සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

අප්‍රේල් 14, 2023

අවුරුද්දේ මාර්තු මාසය අවසාන වීමත් සමඟම කොවුලාගේ කටහඬ ක්‍රමයෙන් එළියට ඒමත් ගස්වැල් දලු ලා පිබිදීමත්, වෙසක් මල් ගස්වල දම්පාට මල් පොහොට්ටු ඒමත් මේ කාලයට දකින්නට හැකිවනවා. සමහර අවුරුදුවලට දහවලට මල් පිපීමත් හා රාත්‍රියට මල් පිපීමත් දකින්නට ලැබෙනවා.

 

මේ ආකාරයටම සමහර වසරවල රටේ ජනයා සතුටින් ජීවත් වීමත් සමහර අවුරුදුවල සතුට නැති රටේ ජල ගැලීම්, නාය යාම්, කෘෂිකර්මය පිරිහීමත් වැනි දෑ සිදුවීමත් දක්නට ලැබෙන දසුන් වේ. මේ විපර්යාස කෙසේ සිදුවේද? පිළිතුර ඡ්‍යෝතිෂය තුළින්මයි කිවහොත් ඔබ පුදුම වේවි.

 

ග්‍රහ යුද්ධ

මෙවැනි සියලුම වෙනස් වීම් ග්‍රහ කිරණවල විපර්යාසයි. මේවා ග්‍රහ යුද්ධ වශයෙන් ඡ්‍යෝතිෂයේ හඟවනවා. මේවා දීර්ඝ ලෙස අවබෝධ කර ගැනීමට නව සෙවීම් පරීක්ෂණ කළ යුතුම වනවා. මේ ගැන කියැවෙන පුංචි සටහනක් ද ඇතුළත් කරමු. සෘෂිවරු කියන්නේ වර්තමාන විද්‍යාඥයෝ, ඔවුන්ගේ කාර්යය නව දේවල් සොයා ගැනීමයි. අයිසෙක් නිවුටන් ද එහෙම කෙනෙක්. අඹ ගෙඩිය පොළොවට වැටුණ සැණින් ඔහු ඒක වැටුණේ කොහොමද කියලා පරීක්ෂණ කරල ගුරුත්වාකර්ෂණය සොයා ගත්තා. ඒකයි යුතුකම විය යුත්තේ. දවසක් දා රුශි කියන සෘෂිවරයා බිම වැතිරී අහස දිහා බලාගෙන හිටියා. ඔතනින් ගියා, පුරුශි කියන සෘෂිවරයා. මේක දැකලා එයා ඇහැව්වා ඇයි මේ විදියට ඉන්නෙ කියලා. එතකොට රුශී කිව්වා මම තව විනාඩි 13 කින් මැරෙනව කියලා. එතකොට පුරුශි කිව්වා. නෑ නෑ ඔබ මැරෙන්නෙ අද නොවේ හෙට සූර්යය උදාවෙන් විනාඩි 13 කට පසුවයි කියලා. ඒත් නැගිටින්නෙ නැතුව මේ රුශී ඉන්න එක බලලා. ඇයි තාමත් මෙහෙම කල්පනා කරන්නෙ කියා ඇහැව්වා. එතකොට රුශි කියනවා. දැන් මම කල්පනා කරන්නෙ ඔබ ඒ විදියට කිව්වේ කොහොමද? කියලා කිව්වා.

 

පිංගල පක්ෂියා රජ වීම

මේ අවුරුද්දේ බක් මාසේ අද සිකුරාදා බක් අවර පක්ෂයේ 9 වන තිථියෙන් සිද්ධි යෝගයෙන් උත්‍රසල නැකතින් පිංගල පක්ෂියා රජ වීමත් සමඟම අර්ක දේවතාධිපති ශෝභන සංවත්සරය 2023 ආරම්භ වනවා. ග්‍රහ පැවැත්ම හොඳයි තිථිපංච පක්ෂි ක්‍රමය අනුව චන්ද්‍රයා අවර පක්ෂයේ බව දත යුතු කරුණක් වනවා. පිංගල පක්ෂියා රජ වීමත් සමඟම 2023 පොදු වැඩ කෙරෙන්නෙ රාත්‍රී සමයමටයි. එනම් හොර රහසේ බව හැඟීමයි. වැඩි වශයෙන් මෙම ඡ්‍යොතිෂ කරුණු පවතින ඡ්‍යෝතිෂ කරුණු කාරණා අනුවම වැඩකර සතුට දියුණුව ළඟා කරගත යුතුම ය. කුමන දේ කවර අයුරින් පැවසුවත් ග්‍රහ චාරයට අනුව ක්‍රියා කරනවා මිස ග්‍රහචාරය වෙනස් කිරීමට බැරි තරම් ය. සෑම වසරකම මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන රවි ඉතා සැර බවත් කවුරුත් දන්නා කරුණකි. රටේ පියා වන රවි සැර වන විට, එම රටේ සතුට සාමය තාවකාලිකව හෝ කැඩෙනවා. හොර රහසේ එන ගිවිසුම් නිසා බොහෝවිට මෙය සිදුවනවා.

ජ්‍යෝතිෂය කියන්නේ පිළිගත හැකි කරුණු කාරණා සාධක අනුව ප්‍රකාශ කිරීමයි. මෙය දේවාලවල වගේ පරල වෙලා කරුණු කීමක් නොවේ. විශේෂයෙන් ඡ්‍යොතිෂය බුද්ධිමත් අයට පමණයි.

