නූතන විද්‍යාඥයන්ට පෙර පිටසක්වළ ජීවීන් ගැන කියූ කතා

ඔක්තෝබර් 13, 2023

මහා භාරතයේ විසූ කාක බුන්ජර මහා ඍෂිවරයා ඡ්‍යොතිෂ්‍ය විෂයෙහිලා තාරකා විද්‍යාව, තාරකා ගවේණයෙහිලා අතිමහත් ප්‍රාගුණ්‍යයකින් හෙබි සුවිශේෂ වූ තාරකා විද්‍යාඥයකුගේ විෂය දැනුම ද අතික්‍රමණය කළ මහා ප්‍රාඥයෙකි. තේජෝ බල පරාක්‍රමයෙන් අනූන වූ මේ ඍෂිවරයාගේ අනාගත ඍෂි දැක්ම උපයෝගීකර පිටසක්වළ ජීවින් සිටින බවත් එම ජීවින්ට පෘථිවි ග්‍රහයාගේ භ්‍රමණය හා පරිභ්‍රමණයට ද බලපෑ හැකි බවත් දක්වා ඇත.

මායා ගෝත්‍රිකයන්ගේ ලොව ප්‍රචලිත දින දර්ශනය ලෝක විනාශයත් සමඟ අවසන් වෙතත්, මායාවරුන්ගේ සංස්කෘතිය නිර්මාණය කළ ජීවින් පිටසක්වළ සිට ලෝක විනාශයත් සමඟ පෘථිවිය වෙත පැමිණෙන බවත් දක්වා ඇත. මායා ගෝත්‍රිකයන්ගේ අනාවැකිවලින් 75% වැඩි ප්‍රතිශතයක් මේ දක්වා ඉටු වී තිබීම ඉමහත් කුතුහලය දනවන්නකි.

මායා ගෝත්‍රිකයන් සඳහන් කළේ “ඔරයන්” යෝධ තාරකා පද්ධතියේ මැද බඳ පටිය මධ්‍යයේ තරුවට සම්බන්ධ ග්‍රහ ලෝකයක ජීවින් සිටින බවත්, ඔවුන්ගේ පැමිණීම දිනෙක සිදුවනු ඇති බවත්ය. මායා ගෝත්‍රිකයන්ට ආවේණික ගුරුමුෂ්ටි අතර පිරමීඩ විද්‍යාවද වෙයි.

පෘථිවිය හැරුණ විට මේ සක්වල ජීවින් සිටින ග්‍රහලෝක තිබිය හැකිය. මේ සක්වළින් පිට ජීවින් ඇති බවට විශ්වාසයක් තදින්ම පවතියි.

මායා ගෝත්‍රිකයන් මායා සංස්කෘතියේ අයිතිකාරයන්මය. මෙම පෘථිවි තලයේ අතුරුදන්ව ගිය මහා සංස්කෘතින් සමුදායක් තිබී ඇත. ඒවා ඇතැම් විට විශ්වාස කිරීමට නොහැකි තරම් අද්භූතජනකය.

පිටසක්වළ ජීවින් පෘථිවියට සැපැමිනෙන්නේ පෘථිවි භ්‍රමණය, පෘථිවියේ පරිභ්‍රමණය, සූර්යාගේ භ්‍රමණය සහ පරිභ්‍රමණයෙන් සෑදෙන එක් හිඩැසකින් විය හැකිය යන්න විද්වත් මතයකි. පෘථිවිය සූර්යා වටා භ්‍රමණයේදී අංශක 23 1/2ක් ඇළවී ගමන් කරයි. කරකැරවෙන බඹරයක් නිදර්ශකයක් ලෙස ගත් විය එය ඉතා වේගයෙන් කැරකෙන්නේ නම් ඍජුව කැරකේ. එය ක්‍රමයෙන් වේගය අඩුවී ඇද වැටීමට ආසන්න වූ විට එම ඇළවීම අංශක 23 1/2කි. මේ හේතුව නිසා පෘථිවියට ඉහළින් කවයක් හිස් අහසේ සලකුණු වීම සිදුවේ. එම කවය මැද ඇති කේන්ද්‍රය දිගු කළහොත් එය කාන්දම් උතුරයි. අද ඔබ වාස්තු විද්‍යාවේදීන් උතුර ලෙස සලකන්නේ සැබෑ උතුර නොව කාන්දම් උතුරයි. කාන්දම් උතුර හැමදාමත් එක තාරකා පද්ධතියකට එල්ල වන්නේ නැත. අවුරුදු 72කට සැරයක් එක් අංශකයක් ආපස්සට ඇදීම සිදුවන්නේ මේ නිසාය.

