අවුරුදු නැකැත් පිටරටවලට හදන්නේ මෙහෙමයි

මැයි 12, 2023

වැඩිදුර අධ්‍යාපන කටයුතු වෘත්තිය කටයුතු හේතුවෙන් ශී‍්‍ර ලාංකික බහුතරයක් මෙම භූමියෙන් ඈත් වුවද ඔවුන් තුළ තවමත් සිංහල අපේ කම ගැබ්ව තිබේ. එනිසා ඔවුහු නැකැත් ආදියට තාමත් ගරු කරති. විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් තුළ ගැබ් වූ සිංහල බවේ උච්චස්ථානයට පත් වන අවස්ථාවකට නිදහසක් ලෙස සිංහල අලුත් අවුරුද්ද දැක්විය හැකිය.

ලෝකයේ කොහේ සිටිය ද විදේශගත සිංහලයෝ තමන්ට හැකි අයුරින් කැවිලි පෙවිලි සූදානම් කර, සුබ නැකතට අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කිරීමට උත්සාහ කරති. බහුතරයක් දෙනා මෙහිදී අනුගමනය කරන්නේ ශී‍්‍ර‍ ලාංකික අපගේ නැකත් වේලාවන්ම ය. එනම් ඔවුන් අලුත් අවුරුද්ද සමරන්නේ ශී‍්‍ර ලංකාවේ අලුත් අවුරුද්ද සමරන වේලාවන්ට ම ය.

එනම් ලංකාවේ දහවල් 12.00 ට ලිප ගිනි මෙලවීම නැත්තම් ආහාර පිසිම සිදුකරයි නම් අවුරුදු දිනවල අපට වඩා පැය තුනහමාරක් පසුපසින් වෙලාව ගත වන ඉතාලියේ ජීවත්වන සිංහලයෝ දහවල් 12.00 න් පැය තුනහමාරක් අඩු කොට අඩුකොට උදෑසන 8:30 ට ලිප ගිනි මෙලවීම සිදු කරති. ඡ්‍යොතිෂය නොදන්නා සාමාන්‍ය ජනතාවට එය නිවැරැදි සේ පෙනුණද ඡ්‍යොතිෂ්‍යානුකූලව එසේ වේලාව ගැනීම නිවැරැදි නොවේ.

එසේනම් විදේශ රටකට අලුත් අවුරුදු නැකත් අනුගමනය කළ යුත්තේ කෙසේදැයි අප විමසා බලමු.

මුලින්ම අපි පුණ්‍ය කාලය හෙවත් නොනගත කාලය සලකා බලමු.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමට ගතවන පැය 12 යි මිනිත්තු 48 ක කාලය පුණ්‍ය කාලය ලෙස හැඳීන්වේ. එම කාලය සමාන කොටස් දෙකකට බෙදනුයේ පූර්ව පුණ්‍ය කාලය සහ අපර පුණ්‍ය කාලය ලෙසයි, එනම් එක් කොටසක් පැය 6 මිනිත්තු 24 බැගින් සමාන කොටස් 02කට බෙදේ.

මෙම පුණ්‍ය කාලය ආරම්භ වන මොහොත යනූ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය ස්පර්ශ වන මොහොතයි. එවිට නොනගතය හෙවත් පුණ්‍ය කාලය ආරම්භය වේ. එතැන් සිට පැය 6යි මිනිත්තු 24ක් අවසානයේ සූර්යයාගෙන් අර්ධයක්ම මේෂ රාශියට පැමිණීම සිදුවේ. එම මොහොත අප අලුත් අවුරුදු උදාව ලෙස සලකමු. අලුත් අවුරුද්ද උදාවන මොහොතේ සූර්යයාගෙන් හරි අඩක් මීන රාශියේ ද ඉතිරි අඩ මේෂ රාශියේ ද පවතී. එතැන් පටන් පුණ්‍ය කාලයේ අපර කොටස ආරම්භ වේ. එයද පැය 6 විනාඩි 24ක කාලයක් පවතී. එම කාලය තුළ සූර්යයාගේ ඉතිරි අර්ධය ද මේෂ රාශියට පැමිණීම සිදුවේ. මේ අපර පුණ්‍ය කාලයේදී අප ලිප ගිනි මෙලවීම හෙවත් ආහාර පිසීමේ නැකත හා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීමද හා ආහාර අනුභව කිරීමේ නැකත යොදා ගනී. අලුත් අවුරුදු උදාව මධ්‍යම රාති‍්‍රයේ යෙදුණු අවස්ථාවක් හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම මෙම පැය 6 මිනිත්තු 24 ඇතුළත අලුත් අවුරුදු නැකත් යොදා ගැනීම ඡ්‍යොතිෂ ශාස්ත්‍ර නියමයයි.

