ඔබේ අංකය 1 නම්...

මැයි 19, 2023

 

ඔබට ඕනෑම උපන් දිනයකට අදාළව පෞද්ගලික අංකය සහ දෛව අංකය සොයා ගන්නා ආකාරය ගැන අවබෝධයක් ඇතයි සිතමි. එම නිසා පෞද්ගලික අංකය සහ අනිකුත් අංකයන් අපේ ජීවිතවල වැදගත් වන ස්ථානයන් විමසා බලමු. මෙලොව උපදින ඕනෑම කෙනෙකුට සමාජයෙන් වෙන්ව හඳුනා ගැනීමට නමක් තැබීම සිදුකරයි.

එම නම් තැබීම කෙනෙකුගේ ජීවින ගමන අතිසාර්ථක වන ලෙස සිදුවිය යුතු බැවින් අංක විද්‍යාව මෙහිදි උපයෝගි කර ගනී. තවද විවාහ ගැළපීම් ව්‍යාපාරවලදී හවුල්කරුවන් තෝරා ගැනීම,ව්‍යාපාරික නාමකරණය, සුදුසු ව්‍යාපාරයක් තෝරා ගැනීම,තමාට සාර්ථක වන දිනයන් සොයා ගැනීම මෙන්ම ජීවිතයේ සාර්ථකත්වයට බලපාන සියලු වැදගත් සිදුවීම් ගණනය කිරිම සඳහා ඔබගේ පෞද්ගලික අංකය සහ අනෙකුත් අංකයන් ඉතා විශිෂ්ට ලෙස යොදා ගැනීමට හැකියාව තිබේ. එම නිසා මුලින්ම අංක 1 සිට අංක 9 දක්වා පෞද්ගලික අංක හිමි අයගේ ගතිගුණ සුබ දවස් සහ සුබ වර්ණයන් හඳුනා ගමු.

ඔබ ඕනෑම මාසයක 1,10,19,28 යන දිනයන් හි උපත ලද අයෙක් නම් ඔබේ පෞද්ගලික අංකය අංක 1 ය. රවි ග්‍රහයා නිරුපණය කරයි. ඉතාමත් ආකර්ෂණීය පෞරුෂයක් දැකිය හැකි වේ. මොවුහු රූමත්ය,හොඳින් වැඩුණු පේශි පද්ධතියක් ඇත. දත් මැනවින් පිහිටා ඇත. ශරිරය සමමිතිකය. මොවුන් සෑමවිටම සමාජයේ මූලිකත්වය ගෙන කටයුතු කරන නිර්භීත එඩිතර අය වේ. ක්‍රීඩාවට දක්ෂය. ඕනෑම සභාවක ඕනෑම මාතෘකාවක් යටතේ කථා කිරිමට දක්ෂ පුද්ගලයන් වේ.

එසේම පෞද්ගලික අංක 1 හිමියෝ කුඩා කාලයේ සිටම ඉහළට යාමේ බලාපොරොත්තු ඇතිව ජීවන ගමන ආරම්භ කරයි. ළමා කාලයේදී පවා පරිපාලනමය ලක්ෂණ පහළ වේ. එම නිසා අධ්‍යාපනය ලබන අවධියේදි පන්ති නායකයන්, ශිෂ්‍ය නායකයන්, ක්‍රීඩා නායකයන් වශයෙන් කටයුතු කිරිමට බොහෝ විට අවස්ථාව ලැබේ. ස්වකීය උත්සාහයෙන් අධිෂ්ඨානශීලීව ඔවුහු නැගිටිති. තමාගේ අභිමතාර්ථ ඉටුකර ගැනීම උදෙසා කුමන ක්‍ෂේත්‍රයක වුවද අධිකාරි බලය ලබා ගනී. විවෘත හදවතක් ඇත්තෝය. තනි තීරණ ගැනීමට වඩාත්ම ප්‍රිය කරති. එසේම මොවුන් තමා දරන මතයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඔහුන් ගේ මතවල සහ ඒවා ඉදිරිපත් කරන විලාසයේ තද භාවයක් දැකිය හැකි ය. පෞද්ගලික අංක 1 හිමි අයගේ වැඩවලට වෙනත් පුද්ගලයන් ඇඟිලි ගැසීම් සිදු කරනවාට ඔවුන් කැමති නැත. තමාගේ අභිමතාර්ථ සාධනය උදෙසා අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කිරීම ඔවුන්ගේ ක්‍රමයයි. සියලු බාධක මැද තමාගේ අරමුණු ඔවුන් ජයග්‍රහණය කරනු ඇත. අනෙකුත් අයගේ කැපවීම තමා වෙනුවෙන් ලබා ගැනීමට පුදුමාකාර හැකියාවක් ඇත.

තවද මොවුන් නීතියට ගරු කරන නීතියක් වශයෙන් ම ඉවසිලිවන්ත වන අතර ජයග්‍රහණය වෙත පැමිණිමට දිර්ඝ කාලයක් බලා සිටි අය වේ. කථාවේ ඇති අවංක හා සෘජු ස්වභාවය නිසා බොහෝ සතුරන් ඇති කර ගනී. එම නිසා අදහස් ප්‍රකාශ කිරීමේදි පරිස්සම් විය යුතුය.

