උපන් ලග්නය අනුව ඇගේ චරිත ලක්ෂණ

සැප්තැම්බර් 3, 2021

ලොව වෙසෙන සියලුම කාන්තාවෝ එක සමාන නොවෙති. රූපයෙන් මෙන්ම ගතිගුණ අතින්ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් ය. මෙයට හේතුව වන්නේ තමන් උපන් මොහොතේ බලපෑ රාශි අනුව හැම කෙනෙකුගේම ගතිගුණ හා හැඩරුව වෙනස්වීම ය. ඒ ඒ රාශි හෙවත් ලග්න අනුව ඉපදුණ කාන්තාවන්ගේ ගතිගුණ විවිධාකාර ලෙස ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි.

 

මේෂ ලග්නයෙන් උපන් කාන්තාවන්ට මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් හා දික් වූ ගෙලක් පොකුරු ගැසුණ කේෂ කලාපයක් හිමිය. ඇය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්තය. කීර්ති, ප්‍රශංසා ආදිය ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීම ඇති ආශාවත් ඉදිරියට යන ගතියක් නිසාම නිතර ජයග්‍රහණ හා ප්‍රසිද්ධිය ලබන්නීය. ස්වාමියාට හෝ වෙනත් කිසිම අයෙකුට යටහත්, පහත්වීමට කැමති නැත. නොඉවසිලිමත් ගතිය හා සමාදානයට ඇති අකමැත්ත ඔවුන්ගේ ජීවිතයේ දුර්වලතාවක් ලෙස කැපී පෙනෙයි.

වෘෂභ ලග්නයෙන් උපන් අයට දිගුවන් කේශ කලාපයක් හිමිවෙයි. අලංකාර මටසිලිටු නාසයක්, පිරුණ මුඛයක් ඇති ඔවුහු හැමවිටම විහිලු තහලුවලට පි‍්‍රය ය. හැමවිට සිනහවෙන් කාලය ගත කරන අතර කෘෂිකාර්මික කටයුතුවලට වැඩි උනන්දුවක් දක්වයි. හැම කටයුත්තකදීම අවනත ස්වභාවයක් දැක්වීම ඇගේ සිරිතය. අවංක හදවතක් ඇයට සහජයෙන්ම උරුමය. අලසබව, මුරණ්ඩු ගතිය ඇගේ ස්වභාවයකි.

මිථුන ලග්නය හිමි කාන්තාවන්ගේ මුහුණ සිහින් ය. පළල් නළල, සිත් ඇද ගන්නා ඇස්, පැහැදිලි නාසය, උල් නිකට, සිහින් තොල් සගලෙන් යුතු කුඩා මුඛය කැපී පෙනෙයි. තියුණු බුද්ධියක් අවස්ථානුකූලව ලබයි. විනෝදය නිතර පි‍්‍රය කරයි. කපටිකමින් අගතැන් ගනියි. කවමදාවත් පසු නොබසින ඔවුහු ආත්මාර්ථකාමීය. අන් අයගේ සිත් රිදවීම පි‍්‍රය කරන අතර එයින් ඔවුන් අවමානයටද ලක්වෙයි. ඉක්මනින් තැති ගැනෙන ස්වභාවයක් ඇති, අනුකම්පාව අවියක් මෙන් පාවිච්චි කරන වෙනත් අයෙකුට ඉඩක් නොතබාම සාවද්‍ය බස් තෙපලන ගති ඇය තුළින් කැපී පෙනෙයි. අනුකරණයට හා නිර්මාණයට දක්ෂය. කල්පනා ශක්තිය කෙසේ වුවද බාහිර ලෝකයාට උගත් අයෙකුමෙන් කැපී පෙනෙයි.

කටක ලග්නයෙන් උපන් කාන්තාවෝ දුටුවන් පි‍්‍රය උපදවන ලස්සන ශරීරයකට හිමිකම් කියයි. ඔවුහු උසස් සිතිවිලි ඇති අයවෙති. දුටුදේ කිරීමට දක්ෂය. අනුන්ගේ විපතේ දී දැඩිලෙස කම්පාවෙති. සියලු දුක් කරදර තිබුණත් නින්දා අපහාස මධ්‍යයේ වුවද නොබියව මුහුණ දී ප්‍රකට භාවයට පැමිණෙති. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට තරම් සුදුස්සෝවෙති. ආගන්තුක සත්කාරයට කැමති ඔවුන් අනුන්ගේ අදහස්වලට ගරුකරයි. අධික අනුකම්පාවන්, කෝපසහගතවීමත්, නොඉවසිලි භාවයත් ඔවුන් තුළ ඇති දුර්වලකම් වේ. විනෝදයෙන් සොම්නසින් කාලය ගත කිරීමට සහජයෙන්ම ඔවුනට හැකියාවක් ඇත. තමන් වරදේ පිහිටා අන් අයට අවවාද කිරීමද කටක ලග්න හිමි අයගේ තවත් දුර්වලකමකි.

