වාස්තු විද්‍යානුකූලව රටේ ආරක්ෂාව තහවුරු කරන චීන මහා ප්‍රාකාරය

ඔක්තෝබර් 20, 2023

 

ලෝකයේ විස්මිත මිනිස් නිර්මාණ අතර, අද ලොව පවතින එකම යෝධ ගොඩනැඟිල්ල වෙන කවරක්වත් නොව චීන මහා ප්‍රාකාරයයි. (Great wall of China)  මිනිස් ශ්‍රමයෙන් පමණක් නිර්මාණය වූ ලෝකයේ තිබෙන දීර්ඝතම ගොඩනැඟිල්ලද මෙය වෙයි.

 

නොස්ත්‍රද්‍රාමස් මහා ප්‍රාඥයාගේ අනාවැකිය

 

මෙයට හරියටම වසර 500කට පෙර ඡ්‍යොතිෂ අනාවැකි කියූ ප්‍රංශ ජාතික සුප්‍රකට නෝස්ත්‍රද්‍රාමස් මහා ප්‍රාඥයා විසින් අනාගත චීනය සහ චීන මහා ප්‍රාකාරය පිළිබඳව අනාවැකි සඳහන් කළේ සිව්පද කාව්‍යයක් ලෙසිනි. එතුමා අනාවැකියේ සඳහන් කළේ අනාගත ලෝක වෙළෙඳපොළ තරගයේදී චීනය යම් දිනෙක ඇමරිකාව ඇතුළු අනිකුත් සියලුම රටවල් අබිබවමින් ඉදිරියට එන බවත් එමෙන්ම චීන මහා ප්‍රාකාරය මුල් කරගත් ලොව සුපිරි සංචාරක පුරවරයක් ඉදි කෙරෙන බවත්ය. චීනය සම්බන්ධව ලොව මවිත කළ නොස්ත්‍රාද්‍රාමස්ගේ මේ අනාවැකි ගත් කල එය නොබෝ දින ඉටු වීමට ඉඩ ඇතැයි යමෙකුට සිතිය හැකිය.

ඉන් චීන මහා ප්‍රාකාරය පිළිබඳව අප වඩාත් පුළුල් ලෙස සොයා බලමු. චීනයේ අතීතයේ ඉදි වුණු මේ මහා දැවැන්ත ගොඩනැඟිල්ල මහා ප්‍රාකාරය ලෙස හැඳින්වූයේ චීන බසින් ගත් කල දැවැන්ත ලී දසදහසකින් මූලිකව ඉදි කළ නිසාත් ලොව දිගුම ප්‍රාකාරය යන අරුත නිසාත්ය. චීනයේ උතුරු මායිම් සතුරන් සහ ආක්‍රමිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රිස්තු පූර්ව 6 වැනි ශත වර්ෂය සහ ක්‍රිස්තු වර්ෂ 16 වැනි ශත වර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශිකයන් විසින්, ලී, පාෂාණ සහ පස් එකතුකොට නිර්මාණය කර පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරයක් ලෙසිනි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක්ම නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ජනපි‍්‍රය ප්‍රාකාරය ඉදිකරන ලද්දේ පළමුවැනි චීන අධිරාජ්‍යයා වූ ක්වීන්ෂී හුවාන් විසිනි. ක්‍රිස්තු පූර්ව 200 සහ 220 අතර කාලය තුළ මෙහි වැඩකටයුතු සිදු විය. එහෙත් වත්මන්හි දැකගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදි කෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුනෙකි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අධිකාරි (නාවලපිටිය) ප්‍රවාහන අධිකාරි (කොළඹ) වාණිජ අධිකාරි, ගමනාගමන අධිකාරි අධ්‍යක්ෂක (සැලසුම්) දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) යන විවිධ තනතුරුවල මම සේවයේ නිරතව සිටියදී හය වතාවක් පමණ විවිධ සම්මන්ත්‍රණ වැඩමුළු, විදේශ, ප්‍රවාහන පාඨමාලා හැදෑරීම, යන විවිධ වැඩසටන්වලට සහභාගී වෙමින් චීනයේ සංචාරවල නිරතව සිටියදී චීන මහා ප්‍රාකාරය පියවි ඇසින් නැරඹීමට මම භාග්‍යවන්ත වීමි. විවිධ කාලපරාසයක් තුළ මේ විදේශ ශිෂ්‍යත්ව යෙදී තිබීමත් ඒ හැම වාරයකදීම චීන මහා ප්‍රාකාරය බැලීමට ගිය බැවින් මේ සංචාරක පුරවරයේ සීඝ්‍ර දියුණුව මම සැබැවින් දිටිමි. එවිට මුළු ලොවම සුපතළ නොස්ත්‍රද්‍රාමස් මහා ප්‍රාඥයාගේ අනාවැකිවල කූටප්‍රාප්තියට පිවිසෙමින් තිබෙන බව මා හට පසක් විය.