නියමය අනුව අලුත් අවුරුදු උදාවේ සිට පැය 6 මිනිත්තු 24ක් ඇතුළත අවුරුදු චාරිත්‍රවලට අදාළ සුබ නැකත් යොදා ගැනීම සිදුකරයි.

ශ්‍රී ලංකාව තුළ අලුත් අවුරුදු නැකත් ලබා දෙනුයේ රාජ්‍ය නැකැත් කමිටුව විසිනි, ඒ කමිටුව විසින් පුණ්‍ය කාලයේ අපර කොටස තුළ පවතින පැය 6 මිනිත්තු 24 තුළ ලිප ගිනි මෙලවීමට හා වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයට සුදුසුම වේලාවන් දෙක නැකත් වශයෙන් ලබාදෙයි.

අපි දැන් යන් අපේ මාතෘකාවට ඒ කියන්නේ විදේශ රටකදී නැකත් ගන්න වන්නේ කොහොමද කියා සොයා බැලීමටය.

සුර්යයා මේෂ රාශිය ස්පර්ශ වෙන අවස්ථාව, හෙවත් පුණ්‍ය කාලය ආරම්භ වන වෙලාවද, සූර්යයා මේෂ රාශියේ භාග්‍යයක් ගමන් කරන අවස්ථාව, හෙවත් අලුත් අවුරුදු උදාවන වෙලාවද සූර්යයා මේෂ රාශිය සම්පූර්ණ කරන අවස්ථාව, හෙවත් පුණ්‍ය කාලය අවසන් වන වේලාව කියන මේ අවස්ථා තුන. ගත්තොත් මුළු ලෝකයටම එය එකම අවස්ථාවක සිද්ධ වෙයි. එනම් අප කලින් උදාහරණෙටම ගියොත් අපිට අලුත් අවුරුද්ද දවල් 12.00ට උදා වෙනවා නම්, අපිට වඩා වෙලාව පැය තුන හමාරක් පසු පසින් ඉන්නා ඉතාලියේ කෙනෙකුටත් එහේ වෙලාවෙන් උදේ 8.30ට අපිට අලුත් අවුරුදු උදාවෙන මොහොතෙම අලුත් අවුරුද්ද උදා වෙයි. ඒවාගේම අපට වඩා වෙලාව පැය තුන හමාරක් ඉදිරියෙන් සිටින ජපානයේ කෙනෙකුටත් අපට අලුත් අවුරුද්ද උදා වන මොහොත ඒ කියන්නේ එරට වෙලාවෙන් දවල් 3.30ට අලුත් අවුරුද්ද උදා වෙයි.

අලුත් අවුරුද්ද උදා වෙන වේලාවත්, පුණ්‍ය කාලය ලබන වේලාවත්, පුණ්‍ය කාලය අවසන් වන වේලාවත් ලංකාවේ සහ තමා ජීවත්වන රටේ එකම මොහොතේ සිදුවන නිසා, විදෙස් රටක ජීවත්වන සිංහල ජනතාව ශී‍්‍ර ලංකාව තුළ එම නැකත් යෙදී ඇති සුබ මොහොතවලට සමගාමීව සිදු කිරිමට පෙළඹී තිබේ. නමුත් කලින් ඡේදයේ ඔබ දැනුවත් වූ පරිදි ළිපගිනි මෙලවීමේ නැකත සහ වැඩ ඇල්ලීමේ නැකත සඳහා අලුත් අවුරුදු උදාවෙ සිට පැය 6යි විනාඩි 24ක් ඇතුළත සුබම වේලාව ගත යුත්තේ ඒ ඒ රටවල අක්ෂාංශ හා දේශාංශවලට සාපේක්ශවයි.

ලෝකයේ සෑම ස්ථානයකම එකම මොහොතේ උදාවන ලග්නය සහ ග්‍රහ පිහිටීම් එකක් නොවන බව යම් වැටහීමක් ඔබට ඇතැයි සිතමි. එසේ අදහසක් නොමැති අයෙකුට පවසනවා නම් මේ වසරේ අලුත් අවුරුදු උදාව සිදු වූ දහවල් 2. 59 ට ලංකාවට උදාවී තිබුණේ සිංහ ලග්නයයි. ඒ මොහොතේම ජපානයේ වෙලාව වූ සවස 6.29 ට ජපානයට උදාවී තිබුණේ තුලා ලග්නයයි. එම මොහොතේම ඉතාලියේ වෙලාව වූ දහවල් 11.29ට ඉතාලියට උදාවී තිබුණේ මිථුන ලග්නයයි.

