කුජ තලාව මත කතිර සලකුණ ධනවතකු මෙන්ම බලවතකු වීමටද හේතු වෙයි

මාර්තු 19, 2021

කුජ තලාව මනාව උස්ව පිහිටා තිබීම වඩාත් වාසනාවන්ත පිහිටීමක් ලෙස සැලකේ. අත්ලේ මැද පිහිටි කුජ තලාව වඩාත් නොඋස්ව පිහිටීම දුර්වල ආර්ථික තත්වයක් මෙන්ම අවාසනාවන්ත තත්වයක් පෙන්නුම් කෙරේ. එහෙත් අත්ල හිමියාගේ දැඩි උත්සාහය හා කැපවීම මත එම තත්ත්වය සුබදායි අතට පත්කර ගැනීමට හැකිවනු ඇත.

 

සාමුද්‍රක ශාස්ත්‍රය අනුව අත්ලෙහි පිහිටි සුවිශේෂ ස්ථාන රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශනි, ශුක්‍ර ආදී ග්‍රහයන්ට අයත් ස්ථාන ලෙස සලකනු ලබයි. මේ අයුරින් එම ග්‍රහයන් හය දෙනාට මණ්ඩල හයක්ද කුජ ග්‍රහයාට මණ්ඩල දෙකක්ද වශයෙනි. එම මණ්ඩලවලට අමතරව අත්ලේ මැද පිහිටි ප්‍රදේශයද කුජ ග්‍රහයාට අයත්වන බැවින් එය හඳුන්වනු ලබන්නේ කුජ තලාව යනුවෙනි. ඒ අයුරින් අත්ලේ වැඩි ප්‍රදේශයක් අයත්වන්නේ කුජ ග්‍රහයාටයි.

 

කුජ තලාව මනාව උස්ව පිහිටා තිබීම වඩාත් වාසනාවන්ත පිහිටීමක් ලෙස සැලකේ. අත්ලේ මැද පිහිටි කුජ තලාව වඩාත් නොඋස්ව පිහිටීම දුර්වල ආර්ථික තත්ත්ත්වයක් මෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් පෙන්නුම් කෙරේ. එහෙත් අත්ල හිමියාගේ දැඩි උත්සාහය හා කැපවීම මත එම තත්ත්වය සුබදායි අතට පත්කර ගැනීමට හැකිවනු ඇත. නිදසුනක් ලෙස ගතහොත් ගැඹුරු ළිඳකින් දිය ගැනීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නමුත් නොගැඹුරු ළිඳකින් දියගැනීම වඩාත් පහසු වෙයි. මේ අයුරින් කුජ තලාව උස්ව පිහිටා ඇත්නම් දියුණුව මෙන්ම දියුණුවීමටද වැඩි වෙහෙසක් ගත යුතු නොවන බවද පෙන්නුම් කරයි. ඕනෑම අපහසු කාර්යයකට වුවද නිර්භීතව ඉදිරිපත්වීමේ ආත්ම ශක්තියක් ඔවුන් තුළ ඇත. එය ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි. ඍජු ප්‍රතිපත්තියක් ඇති ඔවුහු හැමවිටම විනෝදකාමි ලෙස දිවි ගෙවති. මනා ශරීර ශක්තියක්ද ඔවුන් තුළ සහජයෙන්ම පිහිටා ඇත. උපතින්ම ගේදොර, ඉඩකඩම්. යානවාහන ආදී ලෞකික සැප සම්පත් ලැබීමටත් එවැනි පිහිටීම් හේතු වේ.

කුජ තලාව තරමක් පහත්වීම වුවත් අසුබ නොවන අතර තැන්පත්, විනීත ගතිගුණ ඇති කාරුණික කෙනෙකු එමඟින් හඳුන්වාදෙයි. ඔවුන් ත්‍යාගශීලිය. අන් අයට උදව් උපකාර කිරීමට බොහෝවිට ඉදිරිපත්වෙයි. පැරණි සිරිත්විරිත්වලට ගරුකරන ඔවුන් නිතර සමාජසේවා කටයුතුවල යෙදෙති. හස්තරේඛා විද්‍යාව, ඡ්‍යොතිෂය වැනි ගුප්ත විද්‍යාවන් හැදෑරීමට ඔවුන් දක්ෂයෝ වෙති. කුජ තලාව වඩාත්ම පහත්වීම හෙවත් වළ ගැසුන ආකාරයෙන් පිහිටීම අශුභ ලක්ෂණයක් වෙයි. අශුභ ඵල ලැබීමටද එය හේතුවක් වේ. අත්ලේ ඇති අනිත් මණ්ඩලවලින් පෙන්නුම් කරන සුබ පල සියල්ල නිශ්ඵල කරන්නට එය හේතුවන බැවිනි. බොහෝ අවස්ථාවල බලාපොරොත්තු නොමැති ප්‍රශ්න නිසා තම ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකටද ඇද දමන්නට එවැනි ලක්ෂණ හේතුවෙයි.

