි” සඳහන් වන්නේ මෙ සේ යි.

 

ලක්දිව මතින් දුල

ලක් දන ලබන සුමඟුල

ලෙස අවුරුදු මඟුල

මේ රජ නම් කළෙ තකා එන කල

වෙසෙසි දවස යැ යන

අරුත දෙන අවුරුදු දින

මුළු රට එක් කරන

සිරිත් පෙළ රජ දැයට පුද දින

 

මින් රැසිනේ එ රැසට

රේවතියෙනස් විදය ට

තව නොපැමිණි කලට

නොනගතය නම් කළේ නරදෙට

 

එක මැ නැකතින් කම

වරා මුළු නොනගතය ම

පින් බිමෙහි හැසුරුම

නියම කළෙ රෝ සොන් මෙ මනු තෙම

 

මෙසේ සිංහල අවුරුද්ද යනු සිංහල ජාතියේ වෙසෙසි දිනය යි. හෙළ දිව ඉංගිරිසීන් ගේ යටත් විජිතයක් වැ පැවැති සමයේ මේ දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කැර එය දින දක්නයේ සඳහන් කරන ලද්දේ Sinhala and Tamil New Year  යනුවෙනි. සිංහල අවුරුද්දේ අරුත නොදත් විදැයන් (විජාතිකයන්) විසින් කරන ලද ඒ වරද තවමැත් නිවැරැදි කැර ගෙන නැත. එක් ජාතියක ජාතික දිනයක් තවත් ජාතියකට අයත් විය නොහැක. එසේ වෙයි නම් මේ රට ද හෙළ - දෙමළ රට විය යුතු යැ. බලවතකු වරදක් කළ විට, ඒ නොවරදක් ලෙස අවිචාරයෙන් පිළිගන්නා අයට ඒ වරද නිවැරැදි කැර ගන්නට වුවමනාවක් නැත. එය ජාතියේ පිරිහීමට හේතු වෙයි.

සිංහල අවුරුද්ද සිංහල දැයේ වෙසෙසි දිනය යි. එය සිංහල හා දෙමළ අවුරුද්ද විය නොහැක. යටත් විජිත යුගයේ බලවතුන් කළ වරද දැන්වත් නිවැරැදි කැර ගත යුතු යැ.

සිංහල අවුරුද්දට සබඳ වී ඇති තවත් වදනකි. “නොනගතය” යන්න. ඒ වදනට ද වැරැදි ලෙස අරුත් දක්වති සමහරු. 1991 පංචාංග ලිතක ( 102 පිටුවේ) නොනගතය සඳහන් කැර තිබුණේ මෙ සේ යැ.

“නොනගතය යන වචනය නොනැකත නැත්නම් නොනකත යන වචනයෙන් බිඳී ආ එකකි. නොනකත යනු නැකැත් නැති යන අරුත දෙන වචනයකි. මෙය අප අතර ඇති ගැමි වහරක් ලෙස හැඳින්විය හැකිය.”

එය ද වැරැදි ලෙස අරුත් දැක්වීමකි. නැකැත් නැති වෙලාවක් නැත. නැකැත් 27 දවස පුරා පැතිර සිටී. සිංහල බසේ ද ‘ග‘ යන්න ‘ක’ යන්නට මාරුවීමක් මිස ‘ක’ යන්න ‘ග‘ යන්නට මාරුවීමක් නැත. දිග - දික්, අග - අක් යන තැන්වල ‘ග‘ යන්න ‘ක’ යන්නට මාරුවීම පෙන්වයි. එහෙත් ලක්කිරීම ලග්කිරීම වන්නේ නැත. එක්කිරීම එග්කිරීම වන්නේ ද නැත. එ හෙයින් නොනගතය යනු නැකැත් නැති වේලාව ලෙස හැඳින්වීම ද බලවත් වරදකි. ඒ වදන සෑදී ඇත්තේ නො + අනගත යන කොටස් දෙක එක්වීමෙනි. අපේ සෙල්ලිපිවල ද “අගත අනගත චතුදිස සගස” වැනි යෙදුම් දක්නට ඇත. අගත අනගත යනු පැමිණි නො පැමිණි යන අරුත දෙයි.

ඒ අනුව ‘නොනගතය’ යන වදන සෑදී ඇත්තේ නො+ අනගත යන කොටස් දෙක එක්වීමෙනි. නොපැමිණියේ නො වේ යන අරුත එයින් ලැබේ. හිරු ඈතට රැස් විහිදුවනැ ග්‍රහයායි. එ හෙයින් හිරු කිසියම් රාසියකට පිවිසෙන්නට කලින් හිරු රැස් ඒ රාසියට පිවිසෙයි. ‘නොනගතය’ කීවේ එයට ය. නොනගතය ඇරඹුණු තැන සිට කටයුතු නවතා පින් දහම් හි නිරත වී හිරු උච්ච රාසියට පිවිසි පසු යෙදෙන සුබ මොහොතින් අහර පිස වළඳා වැඩ කටයුතු ගනුදෙනු ආදියෙහි නිරතවීම සිංහල සිරිතයි.

එ හෙයින් ‘නොනගතය’ නැකැත් නැති වේලාව යැයි කීමත් සිංහල අවුරුද්ද ඉංගිරිසි බසින් Sinhala and Tamil New Year  යැයි හැඳින්වීමත් සුදුසු නො වේ. “සිංහල අවුරුද්ද” යන්න ඉංගිරිසි බසින් හැඳින්විය යුතු තැන Auspicious day of the sinhalesse යැයි සඳහන් කිරීම යහපති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.