 

ඉතිහාසය

 

චීන මහා ප්‍රාකාරයේ ඉතිහාසය දෙස විපරම් කිරීමේදී පෙනී යන්නේ රාජවංශ කිහිපයක් විසින් අතීත කාලවකවානුවල මේ ප්‍රකාරය පුළුල්කිරීමට දායක වී ඇති බවය. මෙයින් වඩාත් ප්‍රධානත්වයක් ගනුයේ, ක්වීන් රාජවංශය නිර්මාණය කළ ප්‍රාකාරයත්, හැන්ක් රාජවංශය නිර්මාණය කරන ලද මහා ප්‍රාකාරයත්, මින් රාජවංශය නිර්මාණය කරන ලද මහා ප්‍රාකාරයත්ය. පසුකාලීනව ඒ සියල්ල එක් ප්‍රාකාරයක් බවට පත් වී ඇත.

ක්‍රිස්තු පූර්ව 7වැනි සියවස ආරම්භ වූ වසන්ත, සරත් ඍතු වන විට චීන ජාතිකයන් බිත්ති ඉදිකිරීම් තාක්ෂණයේ නිද්‍රානයන් බවට පත්වී තිබිණි. ක්‍රිස්තු පූර්ව 5 සිට ක්‍රිස්තු පූර්ව 221 දක්වා කාලපරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම ගොඩනැගීමට පුරුදු පුහුණූු විය. සතුරා ගෙන් එකල එල්ල වන කඩු හා හෙලි වැනි සුළු ප්‍රාහාරවලදී සතුරන්ට සාර්ථකව මුහුණ දීමට මේ ප්‍රාකාර ඉදිකිරීම ඉතා වැදගත් විය. ක්වීන් එයි හැන්ග් සියලු ප්‍රතිවිරුද්ධ රාජ්‍ය පරාජය කොට විජයග්‍රහණයක් ලැබීමත් සමඟම එක්සත් චීනය තුළ ක්‍රි.පූ. 221 දී ක්වීන් රාජ වංශයද පිහිටු විය. ඉන්පසු වැඩවසම් නීති හඳුන්වාදී මුළුමහත් චීනය එක්සත් කරන ලදී. මේ ප්‍රාකාරය නිර්මාණය කිරීමේදි දේශීය සම්පත් බොහොමයක් උපයෝගී කරගන්නා ලදී. අසල තිබූ ගල් කඳුවලින් ගල් ලබා ගන්නා ලදී. බොහොමයක් පැරැණි තැන් කඩා දමා ඒවායේ නටබුන් පමණක් අද තැන් තැන්වල ඉතිරිව ඇත. මේ ප්‍රාකාරය ඉදි කිරීම පසුපස චීන ජාතිකයන් විශාල පිරිසකගේ මරණයද සැඟව තිබෙයි. පසුකාලීනව හැන්, සුයි, තදන්නත් මධිසින් යන අය විසින් ප්‍රතිසංස්කරණය හා නැවත ගොඩනැඟීම සිදු කරන ලදී.

චීන මහා ප්‍රාකාරය 1949 දී නැවත ඇගයීමක් කර නව උපාය මාර්ග භාවිත කරමින් එය රැක ගැනීමට චීනයේ පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස වත්මනේ දී ද එය සුරැකිව තිබේ.

බැලුම් කුළුණු සහ බැරැක්ක

ප්‍රාකාරයේ ඇතැම් තැනෙක උස අඩි 25කි. පළල අඩි 16කි. ප්‍රාකාරයේ මුදුනෙහි මීටර් 4.5ක පළල පාරක් පිහිටා තිබේ. ප්‍රාකාරය දිගට මීටර් 180න් 180ට මුර කුළුණු තනා තිබේ. ඒවා සුවිශේෂ වූ බැලුම් කුළුණු හා බැරැක්ක ලෙසින් හැඳින්වෙයි.