කුජ තලාවේ තාරකා ලක්ෂණයක් පිහිටියේ නම් එය ඉතාම අශුභයි. යාන වාහනවලින් සිදුවන හදිසි අනතුරක් එමගින් පෙන්නුම් කරයි. දිළින්දෙකු හෝ සල්ලාල අයකු වීමට බොහෝවිට ඉඩ ඇති නිසා කුජ තලාවේ දැල් සලකුණත් ඒ වගේම අශුභයි. කුජ තලාවේ මැද පැහැදිලිව වැටුණු කතිර සලකුණ ඉතා සුබ ඵල දෙන පිහිටීමක් වෙයි. ධනවත්වීමට මෙන්ම බලවත්වීමටද එම ලකුණ හේතුවෙයි. කුජ තලාව මැද කොටු සලකුණ මෙන්ම දූපත් සලකුණද සුබ නොවේ. දූපත් සලකුණෙන් රෝගී බවත්, කොටු සලකුණෙන් සිරගතවීමට හේතුවන බවත් පෙන්නුම් කරයි. කුජ තලාව මැද ත්‍රිකෝණය වැටීමෙන් පෙන්නුම් කරන්නේ එම තැනැත්තා හෝ තැනැත්තිය තීක්ෂණ බුද්ධියක් ඇති අයකු බවයි. දාර්ශනික අදහස් ඔවුන් වෙතින් කියැවෙයි. ඕනෑම දුකක්, වේදනාවක් විඳ දරා ගැනීමේ දැඩි ආත්ම ශක්තියක් ඔවුන්ට උරුම වී ඇත. උසස් පුද්ගලයින් අතර ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාගේ අත්ලේ මෙම ලකුණ පැහැදිලිව තිබූ බව එතුමාගේ අත් සලකුණෙන් පැහැදිලි වෙයි. එම පිහිටීම එතුමාගේ චරිතයට කෙතරම් සමානද යන්න එතුමාගේ චරිතය පිළිබඳව හදාරන්නෙකුට වඩාත් පැහැදිලි වනු ඇත.

කුජ තලාව උස්ව වැඩුණු විටද එය මතුපිට දිගට හරහට විහිදී ගිය රේඛා සහිත වූ විටද පුද්ගලයා ඉක්මනින් කෝප සහගත වෙයි. කෝපාවිෂ්ට වූ විට හෙතෙම උමතුවූවෙකු මෙන් ක්‍රියා කරයි. කුජ තලාව උස්ව හෝ පහත්ව නොවී මධ්‍යස්ථ ලෙස පිහිටීම වඩා සුබදායකය.

අත්ලේ පිහිටන මණ්ඩල පරීක්ෂා කිරීමත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් වෙයි. සමහර මණ්ඩලත් ඒ හා සම්බන්ධව තිබෙන වෙනත් මණ්ඩලත් සමඟ මිශ්‍රවී තිබිය හැකිය. එමෙන්ම සමහර මණ්ඩල විකෘතිවී හෝ අසම්පූර්ණ වී හෝ තිබිය හැකියි. ඔබේ අතේ සිකුරු මණ්ඩලය අනිත් හැම මණ්ඩලය කටම වඩා බලවත් ව එනම් උස්ව හා පැහැදිලි ලෙස පිහිටියේ නම් සිකුරු ග්‍රහයාගෙන් ලැබෙන ගුණාගුණ ඔබට වඩාත්ම බලපාන බව සිතාගත යුතුය. මේ අයුරින් අනිත් මණ්ඩල පිළිබඳවත් ඒ ආකාරයෙන්ම සිතිය යුතු වෙයි. දර පැළීම, ගස් කැපීම කම්හල් වැඩ වැනි බරපතළ වැඩ කරන අයගේ අත්වල කර ගැට, තැළීම් වැනි ලකුණු නිසා මණ්ඩල හඳුනා ගැනීමට අපහසුවන අවස්ථාද ඇත. එවන් අවස්ථාවලදී එම මණ්ඩලවල ක්‍රියාකාරිත්වය අත්ලේ ඇති ප්‍රධාන රේඛාවලට පැවරෙනු ඇත. එවිට අත්ලේ රේඛා පරීක්ෂා කිරීමෙන් පුද්ගලයාගේ සුබ අසුබ තත්ත්වය නිගමනය කළ හැක.

 

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.