මෙසේ බලන කල “සීරියස්” තරුවට එල්ල වී ඇති මේ උතුර නැවත “වේගා’ තරුවට එල්ලවන්නේ අවුරුදු 25920ක දී ය. එහෙත් ඡ්‍යෝතිෂ්‍යය ලොවට හඳුන්වා දුන් මුල් වකවානුවල මෙය ගණනය කර ඇත්තේ අවුරුදු 25850ක් ලෙසය. ඒ කෘත යුගයේ අග හරියේය. මේ කලි යුගයේ මැද හරියයි. වෙනස අවුරුදු 70කි. එමෙන්ම මේ අනුව බලන කල හිරු අද ඇත්තේ එදා තිබුණ තැන නොව ඊට වඩා වෙනස් තැනකය. ග්‍රහලෝක ද එලෙසම වෙනස් වෙමින් ඇත. චන්ද්‍රයාද පෘථිවියෙන් ඈත්වෙමින් පවතී. මේ හේතු කොට ක්‍රිස්තු වර්ෂ 6000 දී පමණ ඔබට කිසිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් නැරඹිය නොහැකි වනු ඇත. එය වළයාකාර වනු ඇත. කොටින්ම කියතොත් සඳට හිරු වසා දැමිය නොහැකි වනු ඇත.

අද හඳත්, හිරුත්, ක්ෂිතිජයෙන් මතු වීමට ගතවන කාලය හරියටම විනාඩි 02කි. ක්‍රිස්තු වර්ෂ 6000දී හඳ පරදිනු ඇත. එනම් හිරු ඊට කලින් ක්ෂිතිජයෙන් මතුවේ. අනෙක් ග්‍රහලෝකයන්ද මෙසේය. තාරකා විද්‍යාඥයන් “මහා විදාරණය” ලෙස හඳුන්වන්නේ ද මෙයයි. පෘථිවිය සූර්යාගෙන් ක්‍රමයෙන් ඈත් වනු ඇත. එවිට සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති ඈත ග්‍රහලෝක වන ඉන්ද්‍ර, වරුණ, යම, අපේ දූරේක්ෂයන්ට පැහැදිලිව දර්ශනය වනු නොඅනුමානය. “කාකබුන්ජර” මහා ඍෂිවරයාගේ මේ අනාගත දැක්ම එදිනට විද්‍යාර්ථීන්ට මනාව විස්තර කර ඇති ආකාරය පුදුම සහගතය. දැන් අප පිටසක්වළ ජීවින් පිළිබඳ අවධානය යොමු කරමු.

අනාදිමත් කාලයක සිට පිටසක්වළ ජීවින් පිළිබඳ විවිධ කතා පුවත් ලොව නන් දෙසින් වාර්තා විය. එය ඉතා මෑතකදී කරළියට පැමිණියේ එනම් 2023 සැප්තැම්බර් මස 12 අඟහරුවාදා, ඇමරිකාවේ මෙක්සිකෝවේ කොංග්‍රස් මණ්ඩලය අභිමුඛව “මනුෂ්‍ය නොවන” ජීවින්ගේ යයි සැලකුණු ෆොසිල ගත මෘත ශරීර දෙකක් දැක්වීමත් සමඟය. එරට හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳ සැසිය සඳහා ඉදිරිපත් වූ මේ සුවිශේෂ මෘත ශරීර එරට ඉතිහාසයේ මුල්වරට ඉදිරිපත් කළ අවස්ථාවද මෙය වීම වඩාත් සුවිශේෂ වූ අවස්ථාවක්ම විය.

