බුදුදහමේත් ලංකාද්වීපයේත් ආරක්ෂකයා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා

ජනවාරි 1, 2021

බෞද්ධයන් විෂ්ණු දෙවියන් සලකන්නේ බෞද්ධ දේවාත්මයක් සේය. ඇතැම් දේව කන්නලව් වලදී මතු බුදුවන විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේ යනුවෙන් කියවේ. දේශය රකින සතර වරම් දෙවිවරු අතර ප්‍රමුඛයාද විෂ්ණුය.

 

හින්දු ත්‍රී මූර්තියේ පළමු වන දෙවියා “මහා බ්‍රහ්මයාය”. (මහබඹු) දෙවැන්නා ශ්‍රී විෂ්ණු දෙවියන් ය. සෘග්වේදයට අනුව රශ්මිය විහිදුවා අහසෙහි බබළමින් ගමන් කරන හිරු සේ සැලකූ විෂ්ණු, ලෝක ධාතුවේ සප්ත ප්‍රදේශයන්හි එකවර තැන් තුනකින් ගමන් කරන බවත්, තම රශ්මි ජාලයෙන් ලොව ආවරණය කරන බවත් කියැවේ. මින් අදහස් කරන්නේ, ආලෝකයත්, ගින්නත්, සූරිය මණ්ඩලයත් යන ත්‍රිවිධ ලක්ෂණයි. හිරු උදාව, හිරු මුදුන්වීම, හිරු බැසයාම පිළිබඳව සිද්ධාන්ත මීට අයත් වේ. පසු කාලීනව විද්වතුන්ගේ පහළවීමත් සමඟ සූර්යයා ග්‍රහලොවක් (තරුවක්) සේ හඳුනාගත් පසු විෂ්ණු පිළිබඳ මුල් මතය වෙනස් විය. මෙහිදී නිල්වන් අහස් කුසට අධිපති ලෙස “ඉන්ද්‍ර” දෙවියන් පිළිගැනීම ඇරඹිණි. විෂ්ණු යනු ඉන්ද්‍රගේ දෙවැන්නා වන “උපේන්ද්‍ර” ලෙසට මතයක් බිහිවිය. මහා භාරතයේ සාහිත්‍යය පිබිදීමත් සමඟම විෂ්ණු යළිත් හින්දු ත්‍රී මූර්තියේ බල සම්පන්නයාගේ තැනට පත්විය. එකල බිහිවූ විෂ්ණු, භාගවත, ගරුඪ, පද්ම, වරාහ යන ග්‍රන්ථවල දේව ත්‍රී මූර්තියේ (මහා බ්‍රහ්මයා හා ඊශ්වර දෙවියන්ට වඩා) ප්‍රමුඛ ස්ථානයක් විෂ්ණු දෙවියන්ට හිමිවිය.

ලෝකය මැවීමේදී විෂ්ණු දිව්‍යරාජයා “නාරායන වේශයෙන්” ජලය මත සැතපි සිටී අවස්ථාවේ තම පෙකනියෙන් මතු වූ නෙළුම් මලක මුදුනේ මහබඹු පහළ වූ බව බ්‍රාහ්මණයන්ගේ ග්‍රන්ථවල සඳහන් වේ. මෙයින් අදහස් වන්නේ ලෝකය මැවීමටත් විෂ්ණු දෙවියන් මුල් වී ඇති බවයි. සියලු දෙවිවරුන්ට වඩා කරුණාවන්ත, ආදර සම්පන්න, මෘදු මොළොක් ගුණයෙන් යුතු බැතිමතුන් කෙරෙහි අනුකම්පා සහගත වූත් දිව්‍යරාජයා විෂ්ණු බව හින්දුන් බහුතරයකගේ මතයයි. දේව ත්‍රී මූර්තියේදී විෂ්ණු දෙවියන් සලකනු ලබන්නේ “ලෝකයේ පැවැත්ම,ආරක්ෂාව හා ස්වස්ථිතිය භාර දෙවියා ලෙසය. මිනිස් වර්ගයාගේ හා දෙවියන්ගේ ආරක්ෂාවටත්, අභිවෘද්ධියටත් හිතෛෂීවන්ත වූ දෙවියන් විෂ්ණුය. සතුරන් කෙරෙහි පවා විෂ්ණු දෙව්රජ විනාශකාරී දරුණු ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවත,් හින්දුන් විශ්වාස කරති. සතුරකු පරාජය වූ පසු සතුරා සමූල ඝාතනය නොකර සතුරාට සමාවදීම විෂ්ණුගේ සිරිතයි. මහබඹු ලෝකය මවන ලද මුත් ලෝකයේ පැවැත්ම හා ආරක්ෂාව සලසන්නේ විෂ්ණු බව පිළිගැනීම නිසා මිනිසුන් ද තම විපත් හා ආපදාවලදී මහබඹුන්ට හා ඊශ්වර දෙවියන්ටත් වඩා තම ආරක්ෂාව පතා පුද පූජා පවත්වන්නේ විෂ්ණු දෙවියන්ටය.

