පොරොන්දම් හරියටම බැලුවාද?

ඔක්තෝබර් 13, 2023

පොරොන්දම් පරීක්ෂාව නිෂ්ඵලය. පොරොන්දම් පරීක්ෂාව, පමණක් නොසෑහේ. මෙකී නොකී ප්‍රශ්න සමාජය තුළ පවතී. මේවාට විවිධ දැනුම් පද්ධතීන් ඇසුරෙහි විවිධ පිළිතුරුද ලබා දෙයි. සත්‍ය වශයෙන්ම පොරොන්දම් පරීක්ෂාව යනු කුමක්ද? එහි ප්‍රතිඵලයක් වේද? එය සිදුකරනුයේ කෙසේද යන ප්‍රශ්න සඳහා ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික විමසුමකටය මේ සටහන ගෙන එනුයේ.

1. “විවාහයට ලැබෙන්නේ උරුම කරුවාමය. එම නිසා පොරොන්දම් බැලීම වැඩක් නැත. අදාළ දෙදෙනාගේ කේන්ද්‍ර අනුව දෝෂ විමසා ඒවාට අවශ්‍ය ශාන්ති කර්ම සිදු කිරීමට පමණක් ඒවා පරීක්ෂා කළ යුතුය” මෙවැනි මතයක් මෑත කාලයේදී ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතී. එය සත්‍ය ප්‍රකාශයක යැයි උපකල්පනය කළහොත්, කිසියම් මවක විසින් ස්වකීය දියණිය සඳහා තෝරාගත් කේන්ද්‍ර සටහන් තුනක් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයා වෙත දක්වනු ලැබේ. එම කේන්ද්‍ර සටහන් තුනින් කවර කේන්ද්‍ර හිමියෙක් ඇගේ දියණියගේ විවාහ උරුමය වේද යන්න ඡ්‍යොතිර්වේදියාට තීරණය කළ හැකිද? එම කේන්ද්‍ර සටහන් හිමි පුද්ගලයන්ගේ බාහිර සුදුසුකම් සියල්ල බොහෝදුරකට සමාන නම් එම මව ඡ්‍යොතිර්වේදියාගේ සහය පැතීම නිෂ්ඵල නොවේද? එම කේන්දර සහ එම මව ඉදිරිපත් කරන ලද කේන්ද්‍ර සටහන් අතර සහ සම්බන්ධයක් පිළිබඳ නොසිතා කුසපත් අදිනා අයුරින් ඇගේ දියණියගේ විවාහ සහකරු තෝරා දීමට ඡ්‍යොතිර්වේදියා කටයුතු කරන්නේද? එම කේන්ද්‍ර සටහන් හතර සඳහාම විවාහ දෝෂ ශාන්ති කර්ම සිදුකරන්නේද?

පොරොන්දම විවාහය සඳහා පමණක් අදාළ ශාස්ත්‍රීය කරුණක් නොවේ. එය සේව්‍ය සේවක යුගලයට ද අදාළය.

ස්වකීය ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නා සේවකයන්, හවුල්කරුවන් අයිතිකරුගේ හඳහන අනුව ගැළපේද නොගැළපේද යන්න තීරණය කරනු ලබන ඉගැන්වීම් ඡ්‍යොතිෂය තුළ තිබේ. තවදුරටත් ගෘහය – ගෘහහිමියා අතර සම්බන්ධය ගෘහ පොරොන්දම් ආකාරයෙන් විමසීමට ශාස්ත්‍රීය උපදේශයන් වාස්තු විද්‍යාව තුළ වේ. එසේනම් එම ගැළපීම්ද නිෂ්ඵල වන අතරම ඒවාටද ශාන්තිකර්ම පමණක් යෝජනා කළ යුතුය.

