උපන් දිනයෙන් හෙළිවන විස්මිත තොරතුරු

මැයි 12, 2023

මෙලොව උපදින ඕනෑම අයෙකුට නිසැකවම හිමිවන එක් දෙයක් වෙයි. ඒ නම සහ උපන් දිනයයි. නමුත් එය මිනිසුන් වන අපට පමණක් පොදු කාරණයක් නොවන බව ඔබට තර්ක කලහැකිය. ඔබ නිවැරැදිය. මිනිස් උපතකදී පමණක් නොව යම් භාණ්ඩයක් නිපදවෙන පරිදිද ව්‍යාපාරයක් ඇරැඹෙන පරිදිද නමක් සහ උපන් දිනයක් ලැබේ. ඔබට මට ලැබෙන නමෙහි සහ උපන් දිනයේ ඇත්තේ කුමක්ද?. අක්ෂර සහ අංකයන්ය. එහෙයින් යම් පුද්ගලයකුට උපතේදි ලැබෙන මෙම අක්ෂර හා අංක ඔහුගේ ජීවිතයට බොහෝ වැදගත් වන බව ඔබ මොහොතකට හෝ සිතුවාද?.

අංක හා අක්ෂර අපගේ උපතේ සිට මරණය දක්වාම මූලික වන හෙයින් එය ගැන නොසලකා කටයුතු කිරිම අප ජීවිතයට කර ගන්නා අවැඩකි. අපට හිමි අංක අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් කර ගත හැකිය. අපට හිමි අක්ෂර සහ අංක මගින් අපට අපේ ජීවිත පිළිබඳව අනාගතය පිළිබඳව කරුණු හැදැරිය හැකිය. එහිදි අපේ කළ යුතු නොකළ යුතු පුද්ගලයන් අප මිළදීගත යුතු නිවාස වාහන සේම ව්‍යාපාර ආරම්භ කළ යුතු අන්දම පිළිබදව බොහෝ පූර්ව දැනුම් දීමක් එමගින් ලබාගත හැකිවේ.

අංක හා අක්ෂර මඟින් මිනිස් ජීවිත අධ්‍යයනය කිරීම ලොව පිළිගත් විද්‍යාවකි. එය හඳුන්වන්නේ අංක විද්‍යාව යනුවෙනි. මෙහිදි පළමුවෙන්ම අංක යනු කුමක්දැයි විග්‍රහ කර ගත යුතු වේ. සාමාන්‍ය අංකවලට නිශ්චිත බලයක් නැත. අංක 2 හෝ 3 වශයෙන් සඳහන් වන විට එහි ඇත්තේ වීජීය අගයක් පමණී. එහෙත් යම් අයෙකු උපන් දිනයක් මෙයට සම්බන්ධ වීමෙන් කාලය සහ ග්‍රහචාරය මිශ්‍ර වේ. එවිට එම අංකය සඳහා නිෂ්චිත බලයක් ගොඩනැඟේ. උදාහරණයක් ලෙස 5 වැනිදා දවසක උත්පත්තිය ලැබීයැයි පැවසීමේදි අංක 5 ට කාලය සහ ග්‍රහ චාරය මිශ්‍ර වේ. අංක 5 නිරූපණය කරන්නේ එවිට බුධ ග්‍රහයාය. මේ ආකාරයට අංක 1 සිට 9 දක්වා මුලික අංකයන්ට වෙන් වෙන් වශයෙන් ග්‍රහයන් නිරූපණය කරයි. ඒ අනුව අංක 1 රවි ග්‍රහයාද අංක 2 සදු ග්‍රහයාද අංක 3 ගුරු ග්‍රහයාද අංක 4 යුරේනස් ද අංක 5 බුධ ග්‍රහයාද අංක 6 සිකුරු ග්‍රහයාද අංක 7 නැප්චූන් ද අංක 8 ශනි ග්‍රහයාද අංක 9 කුජ ග්‍රහයාද නිරූපණය කරයි.

දැන් අපි බලමු ඔබගේ උපන් දිනය අනුව පෞද්ගලික අංකය සහ දෛව අංකය සොයා ගන්නේ කෙසේද කියා. මේ සඳහා කල්පිත උපන් දිනයක් ගනිමු.

උපන් දිනය 1975.11.15 මේ පුද්ගලයා උපන් දවස වන්නේ 15 වන දිනය. අංක 15 සංයුක්ත අංකයක් බැවින් අංක 1 සහ 5 එකතු කිරීමෙන් මූල අංකයකට සකසාගත යුතුය. එවිට අංක 6 ලැබේ. එවිට මේ පුද්ගලයාගේ පුද්ගලික අංකය අංක 6 වේ. අංක 6 වීම නිසා ඊට අදාළ ග්‍රහයා වන්නේ සිකුරුය. දැන් අපි බලමු මේ උපන්දිනයට අදාළව මේ පුද්ගලයාගේ දෛව අංකය සොයා ගන්නේ කෙසේද කියා.

දෛව අංකය යනු උපන් දිනයෙහි ලබාගන්නා අංකය වේ. (උපන් දිනය එකතු කිරීමෙන්) 1+9+7+5+1+1+1+5 ඒ අනුව මේ පුද්ගලයාගේ දෛව අංකය වන්නේ අංක 3 ය. එයට අදාළ ග්‍රහයා ගුරුය.

උදාහරණයට අනුව මේ පුද්ගලයාගේ මාසයේ බලය සොයමු. මාසයේ බලය ගණනය කරන්නේ රවි ගමන් කරන රාශිය අනුවය නොවැම්බර් 15 වන දින රවි ගමන් කරන්නේ වෘශ්චික රාශියේය. වෘශ්චික රාශිය අයිති කුජ ග්‍රහයාටය.එනිසා කුජ ග්‍රහයාට අයිති අංක 9 මෙම පුද්ගලයාගේ මාසයේ අංකය වේ. මාසයේ බලය අයිති වන්නේ කුජටය.

දැන් ඔබේ උපන්දිනයට අදාළව පෞද්ගලික අංකය දෛව්‍ය අංකය සහ මාසයේ බලය ඔබටම සොයා ගත හැකියි.

ඒ අනුව ඔබේ පෞද්ගලික අංකයට අදාළ සතුරු මිතුරු අංකයන් සහ විකල්ප අංකයන් ද සහ මූල අංක මනුෂ්‍යයා කෙරෙහි ඇති කරන බලපෑම් කෙසේද යන්න මීළඟ ලිපියෙන් සාකච්ජා කරමු.

 

සැලසුම් ශිල්පී, වාස්තු විද්‍යා සහ මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරීක්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.