 

විෂ්ණු දෙවියන්ගේ නීල වර්ණ රුව

සිවුසැට ආභරණින් සැරසී විශිෂ්ට රූපයකින් යුත් තරුණවියේ පසුවන රජ කෙනෙකුගේ රූපයට සමාන ලෙස විෂ්ණුගේ රුව නිර්මාණය කර ඇත. සිරුර තද නිල් පැහැතිය. අත් සතරක් ඇත. එක් අතෙක පංචජන්‍ය සංඛයකි. එක් අතක චක්‍රායුධයකි. එක් අතක කෞමෝදකී නම් ආයුධයකි. අනෙක් අතෙහි පියුමකි. මේ හැර දුන්නක් ද, කඩුවක් ද දරන විෂ්ණු දෙවියන්ගේ ළමැද

“ශ්‍රී වත්ස” නම් ලකුණකි. වස්ත්‍රය කහ පැහැතිය. ගෙලෙහි කෞස්තුභ නම්

වටිනා මැණික් සහිතයි.

සිංහල සාහිත්‍යය ග්‍රන්ථවල සඳහන් විෂ්ණු දෙවියන් හඳුන්වන වෙනත් නාම, ලක්ෂ්මීපති, පංචායුධ, උවිඳු

 

විෂ්ණු දෙවිඳුන්ගේ ප්‍රියම්භිකාව.

ධනයට හා සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දෙවඟන විෂ්ණු දෙවියන්ගේ ප්‍රියම්භිකාව වේ. ලක්ෂ්මී දෙවඟන මහා බ්‍රහ්මයාගේ පුත්‍රයකු වන “භෘගු” ගේ සහ “දක්ෂ” නම් සෘෂිවරයාගේ දියණිය වන “ඛ්‍යාති” ගේ දියණිය බව මහා භාරතාඛපානයේ සඳහන් වේ. දෙව්ලොව හා මිනිස් ලොව සියලු රූමත් කාන්තාවන්ගේ මුදුන් මල්කඩක් සේ සලකන ලක්ෂ්මිය හෙවත් “ශ්‍රියාකාන්තාව” ගැන මුලින්ම සඳහන් වන්නේ සෘග්වේදයේය. ශ්‍රී, සිරිකත, පෘථිවි, ශ්‍රියාකාන්තාව, ඉන්ද්‍රා, මූනි ශ්‍රී, රැජුලා, චක්‍රිකා, නන්දිකා, ලලිමා යන නම් වලින් ලක්ෂ්මි දේවිය හඳුන්වයි. නෙළුම් මල හා ලක්ෂ්මිය අතර පවතින සමීප සම්බන්ධතාවය නිසා ලක්ෂ්මි දෙවඟන, පද්මා, පද්මාසන, පද්ම සුන්දරී, පද්මාන්, ක්‍රිෂ්, පද්ම මාලාධර දේවි, කමලිකා, කමලාසන, පද්මමුඛී, කුසුම්බා, පද්ම හස්ත, පියුම්බා, පද්මප්‍රිය ආදී නම්වලින් හඳුන්වයි. භවභෝග සම්පත් ලබා ගැනීමට ,සමෘද්ධිමත් වීමට, භාග්‍යවත් වීමට, ශෝභාසම්පන්න වීමට, යසඉසුරු ලැබීමට ලක්ෂ්මි දෙවඟනට පුද පූජා කළ යුතු බව සැලකේ. විෂ්ණුගේ ප්‍රියම්භිකාව වන ලක්ෂ්මිය විෂ්ණු ලොව පහළ වූදා පටන් සෑම ආත්මයකදීම ඔහුගේ ප්‍රියම්භිකාව ලෙස උපත ලැබූ බව විශ්වාසයයි. විෂ්ණුගේ දස අවතාරවල ඔහු “රාම” කුමරු ලෙසින් උපත ලබන විට ඇය “සීතා” නමින් ඉපිද පතිවෘත්තාවේ මහිමය ලොවට පෙන්වා දුන්නාය. විෂ්ණු දෙවිඳු “කෘෂ්ණා” (ක්‍රිෂ්ණා) අවතාරයෙන් ලොව පහළ වූ ආත්මයේදී ලක්ෂ්මිය “රාධා” නැමැති ගෝපී කුමරියගේ වේෂයෙන් ඉපදී ඔහු සැනසූ බව ද කියවේ.