මේ බැළුම් කුළුණ, එකල භාවිත වූයේ උදවු ඉල්ලීම සහ සතුරු ක්‍රියා ගැන අනතුරු ඇඟවීම් කිරීමටත්, චීන මහා ප්‍රාකාරය දිගේ වූ හමුදා ඒකක අතර සන්නිවේදනය කිරීමේ පහසුවත් පිණිසය. යුද්ධ කාලයේදී මේ සන්නිවේදනය ඉතා වැදගත් කටයුත්තක් විය. ඔවුන්ගේ දැකීම සඳහා සංඥා කුළුණු ප්‍රාකාරය දිග් වූ කඳුමුදුන්වල හා උස් ස්ථානවල ගොඩනංවන ලදී. පසුකාලීනව යුද්ධෝපාය අතින් වැදගත් වන ප්‍රදේශවල නවීන පන්නයේ කාලතුවක්කු මේ බැලුම් කුළුණු තුළ සවි කෙරිණි.

 

වාස්තු විද්‍යාත්මක ලක්ෂණ

 

චීන මහා ප්‍රාකාරයේ වාස්තු පැතිකඩ පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වෙයි. වාස්තු ශාස්ත්‍රයේදී පරාශර ඍෂිවරයාත්, වෘහත් සහ විශ්වකර්ම ඍෂිවරුන්ද වාස්තු නිර්ණය කිරීමේදී සීමා සලකුණු කිරීමට ප්‍රධාන ස්ථානයක් ලබා දී ඇත. ගෙයක වුවද තම සීමා සලකුණු කිරීමට වැටක්, තාප්පයක් අඩුතරමින් අඩි 5ක් වත් උසින් ගැසීම මඟිින් අන්‍ය නිවාස පරිසරයත් අනිකුත් බාහිර පරිසරයන් තුළින් තම නිවසට සිදුවන බලපෑම අවම කර ගන්නා අතර විශ්ව ශක්තීන්ගේ බලපෑම තමා පදිංචි නිවසට යොමුකර ගැනීමේ සීමා නිර්ණයන් සිදු වේ. එසේම රටක් වශයෙන් බලන කල තම බලසීමාව සවිශක්තිමත් ප්‍රාකාරයකින් බැඳ ඒ විශ්ව ශක්තීන් තම පාලන රාජ්‍ය තුළට යොමු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිව එකල චීන මහා ප්‍රාකාරය ඉදිකිරීමට එක් එක් කාලවකවානුවල චීන අධිරාජයන් කටයුතු කර ඇති බව පෙනෙයි.

එසේම චීන මහා ප්‍රාකාරය තම අධිරාජ්‍ය බලසීමාව වටා අඩි 25 -30 අතර උසකින් මේ අපූර්ව මහා ප්‍රාකාරය ඉදිකිරීම තුළින් රටේ පාලකයෝ සහ වැසියන් ගේ ආරක්ෂාව තහවුරුවන අතර තම රාජාධානිය අලංකාරය ආකර්ෂණීයත්වය, ප්‍රතාපවත් බවත්, පෞරුෂත්වයත්, අභිමානයත් රැකේ. අන්‍ය රටවල බලපෑම් සහ සතුරු විපත්වලින් තමරට ආරක්ෂා කර ගැනීමට අමතරව චීන ජනතාවගේ අනන්‍යවූ ප්‍රතාපවත් පෙළපත සුරැකීමක්ද වනු ඇත.

සාගරයකින් වටව, වෙන් වූ රටකට තම සීමා නිර්ණය එම දිවයින් රට වටා නිර්ණය කර ගැනීම පහසුය. එහෙත් චීනය තවත් රටවල් 14 ක් සමඟ ගොඩබිමින් ඍජුවම සම්බන්ධව පවතී. එම රටවල් රාජ්‍යයන් වනුයේ

1.මියන්මාරය (බුරුමය) 2. බංග්ලාදේශය 3. භූතානය 4. නේපාලය 5. ඉන්දියාව 6. ටජිකිස්තානය 7.ඇෆ්ගනිස්තානය 8. කිර්ගිස්තානය 9. කසකස්තානය 10. මොංගෝලියාව 11. රුසියාව 12. උතුරු කොරියාව 13. වියට්නාමය 14. ලාඕසය අතීත කාලවකවල ටිබෙටය සහ හොංකොං වැනි ගොඩබිම් විදේශ රාජ්‍යවලිනි.