මේ මෘත ශරීර ප්‍රදර්ශනය කරනු ලැබුවේ පියාසර වස්තුන් පිළිබඳ ගවේෂණයේ යෙදෙන යුෆොලොජිස්ට් කෙනකු ලෙස හඳුන්වාගත් ජොසේ ජේම් මව්සාන් (Jose Jaime Maussan)  නැමැති පුද්ගලයා විසිනි.

මේ කුඩා කෙසඟ සිරුරු දෙක වෙන් වෙන්ව වීදුරු පියනකින් සමන්විත ප්‍රදර්ශන බහාලුම් දෙක සතපවා තිබුණි. ඒ සිරුරේ එක අතක ඇඟිලි තුනක් තිබීම දක්නට ලැබුණි. ශරීරයට සාපේක්ෂව විශාල හිසකින් සමන්විත දේහයක් විය. මෙහිදී මව්සාන් ප්‍රකාශ කළේ එහි අඩංගු දෑ වල ච්ව්ඒ අණුවලින් තුනෙන් පංගුවක්ම පෘථිවියට ආගන්තුක බව දැක්විණි. මේ කරුණු මව්සාන් විසින් ඉදිරිපත් කළේ මෙක්සිකානු නීති සම්පාදකයන් ඉදිරියේ තමන් පවසන දෑ සත්‍ය ම පමණක් බව එරට නීතිය ඉදිරියේ දිව්රුම් දීමෙන් පසුවය.

ඔහු තවදුරටත් කරුණු දක්වමින් 2017 වසරේදී මේ මෘත ශරීර සොයා ගත්තේ පේරූ රාජ්‍යයේ, නැස්කා කාන්තාර ප්‍රදේශයේ පිහිටි භූගත පරිසර පද්ධතියක් තුළින් බවය. අතීත ශිෂ්ටාචාරයන් විසින් අහසේදී පමණක් පැහැදිලිව දැකිය හැකි යෝධ නැස්කා සිතුවම්’ පිහිටි ප්‍රදේශයට නුදුරින් පිහිටි ඩයටම පතලක තිබී මෙය සොයා ගන්නා විටත් ඒවා මනාව සංරක්ෂණය වන පරිදි ඇල්ගේවලින් ආවරණය කර තිබූ බව ද ඔහු පවසා සිටින ලදී.

මෙක්සිකෝවේ Nationl Autonomous university (UNAM)  විශ්වවිද්‍යාලයේදී සිදු කළ කාබන් -14 කාල නිර්ණ පරීක්ෂණ මඟින් මේ මෘත ශරීර දෙක අදින් වසර 700ත් 1800 අතර ඈත යුගයකදී මිහිදන් කළ ඒවා බව තහවුරු කරගත් බව දක්වයි.

ලෝකයට අදාළත්වයක් නොවන එමෙන්ම මනුෂ්‍ය නොවන නිදර්ශනයක් බවට හොඳින්ම පැහැදිලි වන නිදර්ශකයන් බැවින්, එම අදහස් දරන ඕනෑම විද්වත් ආයතනයකට විමර්ශනය කර බැලීම සිදුකිරීම සඳහා ඒවා විවෘත බව දන්වන ලදී.