ජලසයන, නළදේවතා, තෙවිකුම්, දියබඳ, උපුල්වන්

 

ලක්ෂ්මි දෙවඟනගේ ශෝභමාන රූපය.

ලක්ෂ්මිගේ දේහය ඇත්දළ පැහැතිය. ජලාශයක පිපි රතු නෙළුම් මලක් මත හිඳ සිටින ලක්ෂ්මියට අත් සතරකි. එකක කඩුපුල් මලකි. අනෙක් අතේ රන් නෙළුමකි. අනෙක් අතකින් භූමිස්පර්ශ මුද්‍රාව දැක්වෙයි. සිව්වෙනි අත උකුළ මත ඇති කළයෙන් ගෙන රන්කාසි විසුරුවයි. ලක්ෂ්මියගේ සිරුර පච්ච වර්ණ සැට්ටයකින් හා රක්ත වර්ණ දිවසළුවකින් සැරසී ඇත. රතු කැට හා නිල් මැණික් කැට ඇල්ලූ ඔටුන්නක් හිස පැලඳ සිටින ලක්ෂ්මියගේ අත් පා, නාසය හා ඉණ සරසා තිබෙන්නේ මාලාදාම, වළලු, සිලම්බු, ග්‍රිවාභරණ, මෙවුල් දම ආදී ස්වර්ණාභරණවලිනි. විෂ්ණු දෙවියන්ට දස අවතාර ඇත්තාක් මෙන් ලක්ෂ්මියට ද “දසවිධ මූර්තීන්” ඇති බව සැලකේ. එම දසවිධ මූර්තීන් මෙසේය,

ශ්‍රී ලක්ෂ්මි, ධන ලක්ෂ්මි, නෘත්‍ය ලක්ෂ්මි, සූර්ය ලක්ෂ්මි, සුන්දර ලක්ෂ්මි

විෂ්ණු දෙවියන්ගේ අවතාර

හින්දුන්ගේ විශ්වාසය වන්නේ එක් එක් යුගවල වෙනස් වර්ණවලින් විෂ්ණු ලොව පහළ වන බවය. “අග්නිපුරාණයට” අනුව කෘප යුගයේදී ධවල පැහැයෙන් ද, නේත්‍රා යුගයේදී ස්වර්ණ පැහැයෙන් ද, ද්වාපර යුගයේදී රක්ත වර්ණයෙන් ද, කලියුගයේදී නීලෝත්පල වර්ණයෙන් ද විෂ්ණු දෙවියන් ලොව පහළ වී ඇත. අද අප ගෙවන කලියුගය ආරම්භ වී තිබෙන්නේ අදින් වසර දහස් ගණනකට පෙර කුරු - පාණ්ඩව යුද්ධය පැවැති සමයේය. “ධර්මය හා සදාචාරය පිරිහී අධර්මය මතුවේ නම් එකල මම පහළ වෙමි. ධාර්මික අය රැක ගැනීමටත්, පාපිෂ්ඨයන් විනාශ කිරීමටත්, ධර්මය ලොවෙහි පිහිටුවීමටත් මම උපදිමි.” භගවත් ගීතාවේ විෂ්ණු පිළිබඳව එලෙස සඳහන් වේ. විෂ්ණුගේ දස අවතාරවලින් මුල් හය කල්පිත සත්වයන්ය. ඉතිරි හතර ලොව ජීවත්ව

සිටී ඵෙතිහාසික පුද්ගලයන්ය. මුල් අවතාර හය පිළිබඳව බැතිමතුන් සැලකිල්ලක් නොදක්වන බවත්, අනෙක් අවතාර හතර පිණිස උපරිම පුද සත්කාර කරන බවත් පැහැදිලිව පෙනේ. එම සතර අවතාර මෙලෙස දැක්විය හැකිය.

රාම අවතාරය.

