169 වසරක් පුරා රටට නැකැත් කියන ඈපා අප්පුහාමි

ජුනි 16, 2023

ඒ 1855 වර්ෂයයි. මෙදා කොළඹ වේල්ලවීදියේ පිහිටි සුදර්ශන අච්චු කන්තෝරුව ඉසිලූයේ වෙනදාට වැඩි කාර්යබහුල බවෙකි. එහි සේවක පිරිස පසු වන්නේ අප්පුහාමි වෙද මහතා දැන් දැන් පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

 

ඊයම් අකුරු ක්‍රමාණුකූලව අච්චු මැෂිමට අමුණමින් හරි අකුර හරි තැනට වැටුණේ දැයි එකකු පිරීක්සයි. තවෙකකු මැෂිමේ තීන්ත පරීක්ෂා කර බලයි. කඩදාසි නියමිත ප්‍රමාණයට යොදා ඇද්දැයි අනෙකා සොයයි. අච්චු මැෂිමේ කොටස් හරියට සම්බන්ධවී ඇද්දැයි යළිත් පිරීක්සයි. ඈපා අප්පුහාමි වෙදමහතා ලබාදුන් සුබ නැකතට පංචාංග ලිත මුද්‍රණය සඳහා අච්චු මැෂිම ක්‍රියාත්මක කළ යුතුය.

මේ අතර ලෙයාඩ් බ්‍රෝඩ්වේ හි පිහිටි අංක 112 නිවෙසින් සුබ හෝරාවෙන් එළියට බට ඈපා අප්පුහාමි වෙද මහතා මෝටර් රියට නැඟී පැමිණියේ මුද්‍රණාලය වෙතයි. තම සුරතින් ලියැවුණු පංචාංග ලිත මුද්‍රණය කිරීමට සියලු කටයුතු දැන් සූදානම්ය.

තමා ලබා දුන් සුබ මුහුර්තයෙන් පණගැන්වූණු අච්චු මැෂිමෙන් පිළිවෙළට මුද්‍රණය වන ඈපා පංචාංග ලිත් දෙස ඔහු දෑස දල්වා බලා හිදින්නේ මහත් ඕනෑකමකිනි. ලොකු බාසුන්නැහැ ඉන් එකක් ඈපා අප්පුහාමි වෙද මහතාගේ සුරතේ තබන්නේ සීරුවෙනි.

රටම නැකැතට වැඩ කරන නැකැත් ශුද්ධියට යොදා ගන්නා පංචාංගයක් සැකැසීමේ බැරෑරුම් අභියෝගාත්මක වගකීම මනාව ජයගෙන ඇති නිසාම ඔහුගේ සිතේ ජනිත වන සතුට දෙගුණ තෙගුණ වී මුදාහැරෙන්නේ මුද්‍රණාලය සිසාරා පැතිර යන සිනහ හඬිනි.

එලෙස මුද්‍රණය වූ ඈපා පංචාංගයට දැන් හරියටම අවුරුදු එකසිය හැටනවයකි. පරම්පරා පහක අපූරු ඉතිහාසයක් පෙළගැස්වූ ලංකාවේ එකම පංචාංග ලිත එයයි. පංචාංග ලිතක් වසරක් පාසා එකසිය හැටනව වසරක් මුද්‍රණය වීමම වාර්තාවකි.

සැබැවින්ම මේ කතා කරන්නට සූදානම් වන්නේ ඈපා පංචාංග ලිත බිහිකළ ජ්‍යෝතිෂවේදීයා දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විද්වතාණන් පිළිබඳවයි. තමා දැනසිටි ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අමතරව නිවැරැදි ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හදාරන්නට ගුරුවරයකු සොයමින් රට වටේ ඇවිද ගිය ඈපා අප්පුහාමි වෙද මහතා ඒ බලාපොරොත්තුව ඉටු කර ගනිමින් තම උත්සාහයේ අග්‍රඵලය නෙළා ගන්නේ 1855 වසරේ දී ඈපා පංචාංගය මුද්‍රණය කරමින්ය. ඒ නොවිදිනා දුක් ගැහැට විඳමිනි. ඒ අතීතය හරි දුක්බරය. එහෙත් ඒ මහන්සිය හරි රසවත්ය.