තවද මවුසාන් විසින් ඉදිරිපත් කළ මෘත ශරීර දෙකෙහි අභ්‍යන්තර සැකසුම විනිවිද පෙනෙන එක්ස්කිරණ හා CT  ස්කෑන් පරිලෝකන වාර්තා ද මෙහිදී කොංග්‍රස් විභාගය හමුවේම ඉදිරිපත් කෙරුණි. ඒ වෝහාරික විශේෂඥ Jose de Jesus Zalce Benite  ද විසිනි. මෙහි තවත් සුවිශේෂත්වයක් වනුයේ එක් මෘත ශරීරයක අභ්‍යන්තරයේ බිත්තර වැනි ව්‍යුහ කිහිපයක් තැන්පත් වී ඇති බව දැක්වීමයි. එමෙන්ම මේ මෘත ශරීර දෙකෙහිම පෘථිවියේ ඇති දුර්ලභ මූලද්‍රව්‍යයක් වන Osmium  ලෝහයෙන් නිර්මිත අධිරෝපණ((Implantations)  අන්තර්ගතව තිබෙන බවත් ප්‍රකාශ විණි.

මෙවර කරළියට ආ මේ මළසිරුරු දෙකෙහිත් සමාන අසාමනතා විග්‍රහ කළ නොහැකි බව “අල්ජසිරා” පුවත් සේවය පෙන්වා දෙයි. තවද UNAM  විශ්වවිද්‍යාලය 2017 පළකරන ලද නිවේදනයක් නැවත වරක් ප්‍රකාශයට පත් කරමින් සිය National Laboratory of mass spectrometry with Accelerators (LEMA)  මඟින් කරන ලද පරීක්ෂණ සියල්ල සිදු කළේ මෘත ශරීර දෙකෙහි වයස දැනගැනීම අරමුණු කරගෙන පමණක් බව අවධාරණය කළේය. මෙකී නිදර්ශකවල සම්භවය පිළිබඳ කිසිදු අවස්ථාවකදී නිගමනයකට නොපැමිණෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ අදහස වන්නේ මේ පිළිබඳව නිගමනයකට එළැඹිය හැක්කේ වඩාත් විස්තීර්ණ වූ පරීක්ෂණ ගණනාවකට පසුව බවය. එය ඉදිරි පර්යේෂණයන්ට විවෘත වුවද, සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් එපිට පවතින විශ්වයේ ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් ඇතැයි යන්න විද්වතුන්ගේ මතයකි.

එසේ වුව ද ඉපැරැණි ශිෂ්ටාචාරවලින් පිටසක්වළ ජීවින් පිළිබඳ සාධක තොරතුරු හෙළිදරවු වේ.

මෙහිදී ප්‍රථමයෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය ගත් කල, ලොවම මුලින්ම නීති පද්ධතියක් හඳුන්වා දුන් බැබිලෝනියාවේ අපූර් බායිහල් රජුට ඒ නීති මාලාව පිරිනමා ඇත්තේ පියාපත් සහිත පිටසක්වළ ජීවියකු බවත් ක්‍රි.පූ. 1500 දී පමණ III වැනි තුන්මස් රජු සමයේ ගුවනින් විශේෂ යානයකින් බලවතුන් පිරිසක් ඊජිප්තුවට පැමිණි බව එරට කෞතුකාගාරයේ අති පැපිරස් ලේඛණයක සඳහන් වෙයි.

ජපාන ශිෂ්ටාචාරයේ සුරලොවින් (පිටසක්වලින්) නෙරපන ලද හුසනෝවා නමැත්තකු පෘථිවිවාසීන්ට උදව් කළ බවත් රජ කුමරියක් අනතුරින් ගලවාගත් බවත් සඳහන් වේ. ජපානයේදී හමුවු “ඩොගු” නමින් හැඳින්වෙන ප්‍රතිමා විශේෂය ඉහත ජපන් ජනවහර සත්‍ය බවට සාක්ෂි දරයි.

 

චීන ශිෂ්ටාචාරය

 

චීන ජාතිකයන් හට කලා ශිල්ප උගන්වා ඇත්තේ ගුවනින් පැමිණි රන්වන් පැහැයෙන් යුත් පිටසක්වළ ජීවින් පිරිසක් බව සා, වී සහ හාන් – ෂූ යන ඉපැරැණි ග්‍රන්ථවල සඳහන් වේ.