මෙතරම් විශාල රටවල් සංඛ්‍යාවක් සම්බන්ධව තිබීම නිසා චීනයේ අනන්‍යතාවය, ප්‍රෞඪත්වය , අභිමානය සහ ආරක්ෂාවත් තම රට විසින් සුරැකීම කළ යුතුව ඇත. එකල්හි චීනය පාලනය කළ අධිරාජ්‍යයන්ට චීන මහා ප්‍රකාරය කාලානුරූපව ගොඩනැඟීම තුළින් චීනය සීමා නිර්නයට මෙම අගනා වාස්තු නිර්මාණය මහත් දායාදයක් විය.

මහා ප්‍රාකාරය වටාම මාර්ග පද්ධතියක් සැකසී තිබීමත් ප්‍රාකාර බලකොටු බැලුම් කුළුණු හා බැරැක්ක ඉදිවී තිබීම තුළින් තම රාජ්‍යය සතුරන්ගෙන් දැඩි ලෙස ආරක්ෂා කර ගැනීමට මේ චීන මහා ප්‍රාකාරය පිටිවහලක් විය.

ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවස ආරම්භක කාලයේ සිටම චීන ජාතිකයා වාස්තු විද්‍යාවේත්, බිත්ති ඉදිකිරීම් තාක්ෂණයත් අගතැන්පත්ව සිටි බව පෙනෙයි. මෙතරම් කාලයක් සවිමත්ව විවිධ දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙමින් මහා ප්‍රතාපවත්ව අදටත් ප්‍රතිසංස්කරණය වෙමින් අනාගත ලෝකවාසීන්ට දෙස් විදෙස් සංචාරකයන්ට චීන අධිරාජයන්ගේත් දායාද වූ මේ මහා ප්‍රාකරය මහඟු සම්පතකි. එබැවින් මෙය සැබවින්ම මානව වර්ගයාට ලෝක උරුමයක්ම වෙයි. චීන මහා ප්‍රාකාරය කලින් කලට විවිධ අධිරාජයක් විසින් තම රාජ්‍ය පුළුල් කර ගැනීම අතිමහත් මිනිස් ශ්‍රමය උපයෝගීකම ගොඩනැඟූ ප්‍රාකාර කිහිපයක් පසුකාලීනව එකතු වී සැදුම් ලත් එකක් වීමත්, ස්වභාවධර්මයේ නියාමයන්ට අවනත වී පොළොව පිහිටි ආකාරයටම කඳු මුදුන්, තැනිතලා, අගල්, භූවිෂමතා කලාප පසුකරමින් ගොඩනැඟී ඇති ආකාරය විස්මය ජනකය.

වාස්තු විද්‍යානුකූල නිර්මාණ යේ වැදගත් අංග වනුයේ.

1.සීමාවන් පැහැදිලිව නිර්ණය කිරීම.

2.සීමා තුළ අනන්‍යතාවය තහවුරු කර ගැනීම

3.විශ්ව ශක්තීන් රාජ්‍ය තුළට ප්‍රවේශ මාර්ග නිර්මාණය කිරීමට හැකිවීම.

4. ප්‍රාකාරය ගොඩනැඟීමේදී අනාගත කල්පැවැත්ම සඳහා ස්වදේශය තුළින්ම (පස්,ගල්,දැව) අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ඒවා රැගෙන ඒමට චීනයට ආවේනික ලී දොඹකර, කප්පි, ලීවර නිපදවා ගැනීමටත් විශාල කරත්ත භාවිත කිරීමත් තුළින් දේශීයත්වයට මුල් තැනදීම.

5. ප්‍රාකාරය තුළින් රාජධානිය තුළට ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ ගෙන ඒමට විශේෂ මාර්ග පද්ධතියක් සමගාමීව සකසා තිබීම හා එහි වාස්තු නිර්මාණය ඉතා තාක්ෂණික මට්ටමක තිබීම.