අධර්මය මැඬ ධර්මය ජයග්‍රහණය කරවීම පිණිස විෂ්ණු දෙවියන් “රාම්‍” ගේ අවතාරයෙන් ලොව පහළ වූ බව හින්දුන්ගේ විශ්වාසයයි.

මහා ලක්ෂ්මි, රූප ලක්ෂ්මි, ප්‍රතාප ලක්ෂ්මි,

වීර්ය ලක්ෂ්මි‍, සර්ව රෝග නිවාරණ, ලක්ෂ්මි

ඉන්දියාවේ අයෝධ්‍යාහි “දශරථ” නම් රජුට රාමචන්ද්‍ර හා ලක්ෂ්මන නමින් පුතුන් දෙදෙනෙකු වූහ. රාමගේ බිරිඳ “සීතාය”. කිසියම් හේතුවකට පිය රජු විසින් රටින් පිටුවහල් කළ මේ තිදෙනා “දණ්ඩක” නම් වනයේ වාසය කළ අතර, එම වනාන්තරයේ හිමිකරුවා වූයේ ලංකා පුරවරයේ අධිපති “රාවණා” රජුය. “රාවණාගේ සොයුරිය වන සුපර්ණඛා කුමරියද” වාසය කළේ ‘දණ්ඩණ වනයේ අසපුවකය’. රාවණා රජු වෙදකමෙහිද දක්ෂයෙකි. ඔහු හිමාල වනයේ එක් ප්‍රදේශයක නිතර වෛද්‍ය සභාවලට සහභාගි විය. මේ ගමන් අතරතුර රාවණා තම දඬුමොණර වාහනය දණ්ඩක වනයට ගොඩබා තම සොයුරිය මුණගැසී සුවදුක් විචාලීම සිරිත විය.

රාම ලක්ෂ්මන් හා සීතා “දණ්ඩක වනයේ” වාසය කරන අවදියේ සීතා සහ සුපර්ණඛා මිතුරියන් බවට පත්වෙයි. රාම හා ලක්ෂ්මන් නවාතැනෙන් පිට වී ගිය අවස්ථාවල සීතා සුපර්ණඛා ඇසුරෙන් තම පාළුව මකා ගත්තාය.

මෙහිදී සීතාට රාවණා සහ ලංකාපුරය පිළිබඳ තොරතුරු රැසක් සුපර්ණඛාගෙන් දැන ගන්නට ලැබෙයි. මේ සංවාදවලට රහසින් සවන් දී සිටී රාම සීතාගේ සිත වෙනතකට හරවන්නට උත්සාහ කරන්නේ යැයි සුපර්ණඛාට බැණ වැදී ඉන් නොනැවති කළ වරදට දඬුවමක් ලෙස සුපර්ණඛාගේ නාසය කපා දමයි. මේ කුරිරුකම දැනගත් රාවණා ඊට දඬුවමක් ලෙස සීතා පැහැරගෙන විත් ලංකාපුරයේ සිරගත කරයි. රාවණා මෙසේ කළේ සීතාවට ඇති ආශාවකින් නොව එමඟින් රාම ලංකාපුරයට ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා ගැනීමටයි. රාම තවත් වානර හමුදාවක් සමඟ ලංකා පුරයට එන්නේ වසර 12 කට පසුය. මෙහිදී රාමා සහ රාවණා අතර දරුණු යුද්ධයක්

ඇති වෙයි. යුද්ධයෙන් රාම පැරද වූ නමුත් උපක්‍රමයකින් රාවණාගේ සොයුරු “විභීෂණ” තම පැත්තට හරවා ගන්නා රාම විසින් රාවණා ජීවිතක්ෂයට පත් කරයි. රාමා තමාට උපකාර කළ විභීෂණට ලංකා රාජ්‍යය භාර කොට සීතා රැගෙන අයෝධ්‍යාවට ගොස් රජකම භාරගෙන සාමකාමී, සාධාරණ හා පරමාදර්ශී රාජ්‍ය පාලනයක් අරඹයි. වාල්මිකී ලියූ “රාමායණයේ” රාම වීරයෙකු ලෙස වර්ණනා කරයි. විෂ්ණු දෙවියන් හා ලක්ෂ්මි දේවිය රාම හා සීතා ලෙස මිනිස් ලොව පහළ වී ජීවත් වූ බවට හින්දුන් අදටත් විශ්වාස කරති‍.