කහ පැහැති මුහුණ සහිත කුඩා ජීවින් වලාකුළු අතරින් ආ බව චීනයෙන් වාර්තා වෙයි. ඔවුන්ගේ හිස විශාලය. සිරුර කුඩාය. මේ මතය සනාථ වන්නේ අවුරුදු 12000 ක් පැරුණි යයි සොයාගත් සොහොන් කොත්වල තිබෙන විශාල හිසත් කුඩා ශරීරයක් සහිත ජීවින්ගේ ඇටසැකිලි හමුවීමෙනි. මේ පිටසක්වලින් ආ අමුත්තන් දැයි යන පැනය අදටත් විසඳී නැත.

 

ටිබෙට් ශිෂ්ටාචාරය

 

ටිබෙට් දේශයට හානිකර වූ දුෂ්ට පාලකයකු පලවා හරිනු පිණිස පද්ම සම්භව නමැති පිටසක්වළබලවතකු අතීතයේදි ගුවනින් පැමිණි බවත් පාලකයා පලවාහැර ගුවනේ නොපෙනි ගිය බවත් එරට ජන වහරේ ඇත.

 

නිනෙව් නගරය

 

පැරුණි නිනෙව් නගරයේ නිර්මාතෘ අසූර් බානිපාල් රජුගේ මැටි පුවරු ලේඛනවල සඳහන් වන්නේ පිටසක්වළ ජීවින් පැමිණ එතුමා අද්භූත යානයකින් වෙනත් ලොවකට ගෙන ගොස් නැවත පෘථිවියට ගෙන එන ලද බවයි.

 

ඉන්කා ශිෂ්ටාචාරය

 

දකුණු ඇමරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩනැඟුවේ පිටසක්වළ මෙසපොතේමියානු, සුමේරියානු ශිෂ්ටාචාරවලද පිටසක්වළ ජීවින් බේරු නම් ග්‍රහ ලොවින් පැමිණි බවත් පිටසක්වළ අභ්‍යවකාශ යානාව සඳහා තොටුපළක් ඉදි කළ බවත් සුමේරියානු ලිඛිත සටහන් දක්වයි.

 

බුදුන් වහන්සේ දුටු පිටසක්වළ ජීවය පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි.

නූතන තාරකා විද්‍යාව (Astronomy) විශ්වය කොටස් තුනකට බෙදා දක්වන ආකාරයටම මෙයට වසර 2600 කට ඉහත දී බුදුන් වහන්සේද විශ්වය කොටස් 3කට බෙදා දක්වා වදාළහ. එය අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ චූලනිකා සුත්‍රයෙහි දක්වා තිබේ.

 

1.සහස් ලෝක ධාතුව /චූලනී ලෝක ධාතුව

 

එහි සඳහන් වන්නේ හිරු සඳු ආලෝකය විහිදුවමින් යම්තාක් දුර ගමන් කරයිද එම ප්‍රදේශය සහස්සි නැතහොත් චූලනී ලෝක ධාතුව ලෙස හැඳින්විය හැකි බවය. නූතන තාරකා විද්‍යාව අනුව මෙය මන්දාකිණිය ලෙස හැඳින්වේ. (cluster of Galexies)

 

2.ද්විසහස්සි ලෝක ධාතුව / මජ්ක්‍ධිමිකා ලෝක ධාතුව

 

සහස්සි ලෝකධාතු දහසක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුව මේ නමින් හැඳින්වෙයි. – නූතන තාරකා විද්‍යාව සුපිරි මන්දාකිනි පොකුර (cluster of clusters)  ලෙස හැඳින්වේ.

 

3.ත්‍රි සහස්සි ලෝක ධාතුව / මහා සහස්සී ලෝක ධාතුව

 

එනම් ද්වි සහස්සි ලෝක ධාතු දහසක් එක්වීමෙන් සෑදෙන ලෝක ධාතුවයි.

