මහනුවර සිරි දළදා පෙරහර අසිරිය

සැප්තැම්බර් 1, 2023

ජාතියේ මහා සාම්ප්‍රදායික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහර පසුගිය 31 දා නිමාවට පත් වූයේ අභිමානවත් ලෙසය.

අගෝස්තු 17 වැනි දා ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම පෙරවරු 6.12ට යෙදුණු සුබ නැකැතින් සතර මහා දේවාලයන්හි සිදු කෙරිණි. ඒ අනුව අගෝස්තු මස 21 – සිට 25 වැනිදා දක්වා සිව් දිනක් පුරා සෙංකඩගල නුවර චතුරස්‍ර වීථී බබළවමින්, නේත්‍රාභිවන්දනය ලත් කුඹල් පෙරහර මංගල්‍යය ද 26 සිට 30 වැනි දා දක්වා රන්දෝලි පෙරහර මංගල්‍යය ද පැවැත් වූයේ දෙස් විදෙස් සංචාරක බැතිමතුන්ගේ සහ නරඹන්නන්ගේ සම්භාවනාවට පාත්‍ර වෙමිනි.

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අති උත්කර්ෂවත් අවසන් රන්දෝලි පෙරහර පසුගිය 30 වැනි දා රාත්‍රී 7.03ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව දළදා මාලිගාවෙන් පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියට සංචාරය කළේය. හෙළ කලා සංස්කෘතිකාංග රැසක් සහිත නර්තන කණ්ඩායම් පිරිවරා විචිත්‍රවත් වූ පෙරහරේ දළදා කරඬුව වැඩම වීම කතරගම වාසනා ඇතු විසින් සිදු කෙරුණු අතර දෑල ඇතුන් ලෙස දකුණු පසින් මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහ රාජා ඇතු ද වම් පසින් කැලණියේ කණ්ඩුල ඇතු ද ගමන් කළහ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දවල් පෙරහර ඊයේ (31) වීදි සංචාරය කළ අතර ගණ දෙවි කෝවිලෙන් උතුරු දිග බලා පෙ.ව11.59ට යෙදුණු සුබ මොහොතින් ඇරැඹූ සතරමහා දේවාල පෙරහර වීදි සංචාරය කළේය. අස්ගිරි ගෙඩිගේ විහාරයෙන් පස්වරු 1.16ට පිටත් වූ දළදා මාලිගාවේ පෙරහර පෙරටු කරගත් සතර මහා දේවාල පෙරහර වීදි සංචාරය කොට මාලිගා චතුරස්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට ගෙවැදීම සිදුවිය.

දහවල් පෙරහර නිමවීමෙන් පසු දියවඩන නිළමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිළමේවරු සංදේශය රැගෙන පෙරහරින් ජනපති මැදුර වෙත ගමන් කළ අතර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් පෙරහර සංදේශය දියවඩන නිළමේවරයා විසින් ජනපතිට භාරදීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් කෙරිණි. ඉන්පසු මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ට දක්‍්ෂතා දැක්වූ කලා ශිල්පීන් සඳහා ජනපති සම්මාන ප්‍රදානය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඒ අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

ඡායාරූප- සුලෝචන ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.