ඒ අනුව ලංකාවට ගැළපෙන පරිදි ඉතාම සුබ වෙලාවක බලවත් ග්‍රහ පිහිටිමක් සහිත අවස්ථාවක ලිප ගිනි මෙලවීම හා වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ට සුබ නැකත් ලබාදී තිබුණද එම මොහොතේ වෙනත් රටකට එම බලවත් ග්‍රහ පිහිටිම නොපිහිටයි. එනම් ලංකාව තුළ යොදාගන්නා නැකත් වේලාවන්ම වෙන රටකදී අනුගමනය කිරිම ඵලදායි නොවේ.

තව දුරටත් පැහැදිලි කරනවා නම් මේ වසරේ ලංකාවේ ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ සවස 3.29 ය. එයට සමගාමීව එංගලන්තයේ වෙලාව 10.59 වේ. සිකුරාදා දිනවල උදේ 6:00 ට ඉර උදා වන්නේ නම් රාහු කාලය යෙදෙනුයේ 10:30 සිට දහවල් 12.00 දක්වා ය. එසේ නම් පසුගිය අලුත් අවුරුදු දින ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් 3.29 ලංකාවට සුබ වේලාවක් වුවද, එයට සමගාමී වෙලාව වන එංගලන්තයේ වේලාව වූ උදෑසන 10.59 රාහු කාලය තුළ පවතී.

ඒ අනුව විදෙස්ගත ශී‍්‍ර ලංකිකයන් හට ලංකාවේ අලුත් අවුරුදු උදාවන මොහොතම එම රටට අලුත් අවුරුදු උදාවන මොහොත ලෙස සැලකිය හැකි වුවද ළිප ගිනි මෙලවීම හා වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සදහා ලංකාව තුළ අදාළ කරගන්නා වූ නැකත් එනයින්ම විදෙස් රටකදී අනුගමනය කළ නොහැකි බව මෙහිදී වැටහෙනු ඇත. එසේ නම් එම සුබ නැකත් විදේශ රටකට අදාළව සාදාගන්නේ කෙසේදැයි දැන් බලමු.

ඒ සඳහා අප කළ යුත්තේ ඒ රටට අලුත් අවුරුදු උදාවන මොහොතේ සිට පුණ්‍ය කාලය අවසන් වන මොහොත දක්වා වූ පැය 6යි මිනිත්තු 24 ක කාල පරතරය තුළ එම නැකත්වලට ලබාදිය හැකි සුබම වේලාවන් දෙක ලබාදීමයි.

එසේම ලංකාව භූමි ප්‍රමාණය කුඩා රටක් වන බැවින් මුළු ලංකාවටම එකම නැකතක් අනුගමනය කල හැකි වුවද, විශාල භූමි ප්‍රදේශයක පවතින රටවල්, රට තුළ වේලා කලාපයන් කිහිපයක් පවතින රටවල්වල, හා උතුරු අර්ධගෝලයේ ට ආසන්න රටවල්වල දී මේ නැකත් තනි රටකට ගැනීම තරමක් අසීරු වේ.

එවැනි අවස්ථාවලදී එම මුළු රටටම තනි නැකත් සාදනවා වෙනුවට, ආසන්න ප්‍රධාන නගර

කිපයකට නැකත් වෙන වෙනම සෑදීම යෝග්‍ය වේ.

එමෙන්ම ලංකාවට අලුත් අවුරුද උදා වන දිනට පෙරදින හෝ පසු දින විදේශ රටකට අලුත් අවුරුද්ද උදා වන්නේ නම් , එම වසරේදී ලංකාවට සුබ වර්ණය, සුභ ආහාර එම රටට සුබ වර්ණය හා සුබ ආහාර වන්නේ නැත, තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ශී‍්‍ර ලංකාවට බදාදා දිනක අලුත් අවුරුද්ද උදා වන්නේ නම් ශුභ වර්ණය වන්නේ කොළ පැහැයයි. නමුත් එම මොහොතේම ඇමරිකා එක්සත් ජනපදය හෝ කැනඩාව වැනි රටකට අලුත් අවුරුද උදා වන්නේ අඟහරුවාදා දිනයේදී නම් එම රටවලට සුබ වර්ණය වන්නේ රතු වර්ණයයි.

එසේ නම් දුර ඈත රටක අපේම සිංහල සහෝදර සහෝදරියන් වෙනුවෙන් නිවරදිව අලුත් අවුරුදු නැකත් සාදන්නේ කෙසේදැයි ඔබට වැටහීමක් ලැබුණ යැයි සිතමි. එනිසා විදේශ රටවල වෙසෙන අපේම සහෝදර සහෝදරියන් ඉදිරියේ දී තමන් සිටින රට අනුව සුබ කටයුතු සඳහා සුබ නැකැත් යොදා ගෙන කටයුතු සාර්ථක කරගනු ඇතැයි විශ්වාස කරමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.