මෙය තාරකා විද්‍යාවේ සුපිරි මන්දාකිණි පොකුරුවලින් සැදුම්ලත් විශ්වය ලෙස හඳුන්වයි. Super clusters)
 

බුදුන් වහන්සේ විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සංයුක්ත නිකායේ අරුණාවතී සූත්‍රයේ හා අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ 10වැනි සූත්‍රයේ දක්වා වදාළේ.

“හිරු සඳු දිසාවන් ආලෝකමත් කරමින් යම්තාක් පරිභ්‍රමණය වන්නේද? එය දහස් ඒකකවලින් ගණනය කළ හැකි ලෝක ධාතුවක් යයි මම කියමි” යනුවෙනි.

එමෙන්ම පෘථිවියේ ජීවය ආරම්භ වීම පිළිබදව අග්ගඤ්ඤ සූත්‍රයේද දැක්වෙයි.

පෘථිවිය ආරම්භය සිදු වූ කාලයේදි පෘථිවියෙන් ඉතා ඈතක පිහිටා තිබෙන්නාවූ ආභස්සර බඹ ලොව සිටින සත්වයන් ගේ ආයුෂ ක්ෂය වී මිනිස් ලොවට ඕපපාතිකව ජනනය වූ බව දැක්වේ.

තවද පෘථිවියේ ආරම්භ වීම සඳහා විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල ජීවත් වූ ජීවින් පෘථීවියට පැමිණි බව දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව දැක්වෙයි.

සියවස් ගණනාවක සිට අහස් තලයේ දෘශ්‍යමාන වන හඳුනා නොගත් වස්තු පිළිබඳ මානවයා විවිධ අර්ථකථන දී තිබේ. ලොව පුරා වාර්තාවන අභිරහස් යානා පිළිබඳව නිවැරැදි පරීක්ෂණයන් මෙතෙක් සිදුවී නොමැත. ඇත්තෙන්ම මේවා පිටසක්වළ සිට පැමිණෙන යානාවන්ද? එසේ නැතහොත් කිසියම් ආකාරයක දෘෂ්ටි මායාවන්ද? ජීවය සඳහා අවශ්‍ය සාධක පවතින්නේ පෘථිවියේ පමණක් යැයි කිසිවෙකුටත් කිව නොහැකිය. පිටසක්වළ ජීවින් වේනම් ඔවුන් අතර, බුද්ධිමත් ශිෂ්ටාචාර පැවතීමේ හැකියාවද බැහැර කළ නොහැකිය. 2030න් උදාවන දශකයේදී අඟහරු ලොව මත මිනිස් ජනාවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වීමට නියමිතය. අඟහරු ලොවෙහි ජීවයන් පවතින්නේ නම් ඔවුන් මිනිසා පිටසක්වළ ජීවියකු ලෙස හඳුනා ගනු ඇත.

කෙසේ වෙතත් ජෙසේ ජේම් මව්සාන් ගේ (පියාසර වස්තු ගවේෂකගේ) පිටසක්වළ ජීවින්යයි මේ සොයා ගත් මළ සිරුරු ඉදිරි දිනකදී තහවුරු වුවහොත් එය ලෝකයේ විශිෂ්ටතම පර්යේෂණ සොයා ගැනීම වනු ඇත. එය මිනිසාගේ පර්යේෂණ ක්‍රියාවලියේ යෝධ පිම්මක් වනු ඇත. එය තවද ග්‍රහලෝක ග්‍රහවස්තූන් පදනම් කරගෙන බිහිවු ඡ්‍යොතිෂ විද්‍යාවටද අනුව ප්‍රාණ වායුවක් ලැබීමට හේතු කාරකයක් වනු නොඅනුමානය. එය ඡ්‍යොතිෂ්‍ය නම් අඹර බැබළීමට සමත්වනු ඇත. පුරාතන භාරත ඍෂිවරුන්ගේ අනාගත දැක්මද සාක්ෂාත් වනු නියතය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.