ඕනෑම තැනකදී නායකත්වය බලාපොරොත්තු වෙන අතර ඔවුන්ගේ පෞරුෂ ගුණාංග නිසා නිතරගයෙන් නායකත්වය සඳහා පත්කර ගැනේ. කෙනෙකු යටතේ වැඩ කිරිමට ඔහුන් ඇකමැතිය. මේ අයගෙන් උපරිම සේවයක් ලබා ගැනීමට නම් නායකත්වය දිය යුතුය. එවිට ඔහුගේ රාජකාරිය අකුරටම ඉටුකරනු ඇත. ගරු සම්මාන බලාපොරොත්තු වන අතර නිතැතින්ම ඇගයීමට ලක්වේ. තමාට අනිත් අයගේ ගෞරවය ලැබෙන ආකාරයට හැසිරෙති. පෞද්ගලික අංක 1 හිමි අය මිතුරන් වැඩිපුර ළං කර ගන්නේ නැත. සෑම විටම මිත්‍රත්වයක් තබා ගන්නේ තමා වෙනුවෙන් රැඳීමට කැමති තමාගෙන් යැපෙන අය සමඟිනි. මොවුන් ඉපදුණේ මාර්තු 21 සිට අප්‍රේල් 21 හෝ ජුලි 21 සහ අගෝස්තු 21 අතර නම් මේ තත්ත්වය වඩාත් ප්‍රබලව දැකිය හැකිය.

කිසිම දෙයක අශුභවාදි පැත්ත නොදකින නිසා වැරැදි තීරණ ගන්න අවස්ථා නැතිවාම නොවේ.එම නිසා වංචාකාරයන්ට හසුවීමට ඉඩ තිබේ. සමාජය කෙරෙහි අනවශ්‍ය විශ්වාසයක් තැබීම නිසා බොහෝ සිත් වේදනාවලට බඳුන්වීම දැකිය හැකිය. හොඳ සංවිධාන ශක්තියක් ඇති නමුත් වගකීම් ගනිමින් ඉදිරිපත් වීමේදි වුවමනාවට වඩා රාජකීය ස්වභාවයක් විද්‍යාමාන වීම වලක්වා ගත යුතුය. අනවශ්‍ය ලෙස ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වේ. එය දුර්වල කමකි. බොහෝ නිරෝගී නමුත් විවේකය මදිකම විවිධ රෝගවලට හේතු විය හැකිය.

ඔවුන්ගේ සෞඛ්‍යය අසනීපවලට ඔරොත්තු දීම සහ ඉතා ඉක්මනින් සුවය ලැබිම සාධක උඩ පදනම් වේ. මේ නිසා නිරෝගී ශරිරයක් බිහි වේ. කෙසේ වෙතත් හෘද රෝගවලට අතවනයි. තමා අකමැති පරිසරවල සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කරයි. තවද ආතරයිටීස් ප්‍රවණතා අධික ලෙස පවති. උණ රෝග වැලඳීම සිදුවිය හැකි අතර මෙවැනි අවස්ථාවල සුව වීම ප්‍රමාද වේ.මෙහිදි නැවුම් වාතය හිරු එළිය ඕනෑම බෙහෙතකට වඩා ප්‍රතිඵල දායකය. දික්ගැස්සුන කරදර නිසා සිතේ කණගාටුව ඇතිවේ.

පිරිස් පාලනයට ඉතා කැමතිය. එම නිසා පරිපාලනමය රැකියාවක බොහෝ විට නිරත වෙයි.රජයේ රැකියාවකට වැඩි කැමත්තක් දක්වයි. විශේෂයෙන් දේශපාලකයින් ,ගුරුවරුන්, විධායක ශ්‍රේණියේ රැකියාවල අංක 1 හිමියන් දැකිය හැකිය. ව්‍යාපාර කරන්නේ නම් විශාල පරිමාණයේ ව්‍යාපාර වන අතර එම ව්‍යාපාර සාමාන්‍ය ජනතාවගේ ගෞරවයට පාත්‍ර වේ. රත්‍රන්, පතල්, තඹ, පිළිබඳ කටයුතු දියමන්ති ආනයන, වෙළෙඳාම වැනි අංශවලින් මුදල් ඉපයීමේ හැකියාව ඇත.

විවාහය සඳහා සහකරුවා හෝ සහකාරිය පෞද්ගලික අංක 2 හිමි අයෙක් නම් ඉතාම සුදුසුය. සෑම විටම අනෙකාව පාලනය කිරීමට උත්සාහ කිරීමේ ස්වභාවය නිසා අනෙත් පාර්ශ්වය යම් අපහසුතාවයකට පත් විය හැකිය. එය තේරුම් ගෙන කටයුතු කිරිම විවාහය සාර්ථකත්වයට හේතුවන බැවින් නම්‍යශීලි සෞම්‍ය ගති ස්වභාවයක් ඇති අංක 2 යහපත්ය. නමුත් පෞද්ගලික අංක 1,2,4,7,5 හිමි සහකරුවකු හෝ සහකාරියක වුවද විවාහයට යෝජනා කළ හැකිය.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දින වන්නේ මාසයේ අංක 1 ට යෙදෙන 01,10,19,28 දිනයන්ය. මේ දිනයන් ඕනෑම මාසයක පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සඳහා ජුලි 21 සිට අගොස්තු 21 හෝ මාර්තු 21 සිට අප්‍රියෙල් 21 අතර කාලය තෝරාගන්න. මිතුරන් ලෙස පෞද්ගලික අංක 1 ට අමතරව පෞද්ගලික අංක 2,4,7,5 පුද්ගලයින් ද සුදුසු වේ. නමුත් අනෙකුත් පෞද්ගලික අංක හිමි අයද සතුරන් නොවේ. ජිවිතයේ සාර්ථකත්වය සඳහා රන්වන්, කහ,තඹ,දුඹුරු වර්ණයන් භාවිත කරන්න. අංක 1ට වඩාත්ම සමීප හෙවත් විකල්ප අංකය අංක 4වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ ජයවර්දන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.