වෙළඳ ව්‍යාපාරිකයකු බිහිකරන ග්‍රහබල

අගෝස්තු 20, 2021

දැන වෙළඳාම් නොදැන ගොවිතැන් යන ගැමි ව්‍යවහාරයක් අතීත ගැමියන් අතර වේ. නොදැන ගොවිතැන් කියා එසේ කීවාට නොදැනුවත්ව කිසිවක් කළ හැකි නොවේ. කෙසේවුවත් වෙළඳාමට ගණිතය පිළිබඳව මනා දැනුමක් ද සියුම් කපටි නුවණක් ද තිබිය යුතුයි.

එසේම ඡ්‍යොතිෂයට අනුව ව්‍යාපාරිකයකු බිහිකිරීමට බුධ ග්‍රහයාගේ බලය ද තිබිය යුතුයි. කුජගේ ග්‍රහ බලය ද ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට අවශ්‍යයයි. වචනයට අධිපති බුධ බලවත් වීම මහජනයාගේ හිත් ඇදගැනීමට මගපාදයි.

 

මේෂ ලග්නයෙන් ඉපදී බුධ ග්‍රහයා රවි සමඟ ලග්න ගතවීම දක්ෂ ව්‍යාපාරිකයෙක් බිහිකරනු ඇත. එමෙන්ම මේ දෙදෙනා දහවැන්න ගතවීම ද ශුභයි. මේෂ ලග්නයෙන් ඉපිද කුජ දහවැන්න ගතවීම නිසාද සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමේ භාග්‍යය උදාවේ.

මේෂ ලග්නයෙන් ඉපිද කුජ, බුධ දෙවැන්න ගතවීම පියාගේ ව්‍යාපාරවලට හිමිකම් කීමට භාග්‍යය ලැබෙන ග්‍රහ බලයකි.

වෘෂභ ලග්නයෙන් ඉපිද රාහු ග්‍රහයා එකොළොස්වැන්න ගතවීම ව්‍යාපාරවලට යහපත් පිහිටීමකි. අධික ලාභ උපයාගැනීමට දක්ෂතා ඇත.

මිථුන ලග්නයෙන් ජනිතව එකොළොස්වැන්න රවි, කුජ, යෙදීම ව්‍යාපාර දියුණුවට කරගෙන යන අයෙකු බිහිකරයි.

මිථුන ලග්නයෙන් ජනිතව රවි, කුජ හා බුධ යන ග්‍රහයින් තිදෙනාම එකොළොස්වැන්න යෙදී උපන් ජන්මියාද වෙළඳාමෙහි ඉතා දක්ෂයකු වී කලකදී හොඳ ඉහළ දියුණුවක් ලබමින් සමාජයේ පිළිගත් මහාපරිමාණ ව්‍යාපාරිකයකු වේ.

මිථුන ලග්නයෙන්ම උපන් එකොළොස්වැන්නේ කුජ ග්‍රහයා ගතවූ අය බොහෝවිට ස්වයං රැකියාවක් අරඹා ස්වෝත්සාහයෙන්ම දිනෙන් දින තම ව්‍යාපාරය දියුණු කර ගනිමින් කෝටිපතියකු වීමේ භාග්‍යය උදාකරගනී.

කටක ලග්නයෙන් ජනිතව දහවැන්නේ කුජ , බුධ යෝගය දක්ෂ වූත් තරමක් කපටිවූත් හිතක් ඇති ව්‍යාපාරිකයකු බිහිකරයි. තරමක් කපටි සූක්ෂම මනසක් නැති නම් සමහරවිටක ව්‍යාපාර දියුණු කරගත නොහැකිව පාඩුවිඳ අතරමඟ නවතා දැමීමට පවා සිදුවන අවස්ථා ද වේ. කටක ලග්නයෙන් ජනිතව දහවැන්නේ රවි, ගුරු, සිකුරු යෝගය චිත්‍රපටි නිෂ්පාදනයෙන්. අලංකාර හෝටල්වලින් ධනය උපයාගන්නා සාර්ථක ව්‍යාපාරිකයකු බිහිකරන අතර මෙම යෝගය ඉතා දුර්ලභ යහපත් ග්‍රහ යෝගයක්ද වේ.

සිංහ ලග්නයෙන් ඉපදී රවි, බුධ , දහවැන්නගතව ජනිත වූවෝද වෙළඳාමෙන් උසස් ප්‍රතිඵල ලබාගනී.

සිංහ ලග්නයෙන්ම ඉපදී කුජ, බුධ හතරවැන්න ගතව යෙදේ නම් ඔවුන්ද මෝටර් රථ වැනි වාහන අලෙවියේ ප්‍රමුඛයකුවී ධනය උපයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බවට පත්වන ග්‍රහ බලයකි. සිංහ ලග්න අයට කුජ සුබපල ගෙන දෙන ග්‍රහයෙක් වේ. මෙම ලග්නයෙන්ම ඉපිද කුජ, බුධ. දහවැන්න ගතවීමද ව්‍යාපාරිකයන් බිහිකරන ග්‍රහ බලයකි.

තුලා ලග්නයෙන් ඉපිද රවි දහවැන්න ගතවීම ද ව්‍යාපාරික යෝගයකි.

වෘශ්චික ලග්නයෙන් ජනිතව රවි, ගුරු, සිකුරු යන ග්‍රහයින් ලග්නයේ යෙදුණ කල ව්‍යාපාර ලොවේ ප්‍රමුඛයකු බිහි වේ.

ධනු ලග්නයෙන් ඉපදී රවි බුධ දහවැන්න ගතවීම, ව්‍යාපාර අරඹා එයින්ම දියුණුව ලබන ව්‍යාපාරිකයන් බිහිකරන ග්‍රහ බලයකි. සියලුම ග්‍රහයින් වෘෂභ, සිංහ. වෘශ්චික, කුම්භ යන රාශිවල යෙදේ නම් ඔවුහු ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් වේ. බොහෝ සැප සම්පත් පිරි ජීවිතයක් ගත කරයි. මොවුන් ධනය වැයකිරීම්ද ඉතා ප්‍රවේශමෙන් සිදුකරයි.

කෙසේවුවද මෙම ව්‍යාපාර යෝගවලින් ජනිත වුවත් යෙදෙන සෙනසුරු ඒරාෂ්ටක කාලවලදී ව්‍යාපාරයන්ගෙන් පාඩු සිදුවන බව ඡ්‍යොතිෂ්‍යය පෙන්වාදෙයි. මෙම සමහර ඒරාෂ්ටක අපල ජන්මියාට ධන හානි මෙන්ම මරණය ද එක්තැන්වීම්ද, උරුමකරදෙයි. ශනි නීච වූ බොහෝ අයට මෙවැනි අපලයක් අශුභ විපාක මේ අයුරින් ඇතිකරනු ඇත.

 


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.