 

කෘෂ්ණා අවතාරය.

“මහ භාරතය” නම් වූ කාව්‍ය සංග්‍රහයේ “කුරු පාණ්ඩව” නම් වූ යුද්ධයක් ගැන කියවෙයි. මේ යුද්ධය බොහෝ ඈත යුගයක ඉන්දියාවේ වාසය කළ “ආර්ය” වංශික රජවරු දෙපිරිසක් අතර සිදුවූවකි. පාණ්ඩවයන්ගේ වීරයා වන “අර්ජුන” ගේ රථාචාර්යන් හා උපදේශකයන් වශයෙන් කටයුතු කළේ “කෘෂ්ණ” නමැත්තෙකි. අර්ජුනට ජයග්‍රහණයට උපකාර කිරීමට ශක්තිය හා

ඥානය ලබා දුන්නේ කෘෂ්ණය. කෘෂ්ණගේ උපදෙස් පරිදි තම ඥාතී වර්ගයා වූ “කෞරවයන්” (කුරු රජ පෙළපත) අර්ජුන විසින් සමූල ඝාතනය කරයි.

කෘෂ්ණ කළු පැහැතිය. (ඝණ නීල වර්ණ) ආර්යයන්ගේ සිරුරු පඬු (දුඹුරු) පැහැතිය. ආර්යයන් අතර පණ්ඩුල, පාණ්ඩව, පණ්ඩු, පණ්ඩුක යන නම් භාවිත වන්නේ මේ සිරුරු පැහැය නිසාය. මේ අනුව කෘෂ්ණා අනාර්යයයෙක් හෙවත් ඉන්දියාවේ ස්වදේශිකයෙකි. හින්දු දේව කතාවලට අනුව කෘෂ්ණාගේ පියා චන්ද්‍ර වංශයට අයත් “වාසුදේව” ය. “දේවකී” වාසුදේවගේ බිරිඳයි. මංගල උත්සවයදා “වාසුදේව හා දේවකීගේ මංගල රථය” පදවාගෙන ගියේ “කංස” රජුය. මෙසේ යන අතර මහා වනාන්තරයෙන් නැඟුණු අමුතු හඬකින් කංස වෙත මෙවන් පණිවිඩයක් ලැබිණි. “නරපතියනි, තොප පදවා ගෙන යන රියේ සිටින ස්ත්‍රිය තොපට මරණය කැඳවීමේ නිමිත්තයි. ඇයට උපදින දරුවා ඒකාන්තයෙන්ම තොප විනාශ කරයි.” මෙයින් බියටපත් කංස රජු රථය නවතා දේවකී කුමරිය මරන්නට කඩුව අමෝරාගෙන ඉදිරියට පැන්නේය. වාසුදේව කුමරු කංස රජු ඉදිරියේ දණින් වැටී බැගෑපත් වී දේවකී නොමරණ ලෙසත්, ඇයට අභයදානය දෙන ලෙසත් ඉල්ලා සිටියේය. දේවකීට අභයදානය ලැබුණු නමුත් එතැන් පටන් දේවකී හා වාසුදේව සිරගත කොට තබන්නට කංස රජු ක්‍රියා කළේය. සිරගතව සිටියදී දේවකීට උපන් මුල් දරුවන් හත්දෙනාම කංස රජු විසින් මරා දමන ලදී. අටවන දරුවා ද දේවකීගේ කුස පිළිසිඳ ගත්තේ මේ අතරය. එම අවස්ථාවේදී විෂ්ණු දෙවියන් ඉදිරිපත් වී දේවකීගේ කුසෙන් දරු ගැබ ඉවත් කර වාසුදේවගේ දෙවන බිරිඳ වූ “රෝහිණියගේ කුස තුළ” දරු ගැබ තැන්පත් කළේය.

උපතින් පසු දරුවාට “කෘෂ්ණා” ලෙස නම් තබා ආරක්ෂා සහිතව හැදී වැඩෙන්නට ගොපලු ගමක “නන්ද හා යශෝධරා” යන අඹු සැමියන්ට භාර දුන්නේය. මෙම තොරතුරු චරපුරුෂයන්ගේ මාර්ගයෙන් කංස රජුට ආරංචි විය.

