ජනවාරි මාසයේ පුර පක්ෂයේදී පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය

ජනවාරි 1, 2021

ශ්‍රී දළදා මාලිගාවට හා සතර දේවාලයන්ට සම්බන්ධ සතර මංගල්‍යයන්ගෙන් එකක්වන අලුත් සහල් මංගල්‍යය ආගමික මෙන්ම සංස්කෘතික අතින්ද වැදගත් කමක් උසුලන ප්‍රධානතම පූජා උත්සවයකි.

අලුත්සහල් මංගල්‍ය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ පුර පක්ෂයේදී පවත්වනු ලැබේ. පුරාණ තොරතුරුවලට අනුව අලුත් සහල් මංගල්‍යයට වී ගෙන එනු ලැබුවේ ගබඩාවේ හා විහාරගම්වලිනි. දළදා මාලිගාවේ වාර්ෂිකව සිදු කෙරන පින්කම් සතරක් වේ. ඉන්න පළමුවැන්න දුරුතු පුර පසළොස්වක් පොහොය දින පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයයි. මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් අලුත් සහල් නගරයට ගෙන ඒමට හා පිස අනුභව කිරීමට සුදුසු නැකැත් නියම කරනු ලැබේ. ඉන් පසු සතර දේවාලවල බස්නායක නිලමේවරු දී ඇති නැකැත් තම දේවාලවලට දන්වයි.

මන්නකුරාෂි කට්ටියානේ රාළ කඳුරාළ වියන් අල්ලන්නන් මුතුකුඩකරුවන් දවුල් තම්මැට්ටන් කරුවන් හා හොරණෑකරුවන් යන මොවුන්ගෙන් සමන්විත අලි ඇතුන් සමඟ පෙරහැරවල් මාලිගාව අසලට පැමිණේ. මාලිගාවේ හා සතර දේවාලවල පෙරහැරවල් ප්‍රධාන කොටගත් දළදා පෙරහරට සමාන කළ හැකි පෙරහරක් දුරුතු පුර පසළොස්වකට දින කීපයකට පෙර ගුරුදෙණිය ධාන්‍යගාරය වෙතයයි. ගුරුදෙණිය කෙත රාජකීය කෙතකි. මෙම කෙත රාජසිංහ රජුගේ කෙත්වලින් එනකි. එය අක්කර තිහකින් යුත් වී අමුණු දහ අටක් වැපිරෙන සරුසාර කෙතකි. ගුරුදෙණිය විදානේ ප්‍රමුඛ පිරිස ඉදිරියට පැමිණ දළදා මාලිගාවේ හා සිවුමහා දේවාල පෙරහර පිළිගෙන වී තැන්පත් කර තිබෙන ගබඩාව වෙත කැදවා ගෙන යති. විදානේ සහ ගමරාළලා පැරණි චාරිත්‍රානුකූලව බුලත් හුරුළු පිළිගන්වා දියවඩමේතුමාට ධාන්‍යාගාරයට එන ලෙස ආරධානය කරති. මෙහිදී තේ පැන් සංග්‍රහයක්ද පැවැත්මේ තවද ගමරාළවරු හත්දෙනකු විසින් අඩුක්කු නොහොත් ආහාර සැලි හතක්ද ව්‍යාංජන තිහක්ද, රැගෙන එති. මෙම සැළි හත අඩුක්කුවට මුල් තැන් පූජාවට වුවමනාකරන ආහර ප්‍රමාණය වේ.