6. සංග්‍රාමයදී (සතුරු පහරදීමක්) ආරක්ෂා වළල්ලක් තම ප්‍රාකාර බලකොටු වටා ස්ථාන ගත කිරීම් තුළින් ප්‍රාකාරය ආරක්ෂා කර ගැනීමට අතීතයේ ක්‍රියා කර තිබුණු සතුරන් මැඩලීමේ මනා කෞශල්‍යයකින් පිරිපුන් යුද පුහුණුව ලබාදීමට ආකාරය .

7. ප්‍රාකාරය අභිමුඛයේදි එහි ප්‍රතාපවත් බව සතුරන් දුර්මුඛ කරයි. චීනයේ ප්‍රෞඪත්වය අභිමානය මේ දැවැන්ත ප්‍රාකාරය තුළින් විද්‍යමාන වෙයි.

8. අධිරාජ්‍යයෙන් නායකත්ව ගුණාංග, තම වැසියන් නිරුපද්‍රිතව ආරක්ෂා කර ගැනීම, බාහිර විදේශ බලපෑම්වලින් ආරක්ෂාකර ගැනීමට රට අභ්‍යන්තර ස්වයං පෝෂණයට මග පාදා ගැනීමටද මෙය මහා ප්‍රාකාරය පිහිටවී ඇත.අගනගර රැක ගැනීමේ ප්‍රබල බලකොටුවක් ලෙස

චීන මහා ප්‍රාකාරය චීන ජාතිකයන් මේ භූමිය රැක ගැනීමට යොදා ගන්නා කාලයේදී චීනයේ අගනුවර වන බීජිං නගරය ආරක්ෂා කර ගැනීමට මේ ප්‍රදේශයේ රැකවලුන් විශාල සංඛ්‍යාවක් රඳවා තබා ගෙන ඇත. අවට කඳුවලින් ලබාගත් ගල් හා ගඩොල්වලින් මේ උතුරු කපොල්ල ඉදිකර ඇත. එමෙන්ම ජුවොන් ගුවාන්හි “බටහිර කපොල්ල” ද (මේ බල කොටුව මහා ප්‍රාකාරයේ බටහිර මායිමේ පිහිටා ඇත.)

 

චීන මහා ප්‍රාකාරයේ ආකර්ෂණීය ස්ථාන

මේ මහා ප්‍රාකාරයේ නැඟෙනහිර මායිමේ පිහිටා ඇති මින්ග් මහා ප්‍රාකාරයද වඩාත් ආකර්ෂණීය කොටසකි. එසේ වනුයේ එම ප්‍රාකාරය තියුණු බෑවුම් ඔස්සේ ඉතා අලංකාරව දිස්වෙන කොටස නිසාවෙනි.

එමෙන්ම ගිනිකොන දිග ජින්ෂැන්ලින් හෙවත් මයුටි යැන් යූ ප්‍රාකාරයද වැදගත් ස්ථානයකි. එය උස් පර්වත කූට සහිත කදු මුදුන් ඔස්සේ කි.මී. 2.25 (සැතපුම් 1.3) ක් පමණ දුරින් ගිණිකොණ දිග සිට ඊශාන දෙස දක්වා විහිදේ. එය ජුවෝන් ගුව් කපොල්ල සමඟ බටහිර දිශාවෙන්ද, ගුබෙයිකු සමඟ නැඟෙනහිර දිශාවෙන්ද සම්බන්ධ වේ. එමෙන්ම ලියාවේටියැන් රිදී ප්‍රාකාරය ගින්ග් ප්‍රාකාර කොටස කි.මී. 25ක් පමණ බටහිර දිසාවට වන්නට මහා ප්‍රාකාරයෙන් වෙන්ව පවතී. ලින්ටියැන්හි වාර්තාවලට අනුව මේ කොටස අනෙක් ප්‍රාකාර කොටස්වලට වඩා උසින් අඩුය. එය රිදී පැහැයෙන් දිස්වෙයි. පසුව මෙය රිදී ප්‍රාකාරය නමින් විරුදාවලිය ලැබිය.

එසේ රිදී පැහැයෙන් දිස්වීමට හේතුව එය ඉදිකිරීමට යොදාගෙන ඇති පාෂාණ ඉහළ ලෝහ ප්‍රතිශතයක් අන්තර්ගත “ශාන්සි“ හි පතල්වලින් ලබාගෙන තිබීම බව පුරාවිද්‍යාඥයන් ගේ මතයයි. එහෙත් දිගු කාලීනව ක්ෂය වී යාම් නිසා වත්මන්හි එම රිදී පැහය දිස්වන්නේ මද වශයෙනි.