මේ සඳහා අපේ පිළිතුර නම් ඉහත කී සියල්ල මධ්‍යස්ථව විමසිය යුතු බවයි. “පොරොන්දම” යන වදන “ගැළැපීම” යන අර්ථය ඇති දමිළ වදනකි. එය අශාස්ත්‍රීය මූල ග්‍රන්ථයන්හි සඳහන් වදනක් නොවේ. එසේම ප්‍රකට, සමාජගත පොරොන්දම් පරීක්ෂාව සහ සත්‍ය පරීක්ෂාව අතර වෙනසක් තිබේ. එය පසුව විමසමු. කිසියම් ජන්මියකුගේ විවාහ දෝෂයක් යෙදී ඇත්නම් ඒ සඳහා ශාන්ති කර්ම කටයුතුය. එය අපි පිළිගනිමු. ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ට අනුකූලය. එහෙත් ඉහත සඳහන් අයුරින් කේන්ද්‍ර සටහන් තුනක් රැගෙන ආ විටෙක ඒ තුනින් වඩාත් ගැළපෙන කේන්ද්‍ර සටහන තෝරා දීමට ඡ්‍යොතිර්වේදියා සමත් විය යුතුය. එපමණක් නොවේ මේ කේන්ද්‍ර හිමියන් සමඟ මැයගේ විවාහය සිදු නොවේ. ඇයගේ විවාහය අනෙකකි යන්න ගණිතමය ශාස්ත්‍රීය සංකල්පය අනුව පැවසීමට ඔහු දක්ෂ විය යුතුය. එසේත් නැතහොත් මේ කේන්ද්‍ර සටහන් තුනින් එක් හඳහනක් යම් දුරකට ගැළපේය ඒ නොගැළපෙන දෝෂ සඳහා ශාන්ති කර්ම කටයුතුය යන්න යෝජනා කළ හැකිය. එසේත් නැතහොත් මවගේ දියණියගේ කේන්ද්‍ර සටහන වෙනුවෙන් ශාන්තිකර්ම සිදුකොට ඊට පසුව විවාහ යෝජනා කළ හැකිය. කේන්ද්‍ර ගැළපුම නිෂ්ඵලය , උරුමයෙන් ලැබෙන දේම ලැබෙන්නේය යනාදි ප්‍රකාශයන් අර්ධ සත්‍යය වේ. ඡ්‍යොතිෂය වැනි විෂයක් ඇත්තේ ස්වකීය මාර්ගය යහපත් අන්දමින් වෙනස් කර ගැනීම සඳහාමය.

එසේම ශාන්තිකර්මවලින් සියල්ල සිදු කළ හැකි යැයි සිතීම අනුවණකමකි. වේදය අනුව හෝ බෞද්ධ දර්ශනය අනුව හෝ විමසන විට බුදුහිමියන්ටත් අනිවාර්ය ස්වරූපයෙන් ඵලදුන් කර්ම වේ. එසේම “දිඝායු කුමරාගේ කතාවේ අනුරුද්ධ තෙරුන්ගේ නැගණියගේ කතාවේ ආදිය කර්මය වෙනස් කළ හැකි බවට ඉඟි සපයනු ඇත.

නකුල මාතා , නකුල පිතා, සිද්ධාර්ථ, යශෝධරා, විෂ්ණු – ලක්ෂ්මී, ආදීහු පතාගෙන එන උරුමයක් ඇති වාසනාවන්තයෝ වෙති. ඒ හා සමානව පාරමී පුරන අය සිටිය හැකිය. එසේ නොවේනම් අපට ගැළපෙන කේන්ද්‍ර හිමියන් තෝරා ගැනීමට අප වැර දැරිය යුතුය. සමහර විටෙක මිත්‍ර ස්වභාවයෙන් අපට සතුරන් ළං වේ. සසරෙහි පරම වෛරක්කාරී ස්වාමි දියණියක කෙනෙකුට ලැබෙන්නට පුළුවන. ඒවා ශාන්තිකර්ම යෙදීමෙන් මැඩ පවත්වන්නට හැකිද නොහැකිද යන්නත් පළමුව තීරණය කිරීමට ඡ්‍යොතිර්වේදියා සමත් විය යුතුව ඇත. ඉදින් මේ කාරණා අනුව ඉහත කී මුල් ප්‍රකාශය අර්ධ සත්‍ය වන බව පැවසිය යුතුය. එය එසේ සත්‍යම වූයේ නම් මහ මුනිවරු විවාහ පරීක්ෂාව පිළිබඳවම ශෙලාක දෙසියකට අධික පරිච්ඡේදයන් ඡ්‍යොතිෂ විෂයට එක් නොකරනු ඇත.

