නැකැත නොනැකැත ගැන අපි නොදන්නා දේ

ජූලි 28, 2023

ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල දැනගත්තට ඒකෙන් ප්‍රයෝජන ගන්න හැකි බව, ඒ කොහොමද කියල බොහෝ දෙනා දන්නෙ නැහැ.

ඡ්‍යොතිෂයේ හැම විෂය කරුණක්ම හැදිල තිබෙන්නෙ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයටයි. හරියට ස්වභාව ධර්මයා ගස් වැල් මවල තිබෙනව වගේ. මේ ගස්වැල් මවලා තිබෙන්නෙ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට වුණාට කෝ අපි කීදෙනෙක්ගෙන් කීදෙනාද ඉන් ප්‍රයෝජන ගන්නෙ.

ඒක නිසාම නේද රටේ අගනුවර, ලොකු ගොඩනැඟිලි තිබෙන ප්‍රදේශ කොන්ක්‍රීට් වනාන්තර වුණේ. සත්වයාට අත්‍යවශ්‍යම ප්‍රමුඛස්ථානයට එන්නෙ වාතාශ්‍රය. ඒක ගස්කොළන් වලින් මිසක් වෙන කිසිවකුගෙන් කිසි දෙයකින් ලැබෙන්නෙ නැහැ. ඒක නැති වුණොත් මිනිසා ජීවත් වන්නෙ තත්පර කීපයයි. ඒකවත් කල්පනා නොකර උන්මත්තකයො වගේ මේ ගස්වැල් කපලා කොච්චර ගොඩනැඟිලි හදනවද. එතැනින් නවතිනව කියලද හිතන්නෙ. තමුන්ට අයිති බිම් ප්‍රදේශයේ ගස්වැල් කපල ඊළඟට රජයට අයිති කොටසේත් ගස්වැල් කපල විශාල ලෙස මුදල් උපයනවා. මෙහෙම ගස්කොළන් කපල නැති කරන්නෙ අන් අයගේ දේවල් නොවෙද. ඒ ආකාරයට ගස්වැල් කපල ඉඩම් එළිපෙහෙළි කරල මුදල් ගැරුවම ඒකේ ජීවත් වූ සත්වයාට ඉන්න තැනක් නැතුව ගම්මානවලට ඇවිල්ල මනුෂ්‍යයාගේ අස්වැන්න කාපුවාම උන්ව මරා දමනවා. ගසක් කපල තව එකක් සිටවන්නෙ කීයෙන් කී දෙනාද? මේ උතුම් මිනිහා කොච්චරවත් සත්තු වගේ හැසිරෙනවද? මේ ඔක්කොටම හේතුව මිනිහා නැකැතට වැඩ නොකරන නිසා කියල වගකීමෙන් කියනවා.

නැකැත කිව්වේ සුදුසු දේ සුදුසු වෙලාවට සුදුසු විදියට කිරීමයි. පුරාණ ඡ්‍යොතිෂයට අනුව නැකැතක් ලබා ගන්නෙ මේ රටේ සූර්ය උදාවට සාපේක්ෂවයි. එහෙත් මේ සූර්ය උදාවේ වෙනස ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වනවා. ඡ්‍යොතිෂ ලිත් පොත්වල සඳහන් කර ඇති සූර්යය උදාව බලපවත්වන්නෙ ගි‍්‍රනිච් වෙලාවට සාපේක්ෂව මන්නාරමේ මුහුදු තීරයට සැතපුම් කීපයක් දුරකින්. ඒක නිසා ඒක ගණනය කරල ඒ ඒ ප්‍රදේශයට සම්මත වෙලාවක් සඳහන් කරල තිබෙනවා. ඒ බව ඈපා පංචාංග ලිතේ 156 වැනි පිටුවල සඳහන් කරල ඇති. උදාහරණයක් වශයෙන් කොළඹට සූර්ය උදාව ඡ්‍යොතිෂ පොතේ සඳහන් කරල තිබෙන වේලාවෙන් මිනිත්තු 10කුත් තත්පර 32ක් අඩු කරල ගත්තාම හරි. නැකැත ගැන තවදුරටත් විස්තර ලියනකල් අපිට නැකැත කියන කොටම නොනැකත මතක් වනවා.

මේ නොනැකත ගැන සෑම සිංහල අවුරුදු දිනයකම ගොඩක් කතාබහ කරනවා. මේ වෙලාවට කිසිදු වැඩක් කරන්නෙ නැහැ. ආගමික වතාවත් හැරෙන්න. එහෙනම් දැන් අපි දන්නවා ඕනෑම ආගමික වතාවත් කරන්න නැකැතක් අවශ්‍ය නැති බව. ඒ වුණාට බොහෝ අය ආගමික වතාවත් කිරීමට නැකැත් ගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ ආගමික වතාවත්වලදී නැකැතක් තිබුණත් එකයි නැතත් එකයි කියලා. සූර්යයා එක් අවස්ථාවකදී එනම්, මීන රාශිය සම්පූර්ණයෙන් පහුකරල මේෂ රාශියට ඇතුළු වන විට ප්‍රමාණයෙන් පුංචි රික්තයක් පවතිනවා. ඒ වෙලාවට සූර්යයා හරියටම රාශියකට ප්‍රවිෂ්ට වෙලා නැහැ. ඒක හරියට 10ය තුනෙන් බෙදුවාම පුංචි දශම ගණනක් ඉතුරු වනව වගේ. අන්න ඒ වෙලාවට තමයි නොනැකත නැත්නම් නොනගතය කිව්වේ. ඒ වෙලාවට ස්ථිර වැඩක් කරන්නෙ නැහැ. ලෞකික වැඩ කරන්නෙ නැහැ.