 

ධනය ලැබීම

නමුත් ලංකාව නැමැති දරුවාගේ උපන් ජන්ම පත්‍රය අනුව හා ඒ ග්‍රහචාරය අනුව ධනස්ථානයේ මුදල් ලැබෙන්නේ ලංකාව ඇතුළත ඇති කර්මාන්ත හා ව්‍යාපෘතිවලින් නොවේ. ලංකා ධරණීතලයෙන් පිටින් එන මුදල් ලැබීමෙනි.

තුන් වැන්න රවි බුධ යෝගය ප්‍රතිඵල හතුරු රාහු සමඟයි. සෙනසුරා භාවාධිපතියා වුණ නමුත් හතුරුකම් කරන්නෙ නැහැ. බොහෝ අයගේ මතයක් වනුයේ සෙනසුරු ලග්නෙට අෂ්ටමයට චන්ද්‍රයා පසුකරන විට ඒරාෂ්ටක කරන බවයි. එය එතරම් සත්‍ය මතයක් නොවන බව මගේ අදහසයි. සෙනසුරා හතුරු වී හෝ නීච වී හෝ පතිත වුණා නම් හෙනහුරු ගති ඇති වේවි.

 

ආහාර පිසීම

අවුරුද්දේ ආහාර අනුභවය තිබෙන්නෙ අපර භාග 05.05 යාමයේ මයුර පක්ෂියා ගමනේ යන වේලාවටයි. එය නරක නැහැ. ආඩම්බරයෙන් ඉන්න නම් මහන්සි වී වැඩ කරන්න සිදු වේවි. 2023 අවුරුද්ද ලබලා කාලා බීලා සතුටු වෙලා දැන් හිසතෙල් ගාන වේලාව ඇවිත්. එනම් 2023 අප්‍රේල් මස 16 වන සඳු දින පූර්ව භාග 09.41ට දකුණු දිශාව බලා සියාවස නැකතින් 11 වන තිථිය ඇති සුබ්‍ර යෝගයෙන් හිසට ඉඹුල් කොළද පයට නුග කොළද ගෙන පිංගල පක්ෂියා භෝජන ගන්නා වේලාවයි. මේ වසර පිංගල පක්ෂියාට වැඩි සමඟිතාවයක් අනුව වැඩ කරන බව නොරහසකි. පිංගලයා දහවලට විරුද්ධව ක්‍රියා කරන බව කවුරුත් දනී. රටේ ක්‍රියාවලියත් මේ අයුරින්ම කෙරේවි.

 

ඉඹුල්

මෙවර තෙල් ගාන වේලාවට හිසට අරගෙන ඇත්තෙ ඉඹුල් කොළ, ඉඹුල් කිව්වේ රවි දෙවිඳුන්ගේ විමානයට අයත් කොළ. නුග අයිති වන්නේ සෙනසුරුට, මෙවරත් එසේනම් ඉඹුල් කොළ රවි සිහිකර හිසට ඒවි. එනම් රටේ බලය ඉතාමත් දක්ෂ ලෙස පවතිනවා. සෙනසුරුට අයත් නුග පයට තැබුවා සේ ඔය වැඩ වර්ජන කරන අයට මේ විස්තර ප්‍රයෝජනවත් වේවි. නියම ඡ්‍යෝතිර්වේදියට පාට පක්ෂ නැහැ. එකම පක්ෂය පාඨකයා විතරයි.

 

යහපත අයහපත

සමස්තයක් වශයෙන් ගත්තාම 2023 යහපත් අයහපත් තත්ත්වය ඔහොමයි. අක්ෂර සංකේත අනුව බැලුවොත් 2023 හි වාසනාවන්ත අක්ෂරය 07. මේ අක්ෂරය ලකී හතද, හතේ හතද යන්න ඔබ තීරණය කර ගන්න. බොහෝ අය ඡ්‍යෝතිෂ කරුණු ගැන දන්නෙ නැහැ. කෝණ මාසය, රාහු කාලය, මරු සිටින දිශාව යන දේවල් නමුත් ඒවා පාවිච්චි කරනවා. හේතු දන්නෙ නැහැ. අප්‍රේල් මාසය කෝණ මාසයක් වන්නේ මේ මාසේ වැඩිපුරම පොළොවට කිට්ටුවෙන් 90% ක් සරිලන අයුරින් සූර්යයා පතිත වනවා. එතකොට තද ගී‍්‍රෂ්මය පවතිනවා. කිසිම වැඩක් කරන්න අමාරුයි. අප්‍රේල් මාසය වගේ නොවුණත් වසරකට තව මාස 03ක් කෝණ මාස වනවා. මේ ග්‍රහචාර කොහොම තිබුණත් 2023 වසර තුළ දියුණු වන්න නම් උත්සාහය පෙරදැරි කරගෙන වැඩ කරන්නට ඕනෑ. බෝසතාණන් වහන්සේ බුදු බව පතාගෙන එන කාලයේ පස්වග මහණුන් උන්වහන්සේ හැරදා ගිය බව දන්නවනේ. නමුත් උත්සාහය අත් නොහැරපු නිසා බුදු වුණා. අපිත් උත්සාහය අතනොහැර වාසනාව උදාකර ගනිමු.

 

පාරම්පරික ගුප්ත විද්‍යා ඡ්‍යෝතිෂවේදී

මීපේගණිතගේ විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.