2. පොරොන්දම් පරික්ෂාව නිෂ්ඵලය ග්‍රහ ගැලපීම් බැලිය යුතුය. එය තව අදහසකි. එයද සාවද්‍ය වාක්‍යයකි. පොරොන්දම් බැලීම යන වැකිය තුළම ග්‍රහ ගැළපීම් බැලිය යුතුය යන්න අර්ථවත් වේ. එහෙත් සැබෑ පොරොන්දම් බැලීමේ කාර්යය අද ‘විසි පොරොන්දම් යන වදනට ලඝුවී තිබේ.’ පොරොන්දම් යන වදන පුරාණ ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි නැත. ඒ සඳහා යෙදී ඇති ශාස්ත්‍රීය වදන ‘යෝග පරික්ෂාවයි” යෝග සංසන්දනය’යි

විවාහපේක්ෂිත තරුණයකු සොයා ගැනීමේදීත්, තරුණියක සොයා ගැනීෙමිදීත් විමසිය යුතු කරුණු එකොළොසක් වන අතර, එහි එකොළොස්වන කරුණ “යෝග“ වේ. එනම් දෙදෙනාගේ ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවය. සෙසු 10 ම නිරෝගි බව, ධනය, බාහිර බලය ආදි බාහිර කරුණුය. අභ්‍යන්තර කර්ම බලය විමසීම සඳහා “යෝග“ විමසීම මහ මුනිවරුන් විසින් අනුදැන වදාරා ඇත. මෙසේ 11වන කරුණෙහි දක්වා ඇති ‘යෝග“ 24 ක් වන අතර ඉන් පළමුවන යෝගය “කූට” පරීක්ෂාව නැතහොත් “කූට යෝග“ වේ. අපි විසි පොරොන්දම යනුවෙන් හඳුන්වනු ලබන්නේ විංශත් කූටයය. එහි එන ඉතිරි විසි තුනෙන් යම් යම් යෝග දැන නොදැන පරික්ෂා කරනු ලැබේ. එහෙත් විංශත් කූටය පවා නිසි අයුරින් පරික්ෂා කිරීමට හැකි අය අද ද සමාජයේ කෙතරම් සිටීද යන්න මම නොදනිමි.

විංශත්කූටය නැතහොත් ප්‍රකට විසි පොරොන්දම පංච ලක්ෂ්‍ය ක්‍රමයෙන් විමසිය යුතු බව මූලාශ්‍රවල සඳහන් වේ. එය විවාහ මේලය නම් වේ.. මෙය විංශත් කූටයේ විංසෝපක බලය යනුවෙන්ද හඳුන්වාදීමේ වරදක් නොවේ. මෙම විංශත් කූටය පංච රේඛා ක්‍රමයෙන් ගැනිය යුතු යැයි උපදෙස් ලබා දෙනු ලැබේ. විවාහ පරීක්ෂාවකදී යෝග සුවිස්සක් (24) ක් වන අතර යම් ගෘහයක් සහ ගෘහ හිමියකු අතර සීහුම් බලන විට එය ප්‍රධාන යෝග දහසයකි. විවාහයකදී මෙය “යෝග සංසන්දනය” නමින් හඳුන්වනු ලබන අතර වාස්තු විද්‍යාවේදී ඊට “ඵල තුලනය” යැයි කියති. කාව්‍ය කලාවේද එසේම ගැලපීම් බලනු ඇත. ‘කාකිනි සාධනං’ ‘සිද්ධි සාධ්‍ය විමසුම් යන වදන් එහිදී භාවිත කෙරේ.

ඒ අනුව සියල්ල උරුමයට අනුව සිදු නොවන බව වටහා ගත යුතුය. උරුමය වෙනස් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ශාන්ති කර්ම කලාවත් යෝග සංසන්ධනයත් එක්ව භාවිත කළ යුතුව ඇත. වරද ඇත්තේ අපේ දැනුමෙහි මිස ශාස්ත්‍රයෙහි නොවේ.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.