මනුෂ්‍යයා, ඒ කිව්වේ ග්‍රහ බලය විශ්වාස කරන කෙනා කිසියම් හෝ යහපත් වැඩක් කරන විට නැකැතක් ගන්නවා. ඒ නැකත තමුන්ගෙ උපන් නැකැතට සාපේක්ෂවයි ගන්නෙ. මොකද උත්පත්තියෙදී ක්ෂිතිජයේ උදාවෙලා තිබුණේ ඒ නැකැත. මේ නැකැත් 27 න් එකක් සාම්ප්‍රදානුකූලව පවතින වේලාවට සමහර විට යහපත් වන්නත් පුළුවන්. සමහර විට අයහපත් වන්නත් පුළුවන්. එම නිසා පවත්නා නැකතට සුබ නැකැතක් හදල දෙනවා. දවසේ නැකැත ගන්න කාල හෝරාව ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. ඒක ගන්නෙ පැයෙන් පැයට. “අර්ඛඞ ශක්‍රෝ බුධඞ චන්ද්‍රඞ” යන ශ්ලෝකයට අනුව ඊළඟට ඒ පැය 12න් බෙදලා පංචම වෙලාව ගන්න ඕනෑ. එතකොට නැකැත මිනිත්තු 12ට සීමා වනවා. ඒකත් අවශ්‍ය නම් නැවත බෙදලා සූක්ෂ්මය ගන්නත් පුළුවන්. එච්චර ඕන නැහැ. දැන් ඉතින් රවි දිනයක නම් ගුරුට හිමි විනාඩි 12ක් සඳු දිනයක නම් සඳුට හිමි මුල් මිනිත්තු 12ත්, අඟහරුවාදා නම් සෙනසුරුට අයිති අන්තිම මිනින්තු 12ත්, ගුරු දිනයක නම් සඳුට අයිති විනාඩි 12ත් සෙනසුරාදා නම් ශනිට අයිති මුල් විනාඩි 12ත්, බදාදා දිනයක නම් සිකුරුට අයිති විනාඩි 12ත්, සිකුරාදා නම් රවිට අයත් විනාඩි 12ත් විෂ හෝරා හැටියට ගන්න නිසා සුබ නැකැතක් ගන්න කොට මේ මිනිත්තු 12 අත්හරින්න ඕනෑමයි. නැකැතක් ගන්න කොට මේ විෂ හෝරාව අහුවුණොත් ඔක්කොම ඉවරයි. ඒක තමයි කිව්වේ ඡ්‍යොතිෂයත් ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා. ඡ්‍යොතිෂයත් ගුප්තවේදයත් නිවැරැදිව කළොත් ගොඩම තමයි.

අපි දන්නවා මේ විශ්වයේ වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝක 9 ක් ගැන. මේවා තම කක්ෂය වටේත් අප වටේත් කැරකෙන කොට වරෙක සුබ පලත්, වරෙක අශුභ පලත් දෙනවා. දක්ෂ ඡ්‍යොතිර්වේදියා ගණිතමය ප්‍රශ්න විසඳලා අශුභයක් නැති ශුභයක් ඇති වේලාවක්, දිශාවක් ලබා දෙනවා. ඒක තමයි නිවැරැදි නැකැත. ඒක සුබපල දෙනවා මයි. තව පුංචි දෙයක් කියන්නම ඕනෑ. අපි හිතමු සම්මුඛ පරීක්ෂණයකට තම නිවෙසින් පිටත්ව යන්න සුබ වේලාවක් දිශාවක් දෙනවා. එහෙම කිවූ වෙලාවට නිවෙසින් පිටවෙලා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින්නට තව වෙලා තිබෙන නිසා කඩයකට හෝ අසල්වැසි ස්ථානයකට යනවා. එහෙම කළොත් නැකැතින් වැඩක් නැති වනවා. නැකැත කැඩෙනවා. නැකැතක් අරගෙන නැකැතට පිට වුණොත් ඒ අවශ්‍ය ස්ථානයටම යන්ට ඕනේ. වෙලාව වැඩි නම් එතැනට ගිහින් පොතක් පතක් බලන්න. වෙන කොහේවත් යන්ට එපා. නැකැතට වැඩ කරල ජය ලබන්න. සුබසෙත හැමදාම ඔබට දක්වන්නෙ ජීවිතය ජය ගන්න ක්‍රමයි.

 

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්ත විද්‍යාධර

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.