සිංහ ලග්නය හිමි කාන්තාව පළල් වූ උරහිස්වලින් යුතු වැඩුන ශරීරයක් හිමි අය වෙති. තේවන්ත පෙනුමෙන් යුක්තය. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම භාරදූර කටයුත්තක් වුවද කිරීමට ඉදිරිපත් වෙයි. සිහි බුද්ධියෙන් යුක්තව ක්‍රමානුකූලව කටයුතු කරයි. ආගමික කටයුතුවලට දැඩි උනන්දුවක් දක්වන ඔවුන් සුළු දෙයකට පවා දැඩි ලෙස කෝප වෙති. අන්‍යයන්ගේ ගරු බුහුමන් ඔවුනට නිරායාශයෙන්ම ලැබෙයි. හරි හො වැරදි වේවා තමාගේ අදහසට ක්‍රියාවේ යෙදීමට උත්සාහ ගනී. ආගිය හැම තැනකදීම ප්‍රධානත්වය දරයි.

කන්‍යා ලග්නයෙන් උපන් කාන්තාවන්ට රත් පැහැයෙන් යුතු ශරීරයක් හිමිවන අතර අඬ සඳක්මෙන් අලංකාර වූ නළල් තලයක් පිහිටයි. විනෝදයට කැමති ඔවුහු ස්වාමිපුරුෂයාට ගරු ලෙස සලකති. දඟකාර ගතියෙන් යුතතු කන්‍යා ලග්නය හිමි කාන්තාවන් තම ස්වාමිපුරුෂයාට හෝ පෙම්වතාට ඇඟිලි දෙකින් කොනිත්තා කතාකරන ස්වභාවයක් ඇත. සමාජ සේවයට හා ආගමික කටයුතුවලට ඉමහත් ලැදිකමක් දක්වති. ගෙදර දොර බඩු බාහිරාදිය පවා ක්‍රමානුකූලව තබා ගැනීම ඔවුන්ගේ සිරිතය. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් වේ. ආත්ම විශ්වාසය අඩුකම අන් අය විශ්වාස නොකිරීම මෙන්ම ඔවුන්ගේ වැරදි සෙවීම කන්‍යා ලග්න හිමියන්ගේ දුර්වලකම් වේ.

තුලා ලග්නයෙන් උපන් කානාත්වන්ට ද මනා රූ සිරියෙන් යුත් ශරීරයක් හිමිය. උපතින්ම කාරුණික හදවතක් හිමි ඔවුහු සතුන්ට ඉතා අනුකම්පාවක් දක්වති. අදහස් අතින් සෘජු බවක් දක්වන ඔවුහු යුක්ති ගරුක ලෙස ජීවත්වීමට දැඩි කැමැත්තක් දක්වති. හැම විටම සාධාරණත්වය අගය කරති. ක්ෂණිකවම කෝප සහගත බවක් දැක්වුවත් එය ක්ෂණිකව සංසිඳෙන බැවින් පසුව පසුතැවිලි වෙති. තමන්ගේ සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැපකිරීමට පෙළඹෙන බැවින් සැබැවින්ම පරාර්ථකාමී බවක් දක්වති. අන් අයගේ සිත් පෙළීමට කැමති නොවේ.

වෘශ්චික ලග්නයෙන් උපන් කාන්තාවන්ට යහපත් සේ වැඩුණු අවයව හිමි ය. බොහෝ ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණතාවක් දක්වති. කිසිදු රහසක් සැඟවීමට උත්සාහ නොගනී. විවෘත මනසකින් මෙන්ම විවෘත හදවතකින් ද යුක්තය. යම් අරමුණක් කරා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව එයට මුහුණ දී ඉලක්කය සපුරා ගනී. ගුණදොස් විවේචනයට පි‍්‍රය වේ. නොයෙක් ක්‍රියාවන්හි දක්ෂතාවක් ඔවුන්ට සහජයෙන්ම උරුම වී ඇත. නොයෙකුත් දේ දුටු පමණින් අවබෝධවන නුවණක් ඇත. වහා කෝප සහගතවීම, සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව හා තරමක කුඩුකේඩුකම ඔවුන් තුළ ඇති දුර්වලකම් වේ.