තවත් ආකර්ෂණීය ප්‍රදේශයක් වනුයේ චීන මහා ප්‍රාකාරයේ ප්‍රථම කපොල්ල හැන්හයිගුවාන් යන කඳු ගැටය මත ඉදිකර ඇත. මෙය චීන මහා ප්‍රාකාරය දිවෙන ප්‍රථම කන්ද වේ. මෙය චීන මහා ප්‍රකාරයේ නැඟෙනහිර කොටසේ පිහිටා ඇත. එහිම ජියාශාන්ද, ජියනෙක්තු ද පාලමක් ලෙස පිහිටා ඇත.

සියවස් 19ක් තිස්සේ යුගයෙන් යුගයට දිගුවෙමින්, පුළුල් වෙමින් උසින් වැඩිවෙමින්, ප්‍රතිසංස්කරණය වෙමින් මිනිස් ශ්‍රමයෙන්ම ගොඩනැගුණු චීන මහා ප්‍රාකාරය මිනිසා මිහිපිට මැවූ පුදුමයක්මය.

 

පුරාවිද්‍යාත්මක ගවේෂණ හා කැණීම්

අතීතයේ යුද්ධයේදී භාවිත කළ ක්‍රමෝපායන් අධ්‍යයනයට මේ ප්‍රාකාරය හොඳම නිදර්ශනයකි. සතුරු ආක්‍රමණ ගැන කල්තියා දැන ගැනීම සඳහාත්, රටට ඉදිරි ආරක්ෂක වළල්ලක් ලෙසත් මේ ප්‍රාකාරයේ දිගටම බළ සෙන් රඳවන ලදහ. මෙය සියවස් ගණනාවක් තිස්සේ අඛණ්ඩව අනුගමනය කළ බව පුරාවිද්‍යා සාක්ෂිවලින්ද තහවුරු වෙයි. එකල විශාල ගිනිමැළ ගසා අනතුරු ඇඟවීම සඳහා යොදාගන්නා ලද පිදුරු සහ ගොම කඳු කැණීම්වලදී සොයාගෙන තිබේ. හමුදා බල ඇණි රඳවා තිබූ කුඩා නගරද එකල්හි තිබීමට ඉඩ ඇත. මේ ප්‍රාකාර බලකොටු ළඟ පාතක ගොවිපලවල සහ වෙළෙඳ නගර නොතිබූ බැවින් බලකොටුව තුළට ආහාර ද්‍රව්‍ය ගෙන එන ලද්දේ කඳුවැටි උඩින් වැටණු පටු අඩිපාරවල් ඔස්සේය. පවුර මුදුනට ආහාර යවන ලද්දේ පවුරේ චීනයට අයත් පැත්තේ කණු සිටුවා ඒවායේ ලණු හා කඹ බැඳ කෑම කූඩ අතින් අතට යැවීමෙනි.

මේ මහා ප්‍රාකාරය ඉදිකිරීමෙන් එකල අපේක්ෂා වූ කාර්යයන් ඉටු විය. උතුරින් ආ ආක්‍රමණිකයන්ට චීනය යටත් කර ගැනීමට හැකිවූයේ රට අභ්‍යන්තරයේ පාලනය දුර්වල වූ අවස්ථාවල පමණි. මොංගෝලියානු යූ ආං රාජවංශයටත්, (1271 - 1368) මැංචූරියානු කුයිං රාජවංශයටත් බලය අල්ලා ගැනීමට හැකිවූයේ එකල පැවැති රාජ්‍ය බලයේ දුබල බවත් ජනතාවගේ දිළිදුබවත් නිසාවෙනි.

වාස්තු නිර්මාණය

එදා මෙදාතුර ලෝකයේ දිගම ප්‍රාකාරය චීන මහා ප්‍රාකාරයයි. එයද පාංශු සහ මැටිවලින් , ලී දඬුවලින් , පිළිස්සූ මහ ගඩොලින් එකලස් කොට මිනිස් ශ්‍රමයෙන් තැනුණු, විශාල ප්‍රාකාර රැසක් එකතු කිරීමකි. එය ඉදිකිරීම්වලදී සහ බලකොටුව, ප්‍රාකාරය ආරක්ෂා කර ගැනීමේදී මිනිසුන් දහස් ගණනක් දිවි පුදා ඇත.