 

උපත

වර්ෂ 1811 නොවැම්බර් මස 30 වැනි දා බෙන්තොට වලල්ලාවිට කෝරළයේ වැයිහේන ගම්පියසේ බාල මහත්මයා නමින් ප්‍රසිද්ධියට පත් වූ ජ්‍යෝතිෂවේදී දොන් සයිමන් ද සිල්වා ඈපා අප්පුහාමි මහතාගේ පවුලට සුවිශේෂි දිනයක් වූයේය. එදින පාන්දර 2.00ට පමණ අප්පුහාමි යුවළට දාව පින්වත් පුත් කුමරුවකු උපත ලැබීය. සුබ දිනයක සුබ හෝරාවෙන් උපත ලද මේ බිළිඳාගේ ජන්ම පත්‍රයට අනුව ඔහුට හිමි වූ ලග්නය කන්‍යාව විය. ග්‍රහ පිහිටීම් අනුව ධර්ම ඥානයට හා ශාස්ත්‍ර ඥානයට ඇප කැප වී වැඩ කිරීමේ හැකියාව පිහිටා ඇත. ඒ අනුව කෙදිනක හෝ තම පුතුණුවන් ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේත් වෙදකමේත් ප්‍රචලිත පඬිවරයකු වන බව උපන් මොහොතේම දැන ගන්නට සයිමන් අප්පුහාමි මහතාට හැකිවිණ. මෙම පින්වත් බිළිදාට නම තැබුවේ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි යනුවෙනි. සහෝදරයින් පස්දෙනකුට සහ සහෝදරියන් තිදෙනකුට මැදිව ගෙවී ගිය ළමා විය පිලිප්ට අමතක නොවන සුන්දරම කාලයක් විය.

 

අධ්‍යාපනය හා දේශීය වෛද්‍ය විද්‍යාව

බෙන්තර ගලපාත විහාරවාසී පූජ්‍ය වලගෙදර ධම්මදස්සි මහානාහිමියන් යටතේ අධ්‍යාපනය ලද පිලිප් ඈපා අප්පුහාමි සිංහල, පාලි හා සංස්කෘත භාෂා මැනවින් හදාරණ අතර ජ්‍යෝතිෂ ශාස්ත්‍රයත් වෙදකමත් හදාරන්නට විය. 1828 දී ඡ්‍යොතිෂය හැදෑරීමට කොළඹට පැමිණෙන දොන් පිලිප් ඈපා අප්පුහාමි මහතා ඒ සඳහා සුදුසු ගුරුවරයකු සොයා ගැනීමට ගත් සියලු උත්සාහයන් කොළඹදී අසාර්ථක විය. ඒ පිළිබඳව 1923 වසරේ පළ වූ ඈපා පඤ්චාංග ලිතේ මෙලෙස සඳහන් කරයි.

‘කොළඹින් ද ගණිතය දත් සුදුසු ආචාර්යවරයෙක් සොයාගත නුහුණු බැවින් පසුතැවිලි නොවී නොයෙක් පළාත් හි ගණිතය දන්නන් සොයමින් සංචාරය කළේය. අන්තිමේ දී පානදුරේ විසූ ලුවිස් මහත්මයා නක්ෂත්‍රයෙහි සමර්ථයයකු යැයි අසනු ලැබ ඔහු වෙත පැමිණ විමසූ විට ගණිතය ඉගෙන ගන්නා වාක්‍ය පොත ලියා දීමට පමණක් පළමුව පතාග 100ක් හා ඊට පසු මසකට 50 බැගින් ගෙවනවා නම් උගන්වමියි කීයේය. එකල්හි තමා වෙත මුදල් හිඟ බැවින් එහි අමාරුව නිසා කලකිරුණ සිතැති ව මහනුවරට ගිය ඈපා අප්පුහාමිට සිරිමල් වත්තේ නාහිමියන් යටතේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනුමට අවස්ථාව උදාවිණි. ඒ අනුව වෛද්‍ය ශාස්ත්‍රය හදාරා බෙහෙත් ශාලාවක් විවෘත කර වෙදකම් කළේය. අනතුරුව කොළඹටද පැමිණ ලෙඩුන් සුවපත් කරන්නට කටයුතු කළේය. 1846 දී දොන් අන්දිරිස් අප්පුහාමිගේ දියණිය සමඟ විවාහ වූ ඈපා අප්පුහාමි වෙද මහතා තමා නිතර දෙවේලේ වනපොත් කළ පුස්කොළපොත් ඇසුරින් ලියන ලද සාහිත්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ප්‍රකාශයට පත් කළේ මේ කාලයේදීය. පැරැකුම්බා සිරිත, සාර සංක්ෂේපය, රෝගාරිෂ්ටය ඒ අතරින් කිහිපයකි. වෙද අප්පුහාමි ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත් වන ඈපා අප්පුහාමි වෙද මහතා ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හැදෑරීමේ තම නොතිත් ආශාව අත්නොහැර මේ කාල සීමාවේත් සුදුසු ජ්‍යෝතිෂාචාර්යවරයකු සොයමින් කල්ගත කරන්නේය.