ධනු ලග්නයෙන් උපන් කාන්තාවෝ යුක්තිගරුක අදහස් ඇති සෘජු ගතිගුණවලින් හෙබි අය වෙති. මේෂ රාශියෙන් උපන් අය මෙන්ම උසස්වීමේ දැඩි බලාපොරොත්තු ඇති අය වෙති. නිදහසට, සාමයට බෙහෙවින් ගරු කරති. විනීත ස්වභාවයෙන් හා පී‍්‍රතිමත් ස්වභාවයෙන් යුක්ත බැවින් ඇසුරු කරන්නන්ට පි‍්‍රය වේ. තීරණයක් ගැනීමේ දී ධනු ලග්න හිමියන් තරම් දක්ෂව ක්‍රියා කරන අය අන් ලග්න හිමියන් අතර නොමැත. ක්ෂණිකවම ගන්නා තීරණද සැලසුමක් ඇතිව ක්‍රියා කර වැඩ සාර්ථක කර ගනිති. සත්‍යවාදී බව අවංකවම විවෘත හදවතකින් යුතුව අදහස් පල කිරීම ඇයගේ සිරිතයි. අහංකාරය මෙන්ම දැඩි ආත්ම විශ්වාසයද ඇයට හිමිය. සාමාන්‍යයෙන්ම තම අසල්වාසීන්, මිත්‍රයින් හා ඇසුරු කරන්නන් අතරේ සමානාත්මතාවයෙන් ක්‍රියා කරන්නීය.

මකර ලග්නය හිමි කාන්තාවෝ සිහින් ශරීරයකට හිමිකම් කියයි. ශනි හෝ ගුරු ලග්නයේ සිටියේ නම් ශරීරය මහත්විය හැක. ආත්මාර්ථකාමි ගතිය බොහෝවිට බලපවත්වයි. දුක් කම්කටොලු විඳ දරා ගැනීමේ හැකියාව හා නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය යයි. පාලනයෙහි දක්ෂය. විශාල ව්‍යාපාරවල පවා මූලිකත්වය දැරිය හැක. අන්‍යයන්ගෙන් උදව් උපකාර ගැනීමට අකමැති ඔවුන් අන් අයට උදව් කිරීමට බොහෝවිට ඉදිරිපත් වේ. පැහැදිලි කෙටි තීරණාත්මක කතා විලාසසයක් ඇයට හිමිය. වැඩට ආදරය දැක්වීම ඇයගේ විශේෂ ගුණාංගයකි. පරීක්ෂාකාරීය. හැම විටම නිවැරදි ලෙසම කටයුතු සකස් කිරිමට වීරිය දරන්නීය.

කුම්භ ලග්නය හිමි කාන්තාවන්ට මධ්‍ය ප්‍රමාණයේ ශරීරයක් හිමි ය. කාරුණික පෙනුමකින් යුක්ත වෙයි. ගැඹුරු දේවල් ඉගෙන ගැනීමට දක්ෂතාවක් පෙන්වයි.

ප්‍රවේශම, ඉවසීම, සිතේ එකඟතාව ඇගේ ගුණධර්මයන්ය. කුම්භ ලග්නයෙන් උපන් කාන්තාවන් ජය ලබන්නේ ජීවිතයේ අවසාන කාලයේ දී ය. ධාරණ ශක්තිය ඇති අයෙකු බැවින් වරක් කළ කී දෙය අමතක නොකරයි. බාහිරව පෙන්නුම් කරනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළත තිබෙන අයෙකු වේ. කුම්භ රාශිය ශනිගේ රාශියක් වුවත් කුම්භ ලග්න හිමිකාරිය ආත්ම ලාභයට ප්‍රධානත්වයට ආශා කරන අයෙකු නොවේ. එම නිසාම කාගේත් සිත් දිනාගන්නා ශ්‍රේෂ්ඨ කාන්තාවක් ද වෙයි. අනාථ මඩම්, සිරගෙවල්, ආරෝග්‍ය ශාලා ආදියට ද උදව් කිරීමට සිතයි. ඒවායෙහි දුක් විඳින්නන්ටද උදව් උපකාර කරයි. දුර්වලකම් ලෙස පෙනෙනුයේ තනිවම ජීවත්වීමට තිබෙන ආශාව නිසා වැඩ කටයුතුවල යෙදීමට ඇති අලස බවත්, ලෞකික දෙයට ඔවුන්ගේ ඇති අකමැත්තය.

මීන ලග්නයෙන් උපන් කාන්තාවන්ට මධ්‍යම ප්‍රමාණයෙන් යුත් තරමක් ලොකු ඇස් ඇති අතර දිගු අත පයද හිමිය. මසින් පිරුණ ශරීරයක් ඇත. විනෝදයට, පී‍්‍රතිවීමට තදින්ම ආශා ඇත්තියකි. තමා කෙරෙහි යම් අයෙක් විශ්වාසය තැබුවේ නම් එම විශ්වාසය නොකැඩීමට ඇය වග බලා ගනී. සතුරෙකුට වුවද ද්‍රෝහිකමක් නොපෙන්වයි. ත්‍යාගශීලීබව චරිතයේ කැපී පෙනෙයි. අසරණ අයට උදව් උපකාර කිරීමට දැඩි ආශාවක් උනන්දුවක් දක්වයි. පමණට වඩා අනුකම්පාවත්, විශ්වාසයත් නිසා තමාට විපත්ති අලාභ ඇතිකර ගැනීම තම දියුණුව ගැන නොසලකා හැරීම ඔවුන් තුළ ඇති දුර්වලකම් වේ.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.