පැරැ ණි ගඩොල් පෝරණු පුරාවිද්‍යාත්මක කැණීම් සොයා ගැනීම

එමෙන්ම මේ චීන මහා ප්‍රාකාරය ගොඩනැඟීමට මිනිස් ශ්‍රමයෙන් නිමැ වූ ගඩොල් නිර්මාණය කර ගැනීමේදී එකල ඒවා පිළිස්සීමට භාවිත කළ පෝරණු සුවිශේෂත්වයක් ගනී. පුරා විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද මේ විශේෂ ගඩොල් හා ඒවා පුළුස්සා ගැනීමට උපයෝගී කරගත් පෝරණු විශාල සංඛ්‍යාවක් පොළොව යට තිබී මෑතකදී සොයා ගන්නා ලදී. 2003 ජනවාරි 17 පළවූ ඒජ්ර්‍ථ පුවත් වාර්තාවක සඳහන් පරිදි 1368න් 1644 අතර කාලයේදී මහා ප්‍රාකාරය ඉදිකිරීම සඳහා භාවිතයට ගත් පෝරණු 48ක් පොළව යටින් මතුකරගෙන ඇත. චීන (පුරාවිද්‍යාත්මක කැණීම් මඟින්) ඒවා යාබද උතුරු චීනයේ “හෙබි” ප්‍රාන්තයේ තිබෙන “බෑන්චැංයු” ග්‍රාමයේ ඉරිඟු කුඹුරක් යට තිබී ගොඩගෙන තිබේ. ඒවා අතරින් 24ක්ම චීනයේ මේ දක්වා සොයාගෙන තිබෙන ඉතාමත් පැරණිම පෝරණු වර්ගය වන අතර එකක් ඇතුළේ ගඩොල් 5000ක් පමණ තිබී සොයාගෙන ඇත. චීනයේ පැරැණියන් විසින් ලී රාමු ඇතුළත පස් තට්ටුද මාරුවෙන් මාරුවට ගල් හා ගස් රිකිලිද ඔබා දමා කොටා තිබෙන හැං- ටු ශිල්ප විධි ක්‍රම ස්ථානද කිහිපයක් පුරා විද්‍යාඥයන්ට හමුවී තිබුනි.

 

ශ්‍රී ලංකාවේ භාවිත කළ ගඩොල් පෝරණු

චීන මහා ප්‍රාකාරය ඉදිකිරීමට බොහෝ කලකට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ පැරැණි රජවරු පෝරණුවල පුළුස්සා ගත් සේම වෙනත් නිමාවන්ගෙන් ශක්තිමත් වු ගඩොල් වර්ග භාවිතයට ගෙන ස්ථූප, නගර පවුරු හා වෙනත් ගොඩනැඟිලි ඉදිකළෝය. පුරාණ අනුරාධපුර නගරයේ රුවන්වැලි සෑය (ක්‍රි.පූ. 3දී ඉදිකරන ලද) පැරණි වර්ගයේ ගඩොල් දශලක්ෂ 30ක් යොදා ගනිමිනි. ජේතවන ස්ථූපය (ක්‍රිස්තු වර්ෂ 4දී ඉදිකරණ ලද) සඳහා පැරණි ගඩොල් දශලක්ෂ 62ක් යොදාගෙන ඇත.

ලෝකයේ විස්මිත මිනිස් නිර්මාණ අතර ඉතා සුවිශේෂ තැනක් චීන මහා ප්‍රාකාරයට හිමිවී ඇත. එම අගනා ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන ලෝකයේ සියලුම රටවල සංචාරකයන්ගේ ප්‍රශංසාවට ලක්වනුයේ ප්‍රාකාරයේ කොටස් අද ප්‍රතිසංස්කරණය කොට එය ලෝකයේ ප්‍රකට විදේශ සංචාරක පුරවරයක් ලෙස චීන රජය සුරකින් බැවිනි. මෙහි අරුමය නම් එය සැබවින්ම ඡ්‍යොතිෂඥ මහා පාඥයකු වූ ප්‍රංශ ජාතික නොස්ත්‍රාද්‍රාමස් මෙයට වසර 500කට පෙර කියන ලද අනාවැකියක් ශාක්ෂාත් කර ගැන්මක්ද විමය.

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.