මිහින්තලාවෙන් ඇරැඹිි ලොව පැරැණිම රෝහල් සේවය

ජුනි 2, 2023

පොසොන් පොහොය නිමිත්තෙනි

 

ක්‍රි.ව. නව වැනි සියවසේදී ඉදිකරන ලද මිහින්තලා රෝහල ලෝකයේ පැරැණිතම රෝහල බවට ඓතිහාසික තොරතුරුවලින් හෙළි වී තිබේ. දේවානම්පියතිස්ස රජ සමයේදී ක්‍රි.පූ. 247 - 207 මිහින්තලා කඳු මුදුනේ සිට මෙරටට බුදු දහම හඳුන්වාදීම නිසා අනුරාධපුරයේ සිට සැතපුම් අටක් දුරින් පිහිටි මිහින්තලාවට ද ලැබුණේ විශේෂ වැදගත් කමකි.

වංශකතා ප්‍රමුඛ ඓතිහාසික ලේඛනවලින්, ශිලා ලේඛනවලින් හා පුරාවස්තු නටබුන් වලින් ද ඉතිහාසගත තොරතුරුවලින්ද හෙළි වී ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ ලක් දෙරණට වැඩමවීමෙන් අනතුරුව ආරෝග්‍යශාලා දියුණුවට රජදරුවන්ගෙන් වූ සේවය බොහෝ බවයි.

රෝගීන්ට උපස්ථාන කිරීමේ පහසුකම්වලින් යුත් රෝගීන්ට සමූහ වශයෙන් නැවතී ප්‍රතිකාරගත හැකි රෝහල් සංකල්පය ක්‍රි.පූ. සිවුවැනි සියවස තරම් ඈත අතීතයේදී පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ආරම්භ කරන ලදී. ඪම මහින්ද රජු ක්‍රි.ව. නවසිය පනස් හයේ සහ නවසිය හැත්තෑ දෙකේදී ගිහියන් සඳහා අනුරාධපුරයේදී රෝහලක් ඉදිකර ඇත. චේතිය කන්දෙහි ඪඪ වැනි සේන රජු ක්‍රි.ව. අටසිය පනස් එකේදී රෝහලක් ඉදිකර ඇත. අනුරාධපුරයේ හා පොලොන්නරුවේ අගනුවරවල් බිහිවීම නිසා වෛද්‍ය ආයතන පිහිටුවීමෙන් නවෝදයක් ඇති විය. පණ්ඩුකාභය සහ පස්වන කාශ්‍යප රජු ක්‍රි.ව. 913 -923 අනුරාධපුර සෞඛ්‍ය ආයතන ඉදි කරන ලදී. පළමුවන උදය රජ ක්‍රි.ව. 702 - 797 කාලයේදී ද පුලස්ති නගරයෙහි රෝගීන් සඳහා විශාල රෝහලක් (ශාලාවක්) ඉදි කළේය. බුද්ධදාස රජු ක්‍රි.ව. 302 -409 කාලය තුළත් ධාතුසේන රජු ක්‍රි.ව. 400 -478 කාලයේදීත් දෙවැනි උපතිස්ස රජු ක්‍රි.ව. 522 -524) කාලයේදීත් සෞඛ්‍ය ආයතන ඉදිකරමින් රෝගීන්ට පහසුකම් සලසන ලදී.

පළමුවන උදය රජු විසින් කොරුන් සඳහාත් බුද්ධදාස සහ දෙවැනි උපතිස්ස යන රජවරුන් විසින් අන්ධයින් සඳහාත් රෝහල් ඉදිකරන ලදී. ප්‍රථම මාතෘ සායනය දෙවැනි උපතිස්ස රජු විසින් ඉදිකර ඇතැයි කියැවේ. සතර වැනි කාශ්‍යප රජු විසින් ක්‍රි.ව. 813 -913 අනුරාධපුරයෙහි සහ පොලොන්නරුවෙහි රෝහල් ඉදිකරන ලදී. මහා පරාක්‍රමබාහු රජුතුමා ආරෝග්‍යශාලා සේවය උපරිමයෙන්ම ඉටුකරන ලද රජ කෙනෙකි.

රෝගීන්ට නවාතැන් පහසුකම් මෙන්ම ඖෂධ ප්‍රතිකාර ආහාර හා අඳුම් පැලඳුම්ද ලබා දෙමින් රජු ජනතාවට කරනු ලැබූ මහඟු සේවාව ගැන චූලවංශයෙහි සඳහන් වේ. අගනුවරක් වශයෙන් දීර්ඝ කාලයක් පැවැති අනුරාධපුරයෙහි වෛද්‍ය ආයතන රාශියක්ම පැවැති බව මහාවංශයෙහි ද සඳහන් වේ. රෝහලක්, බෙහෙත් ශාලාවක් සහ වෛද්‍ය ශාලාවක් ද එහි පැවැති බවට ශිලා ලේඛනවල ද සටහන් වී තිබේ. මැදිරිගිරියේ මෙන්ම අනුරාධපුරයේ ද රෝහල් නඩත්තුව සඳහා ඉඩම් ද වෙන්කර දී ඇත. බොහෝ විට රජවරුන් ජනතාවගේ ශාරිරික හා මානසික සෞඛ්‍ය පිළිබඳව කටයුතු කළ ආකාරය පිළිබඳව ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය වේ.