පසුව දියවඩන නිලමේ සහ මාලිගාවේ ඉන් අනතුරුව දියවඩන නිලමේ සහ මාලිගාවේ අනෙකුත් ප්‍රභූවරුන් අලුත් සහල් තැන්පත් කොට ඇති ගබඩාවට යයි. දේවාල හතෙර් කපුරාළල. අෂ්ඨක ගායනා කරන අතර බෙරවාදකයෝ මගුල් පෙරවාදනය කරති. දියවඩන නිලමේ රිදී නැළියගෙන චාරිත්‍රාණුකූලව සැහල් නැළිය මැන පසෙග හිද ගනියි.ඉතිරිවා මහන්නා විසින් මනින ලබයි. නාථ දේවාලයට හා අනෙකුත් දේවාල තුනටද වී සහල් මැන වෙන් කර තබයි. දේවාල කටයුතු අවසන් වීමෙන් පසු මල්වතු අල්ගිරි විහාර දෙකට වී සහල් මනිනු ලැබේ. ඉන් අනතුරුව නම් පොතේ සඳහන් වන පරිදි ගංගාරාමය දෙගල්දොරව, කුණ්ඩසාලේ ආදි දේවාලවලට වී සහල් මැන වෙන් කරනු ලැබේ. අනෙකුත් ස්ථානවලට වඩා වැඩියෙන් දළදා මාලිගාවට සිවු මහා දේවාලවලට මල්වතු අස්ගිරි මහා විහාරවලට හා ගංගාරාමයට ද ලැබෙනු ඇත. ඉහත සඳහන් ස්ථාන හැරුණු විට වී සේරු දෙකකුත් හාල් සේරුවකුත් අනෙකුත් ස්ථානවලට ලැබෙන අතර ඒව ලබාගැනීමට නොපැමිණෙන අයගේ කොටස් දළදා මාලිගාවට ලැබේ.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සහ සිවුදේවාලවල පෙරහරවල් ගංගාරාමයේ රාත්‍රිය ගත කරන අතර අනෙකුත් වී සහල් ලැබුණු අය තම තමන්ගේ පෙරහරවල්වලින් ආපසු යති. පසුදින දළදා මාලිගාවේ සහ සතර දේවාල පෙරහර ගමන් කොට දළාද පෙරහර මාලිගාව පැමිණ සුබ මොහොතින් වී සහ සහල් තැන්පත් කරති. අනෙකුත් දේවාල පෙරහර සතරද ඒ අයුරින්ම සුබ නැකතින් වී සහ සහල් තැන්පත් කරති.

හරියටම දුරුතු පුර පසළොස්වකදී අලුත් සහල් ආහර පිස දළදා මාලිගාවේ සහ ඒ ඒ දේවාලවල පුද පූජා පවත්වනු ලැබේ. සිරිත් පරිදි දුරුතු පුර පසළොස්වක් පෝදා අලුත් සහලින් ආහාර පිසීම සඳහා වට්ටෝරුරාළ විසින් මුළුතැන්ගෙට සහල් හා ද්‍රව්‍ය භාර දෙනු ලැබේ. හාල්සේරු තිස්දෙකකින් දළදා මාලිගාවේ උඩුමහලේ හා පල්ලෙමාලේ පුද පුජා පවත්වන්නේ බුදුන් වහන්සේ ඇතුළු තෙරුවන් වෙනුවෙනි. ඒ පෙර රජ දරවන් විසින් පූජා කළ රන් පාත්‍රවල පුරවා තබමිනි.

මෙම අලුත් සහල් මංගල්‍යය සෑම රජ මහා විහාරස්ථානයකම මෙන්ම දේවාලවලද වාර්ෂිකව පැවැත්වේ. තෙරුවන් ප්‍රධාන කොට දෙවියන් වෙනුවෙන්ද එය පවත්වනු ඇත.

පෞරාණික තොරතුරවලට අනුව ප්‍රජාව සඳහා දළදා මාලිගාවේදි සහල් සේරු අසූවකින් බතක් පිසුනු ලැබේ. මේ චාරිත්‍රවිධි එදා මෙන්ම අදත් නොකඩවා පැවත එන අතර කන්ද උඩරට ජනතාව මෙම ප්‍රජා උත්සවය අගේ කොට සලකති. දළදා මාලිගාවේ ප්‍රජාව සඳහා දානයට ව්‍යාංජන තිස් දෙකක් සහ කැවිලිද සූදානම් කරති. දානය පිළියෙල කිරීමෙන් පසුව දියවඩන නිලමේ ප්‍රමුඛ තේවාවභාර පිරිස විසින් ශ්‍රී දළදා වහන්සේටෙ මෙම දානය පූජා කරනු ලැබේ.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

එම්.පී. සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.