අධ්‍යාපනයට වන ග්‍රහ බලපෑම් සම්බන්ධයෙන්

දෙසැම්බර් 20, 2024

 

වජිරා - බෝයගොඩ

මහත්මියනි,

 

ඉහත නම් සඳහන් මම දෙදරු මවක්මි. වරක් මා දියණියන්ගේ කේන්දර පරීක්ෂාවකදී අධ්‍යාපනය සඳහා වන ග්‍රහ බලපෑම් පිළිබඳ දැනගත්තෙමි. එහෙත් දරුවන්ගේ ඉගෙනීම හා සම්බන්ධ වන ග්‍රහ බලපෑම් හා දේව බලපෑම් පිළිබඳ සවිස්තරාත්මකව සුබසෙත පුවත්පත මගින් ඡ්‍යොතිෂ සිද්ධන්ත අනුව පැහැදිලි කර දෙන්නේ නම් වඩා හොඳ යැයි මාගේ අදහසයි.

ස්තූතියි

--------------------------------

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

සුබ මුහුර්ත පිළිබඳව

සුබ මුහුර්ත සම්බන්ධයෙන් ගාමිණි ගුණවර්ධන ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි.

සුබ වේලාව ඡ්‍යොතිෂයේ ව්‍යවහාර කරන්නේ නැකැත් ලෙසින්ය. මෙහිදී නැකැත ප්‍රධාන වේ. නැකැත යනු චන්ද්‍රයා සිටින ප්‍රදේශයයි. නැකැත නොපෙනෙන නිසා චන්ද්‍රයා අල්ලා ගෙනම වැඩ කරයි. එම නිසා සුබ මුහුර්ත මෙන්ම අසුබ මුහුර්තයන් සාදා ගැනීමට චන්ද්‍රයාම මුල් කරගත යුතුවේ.

චන්ද්‍රයාගේ පැවැත්ම හිරු නිසා බැවින් රවි චන්ද්‍ර දෙදෙනා සියලුම ග්‍රහයන්ට වඩා නැකැත් සෑදීමේදී මූලික වේ. මනුෂ්‍යයෙකුගේ උත්පත්තියේ පටන් මරණය දක්වාම කළ යුතු සෑම කාර්යයකටම නැකැත් නියම කර තිබේ. නැකැත් සෑදීමේදී අසුබ දින, තිථි, නැකැත්, යෝග කරණ ආදිය පිළිබඳව දැන ගැනීමද වඩා ප්‍රයෝජනවත් වේ.

සෑම නැකැතකදීම එම සුබ කටයුත්ත ඉටුකිරීම සඳහා සුබ දිශාවන් ද යොදා ගනී. එම දිශාව නියම කර ගන්නේ, නොයෙක් කරුණු පරීක්ෂා කර බැලීමෙන් පසුවය.

මරු සිටින දිශාවට හෝ යෝගිනී සිටින දිශාවට හෝ මුහුණලා සුබ වැඩ පටන් නොගනියි. සතර අනු දිශාවන්ට සුබ වැඩ නොකරයි.

ඡ්‍යොතිෂයේදී අනු දිශාවකට වඩා සතර දිශාවන්ට මුල් තැන දී කටයුතු කරයි. වාස්තු විද්‍යාවේදී ද සතර දිශාවන් මුල්කරගෙන කටයුතු කරයි.

සත් දින මරු සිටින දිශා වන්නේ ඉරිදා - උතුරේද, සඳුදා වයඹේද , අඟහරුවාදා බස්නාහිරද , බදාදා නිරිතේද , බ්‍රහස්පතින්දා දකුණේ ද, සිකුරාදා ගිනිකොණද , සෙනසුරාදා නැගෙනහිර (පෙරදිග) වේ.

තිථි අනුව යෝගිනි සිටින දිශා පැලවිය (1) හා 09 වන තිථිය (නවවක)නැගෙනහිර සිට බස්නාහිරට මුහුණලා සිටියි.

දියවක (2) හා දසවක (10) තිථිවලදී උතුරේ සිට දකුණට මුහුණලා සිටියි.

තියවක (3) හා එකොළොස්වන ගිනිකොණ සිට වයඹට මුහුණලා සිටී.

ජලවක(4) හා දොළොස්වන (12) නිරිත දිග සිට ඊශානයට මූහුණලා සිටියි.

විසේනිය( 5) තෙලෙස්වක (13) දකුණ සිට උතුරට මුහුණලා සිටියි.

සැටවක (06) තුදුස්වක (14) බස්නාහිර සිට නැගෙනහිරට මුහුණලා සිටියි.

සතවක( 7) පසළොස්වක (15) වයඹ සිට ගිනිකොණට මුහුණලා සිටියි.

අටවක ඊශාන සිට නිරතට මුහුණලා සිටියි.

මරුවා පැත්තටත්, යෝගිනිය පැත්තටත් නොසිටින සේ උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර සතර දිශාවන්ගෙන් එකක් තෝරා ගත යුතුය.

යෝගිනිය නම් යක්ෂණියට හරියට මුහුණලා ගමනක් යාමට පිටත් වුවහොත් යහතින් ගෙදර ඒමට නුපුළුවන් වීමටද හැකිය. කුමක් හෝ විපතකට මුහුණ පාන්නට ද සිදුවේ. බොහෝවිට මරණයද සිදුවේ. තමා උපන් නැකැතට නොගැළපෙන නැකැතින් ගියහොත් එසේම සිදු වන බව ඡ්‍යොතිෂ නියමයයි. පරිඝ දණ්ඩය මුණ ගැසී යාම ද අසුබ වේ.

 

ඡ්‍යොතිෂවේදනී ගීතිකා සමරතුංග

 

සටහන - ඉෂාරා විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.