ආරෝග්‍යශාලා පිහිටුවීම, වෛද්‍යවරුන්ට වැටුප් ගෙවීම, රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග හා ආහාරපානාදිය නොඅඩුව ලබාදීම රෝගීන් සඳහා රෝගවලට අවශ්‍ය චිකිත්සා මඟින් ප්‍රතිකාර ලබාදීම හා අවශ්‍ය ප්‍රතිකාරවලට වුවමනා කරන බෙහෙත් සූදානම්කර ගැනීමට අවශ්‍යවන ඖෂධ සපයා ගැනීමට ඔසුඋයන් පිහිටුවීම ප්‍රධාන කරුණු අතර විය. විශේෂයෙන් ආයුර්වේද වෙදකම පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා සිටි බුද්ධදාස රජතුමා ආරෝග්‍යශාලා ඉදිකොට රෝගීන්ට අවශ්‍ය ඖෂධ පවා ලබාදෙමින් තමා විසින්ම වෙදකම් කරන ලදී. බුද්ධදාස රජතුමා ප්‍රසිද්ධියට පත්ව සිටියේ වෙද රජකු ලෙසිනි. ඔහු වෛද්‍යකර්මය, ශල්‍යකර්මය සහ අනෙකුත් වෙදකම්ද දැන සිටි සර්පයින්ට පවා වෙදකම් කළ දක්ෂ වෛද්‍යවරයෙකි. පළමුවන මහා පරාක්‍රමබාහු රජතුමා මෙන්ම මහින්ද රජු සියලුම රෝහල්වලට ඖෂධ වර්ග හා ඇඳන් බෙදා දුන්හ. සයවැනි කාශ්‍යප රජතුමාද ආරෝග්‍යශාලා කරවා ඒවායේ නඩත්තුව සඳහා ගම්බිම් ප්‍රදානය කළ බව මහාවංශයේ සඳහන් වේ.

අනුරාධපුරයේ වෛද්‍යශාලා පිහිටුවා ඇති බව පස්වන කාශ්‍යප රජුගේ සෙල්ලිපියක ද සඳහන්ව ඇත. ඇතුළු නුවර ප්‍රධාන මඟුල්වීදියේ දකුණු දිග වාසල සමීපයේ රාජකීය වෛද්‍ය ශාලා පිහිටුවීමෙන් රෝග බිය පහ කිරීමට ඔහු කටයුතු කර ඇත. එමෙන්ම මේ රජු විශාල වශයෙන් සෞඛ්‍ය සේවාවේ නියැළීමෙන් විශාල වශයෙන් ජනතා සුබසෙතට කටයුතු කර ඇත. අපේ මහා මූලාශ්‍රය වන මහාවංශයේ සඳහන් වන පරිදි සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ආරෝග්‍යශාලා කරවූ බවට මුලින්ම සඳහන් වන්නේ පණ්ඩුකාභය රජ සමයයි. එවක නගර නිර්මාණය කොට මාතෘ නිවාස ආරෝග්‍ය ශාලා පිහිටුවා මහත් සේවාවක් ලබාදී ඇත. දුටුගැමුණු රජ සමයේ දියුණු වෛද්‍ය සේවාවක් තිබුණු බව මහාවංශය කියයි. අටළොස්තැනක වෙදුන් විසින් පවත්වා ගෙන ගිය ගිලන්හල් හා බෙහෙත් ගිලන්හල් දහ අටක් පවත්වා ගෙන ගිය බවත් සඳහන් වේ.

වෙදකම ඉතා දියුණු අන්දමට තිබුණු බවට සාක්ෂි ලැබෙන්නේ ක්‍රි.ව. පස්වැනි සියවසේ රජකළ බුද්ධදාස රජ සමයේදීය. බුද්ධදාස රජතුමා වෙදකමෙන් පුදුම දස්කම් දැක්වූ රජ කෙනකි. එම වෙද රජු දේශීය පශු වෛද්‍ය ක්‍රමයෙන් ඇතුන්, ගවයන් හා අශ්වයන් වැනි සතුන්ට ද වෙදකම් කළ බව පත පොතෙන් හා ජන ප්‍රවාදයේ කතාවලින් පැහැදිලි වේ.

 

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.