එහෙත් රජු කෘෂ්ණ විනාශ කිරීමට යෙදූ උපක්‍රම විෂ්ණු දෙවියන්ගෙන් ලද බලය හා හාස්කම් වලින් මැඬගන්නට කෘෂ්ණ සමත් විය. හින්දු ජනකතාවල කෘෂ්ණ ගොපලු ගමේ ගොපලු දරුවන් අතර සිදුකළ හාස්කම් ගණනාවක් පිළිබඳව පුරාවෘත්ත තොරතුරු පවතී. තරුණවියට පත් කෘෂ්ණ වස්දඬු (බටනලාව) පිඹීමට බොහෝ සමතෙකු විය. කෘෂ්ණාගේ පෙම්වතිය වූයේ “රාධා” නම් ගොපලු තරුණියකි. “බ්‍රින්දා” නම් වනාන්තරය ඔවුනට පෙම් රජදහනක් විය. කෘෂ්ණා හා රාධා පිළිබඳ අනේක වූ ජනප්‍රවාද හා ජනකතා ඉන්දියාව තුළ අදටත් ප්‍රකටය. තරුණ කෘෂ්ණ කුමරු යුද ශිල්පයෙහි ද දක්ෂ වී තම මාමා වූ කංස ර‌ජු මරා “මථුරාපුරය” අත්පත්කරගෙන රජකමට පත්විය. තම මවට හා පියාට දුන් වද හිංසාවලට ප්‍රතිඋත්තර දුන් කෘෂ්ණා සාධාරණය, යුක්තිය හා සත්‍යය වෙනුවෙන් පෙනී සිටී විෂ්ණුගේ අවතාරයක් බව හින්දුන්ගේ විශ්වාසයයි.

 

බුද්ධ අවතාරය

ගෞතම බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු බැතිමතුන් විශ්වාස කරති. හින්දුන් විශ්වාස කරන්‌නේ සමාජයේ ගුණධර්ම පිරිහී අසුර බව රජ කරන සමයක විෂ්ණු දෙවියන් “ගෞතම බුද්ධ අවතාරය” වේශයෙන් ලොව පහළව ධර්මය ආරක්ෂා කරගත් බවයි. තවද බුද්ධාවතාරයේ අරමුණ වූයේ දේව සතුරන් වූ අසුරයන්, රකුසන් හා අදේවවාදී මිසදිටු මිනිසුන් ලවා යළිත් දෙවියන් කෙරෙහි ගරු සැලකිළි ඇති කර දෙවියන්ගේ පිහිටාධාර ඉල්ලවා මිනිසුන් යහපත් බැතිමතුන් කරවීමය.

“දෙවියන් කියන්නේ මිනිසුන් මෙන් උපදින, මැරෙන, කනබොන, පංචස්කන්ධයෙන් යුත් සත්වයන් කොටසකි. මරණය නියතය. උපන් හැම කෙනෙකුම මැරෙති. අමරණීය ස්ත්වයෙක් ලොව නැත. මරණයට භය නොවිය යුතුය. දෙව්ලොව කියන්නේ සැපයටයි. අපාය කියන්නේ දුකටයි. අවිද්‍යාවෙන්, නොදැනීමෙන්, නිදහස්වීම පරම සැපයයි. යාගහෝම පුද පූජා පැවැත්වීම නිශ්ඵලයි. මිනිසුන් උපතින් කුලවතුන් හෝ වංශවතුන් නොවෙති.” (ගෞතම බුදු පියාණන්) ප්‍රකාශ කළේ එලෙසය. මේ දේශනාවන් අතරතුර අදේව දෘෂ්ටික නපුරු මිනිසුන් රකුසන් හා අසුරයන් මහත් විපතකට පත්වූ කල යළිත් බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ආදී දෙවියන් කෙරෙහි භක්තිය උපදවා දෙවියන්ගේ පිහිටාධාර ඉල්ලන්නට වූහ. යාගහෝම, පුදපූජා පවත්වන්නට වූහ. දෙවියන්ට වඳීන්නට පුදන්නට දේව ගීතිකා ගයන්නට මිනිසුන් පෙලඹුණෝය. සමාජ ගුණධර්ම පිරිහී අසුරයන් රජ කරන මෙවන් යුගයක දේව විශ්වාසවලින් සමාජය යම් තරමකට මෙල්ල කළ හැකි බව සත්‍යයකි. විෂ්ණුගේ බුද්ධාවතාරයේ අරමුණ සමාජ යහපත සලසා කල්පාන්තය (ලෝක විනාශය) තෙක් ලෝකය සහ ලෝකවාසීන් ආරක්ෂා කර ගැනීමයි.