 

ඡ්‍යොතිෂය හැදෑරීම

ඒ අනුව යාපනයේ විසූ ජ්‍යෝතිෂාචාර්ය විශ්වනාථ ශිවාචාර්ය කුමරස්වාමි පඬිතුමා කොළඹ ගනේෂ කෝවිලෙහි ප්‍රධානියා බවට පත් වීමත් සමඟ එතුමාගෙන් ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඉගෙනුමට ඈපා අප්පුහාමි මහතා කටයුතු කළේය. ඉන්දියාවට ගොස් වටිනා ජ්‍යෝතිෂ ග්‍රන්ථ මෙරටට ගෙන ආ විශ්වනාථ ශිවාචාර්ය කුමරස්වාමි පඬිතුමා ඒවා ඈපා අප්පුහාමි මහතා වෙත ලබා දී තව තවත් ජ්‍යෝතිෂ දැනුම මුවහත් කර ගැනුමට එතුමාට අවස්ථාව උදා කර දුන්නේය. එලෙස දැනුමින් සන්නද්ධ වූ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකු ලෙස තම ගමන ආරම්භ කළේය.

මේ කාලයේ දී ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට නැතිවම බැරි අත්පොතක් වන පංචාංග ලිතක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ඔහුට පැන නැඟුණි. එය නිවැරැදිව කළ යතු කටයුත්තකි. අහුන්ගල්ලේ ගුරුතුමාගේ ද ආශ්‍රය ලබමින් ඔහුගේ මේ බලාපොරොත්තුව ඉටු කරගන්නට එතුමා වෙහෙස විය. එලෙස දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ජ්‍යෝතිෂ් ශාස්ත්‍රඥයා 1853 දී මුල්ම ලිත අහුන්ගල්ලේ ගුරු නමින් ප්‍රකාශයට පත් කළ අතර පසුව තමාගේම ප්‍රකාශනයක් ලෙස 1855 දී ඈපා පංචාංග ලිත මුද්‍රණය කෙරිණි. මෙම ලිතෙහි සී සෑමට අමුණු බැඳීමට, අමු කුරහන් සිටුවීමට, මෙනේරි සිටුවීමට, තල්, පොල්, පුවක්, ලබු ආදිය සිටුවීමට යෝග්‍ය නැකැත් මෙන්ම අවුරුදු නැකැත් ද අලුත උපන් බිළිඳුන්ට තැබිය යුතු ආර්ය සිංහල නාම ලේඛනයක් ද ඇතුළත්ව තිබිණි. එලෙසම පියවර ක්‍රමයෙන් වේලාව සොයා ගන්නා අයුරු ද දක්වා තිබුණි. මේ ආකාරයෙන් ඔහු ජ්‍යෝතිෂය විෂය පිළිබඳ තම දැනුම වැඩිදියුණු කර ගනිමින් වසර 37ක් පුරා ඈපා පංචාංග ලිත මුද්‍රණය කළේය. දෛවඥ මුඛ මණ්ඩණය, ජාතක රත්නය, මුහුර්ත චින්තාමණිය, ගුණදොස් සංග්‍රහය, ස්වප්න මාලය යනා දී පොත් ඔහු සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ අනෙක් කෘති අතර වේ.

දොන් පිලිප් ඈපා අප්පුහාමි, දොන් ඩේවිඩ් ඈපා අප්පුහාමි, දොන් ඒබ්‍රහම් ඈපා අප්පුහාමි සහ තිස්ස ඈපා සෙනෙවිරත්න, සහ ඉන්දික ඈපා සෙනෙවිරත්න, යනා දී ලෙස අද වන විට ඈපා පංචාංග ලිත ඇතුළු අනෙකුත් ජ්‍යෝතිෂ ග්‍රන්ථ පරම්පරා පහක් විසින් සුරකිමින් ඉදිරියට ගෙනයමින් සිටින්නේය.

මේ අනුව බලන කල කොළඹ ප්‍රභූ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වූ දොන් පිලීප් ඈපා අප්පුහාමි වෙද මහතා ජ්‍යෝතිෂ ශාස්ත්‍රයටත්, දේශීය වෙදකමටත් සිදු කළ මෙහෙවර සුවිශේෂී වේ. එතුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් කොළඹට වැඩම කරවා විද්‍යාධාර නමින් සංගමයක් පිහිටුවා විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමට ද මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. කැලණි විහාරය වැඳ පුදා ගැනීමට එන සැදැහැවතුන් ගේ සහභාගිත්වයෙන් උපාසක සමාගම නමින් සංගමයක් පිහිට වූ ඈපා අප්පුහාමි වෙද මහතා බෞද්ධ ශාසනය රැක ගැනීම සඳහා ද අනුපමේය සේවයක් ඉටු කළේය.

1891 මාර්තු 10 වැනි දින වයස අවුරුදු 81ක් ආයු වලඳා අවසන් හුස්ම හෙළූ ඈපා පංචාංගයේ නිර්මාතෘ දොන් පිලිප් ඈපා අප්පුහාමිගේ මී මුනුපුරා වන ඉන්දික ඈපා සෙනෙවිරත්න ඇතුළු කර්තෘ මණ්ඩලයක් විසින් ඈපා පංචාංග ලිත වාර්ෂිකව සකස් කරනු ලබයි. එය දොන් පිලිප් ඈපා අප්පුහාමි මහතා ජීවමාන කරන සාධකයක් බඳුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.