 

කල්කි අවතාරය

අනාගතයේදී විෂ්ණු දෙවියන් කල්කි අවතාරයෙන් ලොවට වඩිනු ඇතැයි හින්දුන් විශ්වාස කරති. එය සිදුවන්නේ මෙම කලියුගය අවසානයේදීය. විෂ්ණු පුරාණයේ එය මෙසේ දැක්වෙයි. “පූජකයෝ ධර්මය අධර්මය කරති. අදමිටු පාපකාරී ජීවිත ගත කරමින් පුද පූජා සත්කාර ලබති. ලාභාපේක්ෂාවෙන් ධර්ම

විරෝධී වැඩ කරති. ලෞකික වස්තු තණ්හාවෙන් ආගම ධර්මයට විරුද්ධ දේ කරති. සැදැහැ නැත්තෝ වෙති. කම් සැපට ගිජු වෙති. වස්තු තණ්හාවෙන් පීඩිතව අකටයුතුකම්වලට පෙලඹෙති. රජ දරුවෝ අධර්මිෂ්ඨ වෙති. අධර්මයෙන් අයබදු ගනිති. වැසියන්ට පීඩා කරති. නිරපරාදයේ නිවැරදි මිනිසුන්ට දඬුවම් කරති. යුක්තිය නොසලකති. අධර්මිෂ්ඨ මිනිසුන්ට බලය දෙති. නින්දිත අපරාධකාරයෝ බලයට පත් කරති. අහිංසක දැහැමි මිනිසුන් දුකට පත් කරති. සමහර නායකයනුත්, පුරෝහිතයනුත්, අධිකරණ නායකයනුත් අධර්මයට හැරෙති. අල්ලසට යුක්තිය අයුක්තිය කරති. අගතියෙන් බැඳී අපරාධකාරයන්ට බලය දෙති. සොරකම් කරති. කරවති. ඉඩකඩම්, ගම්බිම් අයුක්තියෙන් ලබා ගනිති. අදිමිටු අපරාධකාරයෝ ස්ත්‍රීන්ට හිංසා කරති. මරා දමති. දූෂණය කරති. බාල දරුවන් නොසලකා හරිති. වධ හිංසා පමුණුවති. ගහති. මරා දමති. ආහාරපාන නොදෙති. බොරු නඩු පටලවා දඬුවම් කරවති. රටවැසියෝ මත්ද්‍රව්‍ය හා සුරාපානය කරති. අපරාධ කරති. සුරා වසවිෂ මත්ද්‍රව්‍ය විකුණති. සොරකම් කරති. අයුතු වෙළඳාමෙන් ධනය රැස් කරති. ගව මහීෂාදී සතුන් මරා කති. ස්ත්‍රීන් විකුණති. ඔවුන් බැල මෙහෙවරට යවති. ධනය උතුම් කොට සලකති. ගුණධර්මයට, ශීලයට හා ඥානයට ගරු නොකරති. අලංකාර වස්ත්‍රාභරණ පලඳීන්නන් උතුම් කොට සලකති.

සිල්වතුන්ට, වයස්ගත මව්පියන්ට, ගුණවතුන්ට නොසලකති. නින්දා අපහාස කර වධ හිංසා පමුණුවති. දිළිඳු දැහැමි මිනිසුන් වනාන්තරගත වෙති. අපරාධකරුවන්, නපුරන් බලයට එති. ලොව නපුරු දරුණු ලෙඩ රෝගවලින් පිරීයයි. මේ කලියුග කාලයේ ලක්ෂණයි. කල්කී අවතාරය මේ සෑම උවදුරු මැඬ ලෝකය සමෘද්ධිමත් කිරීමට අනේක වූ පිළියම් යොදති. ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ බලපරාක්‍රමය පතුරවමින් අධර්මයට නොපැරදී ලෝ වැසියන් ආරක්ෂා කිරීමට කැප වෙති. බුදුන්වහන්සේ දේශනා කළ අයුරින් තවත් වසර 2500 කට ආසන්න කාලයක් විෂ්ණු දෙවියන්ට ලෝකය සහ බුදු සසුන භාරය.

උදාවූ නව වසර ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අකල් විපත් සිදුනොවී, රෝබිය දුරු වී, රට කරවන ඇත්තන්ටත්, රටවැසි සියලුම ජනතාවටත් සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවායි! ප්‍රාර්ථනා කරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.