අලුත් අවුරුද්දට විශේෂ සෙත් කවියක් බෝධි පූජාවක්

අප්‍රේල් 14, 2023

උදා වන්නා වූ 2023 අලුත් අවුරුද්දේ ඔබේ හා ඔබ පවුලේ සියලු ග්‍රහ අපල දුරුවීමට මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාව මෙන්න.

 

අද 2023 සිංහල, දෙමළ අලුත් අවුරුද්දයි. අද දින මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන කාලය පුරාවට සෙනසුරු, අඟහරු ඇතුළු සියලු නව ග්‍රහ අපල සමනය කර ගත හැකි මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාවකි.

 

මෙම ග්‍රහ ශාන්ති කර්මය ඔබට ඉතාම සරලව නිවසේදී හෝ ආගමික ස්ථානය තුළ පවුලේ සැමගේ සහභාගිත්වයෙන් ඉටු කළ හැකිය. විශේෂයෙන් මෙය තම නිවසේ එදිනෙදා තෙරුවන් නැමදීමෙන් පසුව කළ හැකි වීම මෙම පූජාවේ ඇති විශේෂත්වයකි.

අපගේ ජීවිත කාලය තුළ මෙවැනි අවුරුදු රාශියක අත්දැකීම් ලබා ඇත්තෙමු. ඡ්‍යෝතිෂානුකූලව සූර්යයා හෙවත් රවි මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල, දෙමළ නව අවුරුදු උදාව ලෙස අප සරලව හඳුන්වනවා. මෙලොව ජීවත්වන මිනිසා ප්‍රමුඛ සියලු සතා සිවුපාවාගේත් ගහ කොළෙත් ජීවය වන සූර්යාය මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙමින් දවස් 365 ක් රාශි චක්‍රය තුළ ගෙවා අවසන් ව නව රාශියකට පිවිසෙන මොහොත ඡ්‍යෝතිෂයේදී නව වසරක උදාව ලෙස පිළිගනු ලබනවා. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවගේත්, දෙමළ හින්දු ජනතාවගේත් ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍යය මේ අවුරුදු උදාවයි. බක්මහේ නැතහොත් වසන්ත සමයේ ගස්වැල් මලින් පලින් බරවෙමින් ගේ දොර අටුකොටු බත බුලතින් පිරෙමින් කොවුලාගේ කොවුල් නාදයත් රත් පැහැයෙන් දිදුලා මෝදු වන එරබදු මල් යායේ සුවඳත් මුළු පරිසරයේ ම ගස්වැල් මලින් පලින් බර වෙමින් මුලු ස්වභාවධර්මයාම අවුරුදු කුමරයාගේ සපැමිණීමට පෙර මඟ බලා සිටී. පැරණි වාද භේද අමතක කරමින් උදා වන අවුරුද්ද අපට ඉතාමත්ම වැදගත්ය. ඡ්‍යෝතිෂානුකූලව අප සූර්ය මාස ක්‍රමයට අනුව අපේ‍්‍රල් මාසය හඳුන්වන්නේ බක්මහ ලෙසයි. බක්මහ යන්නෙන් අදහස් වන්නේ පිරුණු මහ යන්නයි. එසේ නම් මුළු පරිසරයම මෙන්ම මුළු සමාජයම පිරුණු බවින් යුක්ත වීම බක්මහේ මූලිකම අරමුණයි. මුලු හෙළයම අසිරිමත් කරන සිංහල බෞද්ධ ජනතාවගේ මේ අසිරිමත් ප්‍රමුඛතම මංගල්‍යයට වසර දෙදහස් ගණනකි. උදාවන්නා වූ 2023 නව වසරේ ශනි, කුජ ඇතුළු සියලු නව ග්‍රහ අපල තත්ත්වයන් දුරුවීම සඳහා පහත සඳහන් සෙත් කවි රත්නයන් ඔබට පහසු ස්ථානයක නිවසේ හෝ පන්සලේ විෂ්ණු හා කතරගම දෙවියන්ගේ දේවාලයකදී පහත සඳහන් ආකාරයට ගායනා කරන්න.

නිවසේ සෙත්කවි ගායනා කිරීමේදී කළ යුතු වත් පිළිවෙත්

 

ඔබ ඇතුළු පවුලේ සෑම ගව සූකර ඇතුළු සියලු මාංශ කෑමෙන් හා මත්පැන්, දුම් වැටි පානයෙන් මිදී තමන් ඇතුළු පවුලේ සියලුම දෙනා ධාර්මික දිවි පෙවතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස තමන් වෙන් කරගත් වේලාවක් තුළ අප මහා බුදුරජාණන් වහන්සේට මල්,පහන්, සුවඳ දුම් හා ගිලන් පස තබා ගාථා කියා අර්ථවත්ව හැඟීමෙන් යුතුව තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව මේ සමඟ ඇති ඉතා නිවැරදිව ගණ පිහිටුවා ඇති ඉතා නිවැරැදිව සියලු පැතුම් ඉටුවීමටත්, සෙනසුරු , අඟහරු හා සියලු නව ග්‍රහ අපල දුරුවීමට හා සියලු අංශවලින් මෙම වසර තුළ සැපත, දියුණුව නීරෝගි බව හා සහනය උදාවන ලෙස රචනා කොට ඇති මෙම සෙත්කවි රත්නයන් ගායනා කරන්න. ග්‍රහ අපල දුරු කර ඔබ සැමට හා නිවසට සාමය සතුට නීරෝගි බව හා රැකී රක්ෂා දියුණුව මෙන්ම ජීවිත සිරි සෙත ගෙනෙනු ඇත.

මෙම අති ප්‍රබල සෙත් කවි රත්නයන් එළඹෙන සෙනසුරාදා සිට දිනන 7ක කාලයක් සෑම දිනකම උදේ 6.00 ත් 8.24 හෝ සවස 6.00 ත් රාත්‍රී 8.24 අතර කාලයේ ගෙදර ප්‍රධානියා විසින් තෙරුවන් නැමදීමෙන් අනතුරුව විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් උදෙසා නිවැරැදිව ගායනා කරන්න. ඒ අනුව මෙම අති ප්‍රබල සෙත්කවි රත්නය දිනකට 7 වරක් ගායනා කිරීම තුළින් මෙම වසරේ ලග්න අනුව තම තමන්ට වන අපල කරදර හා බාධාවලින් නිදහස්ව සුබදායක යහපත් ජීවිතයක් ගත කළ හැකි වන්නේය. නිවසේ බුද්ධ වන්දනා කරන ස්ථානයට පහළින් තැබූ ශ්‍රී විෂ්ණු හා කතරගම දිව්‍ය රාජයාණන් වහන්සේලා ගේ රූපයන් ඉදිරිපිට එළඟිතෙල් පහනක් දල්වා සුවඳ දුම් සමඟින් නිල් කටරොළු හා රත් මල් වට්ටියක් පූජා කර මෙම සෙත්කවි රත්නය ගායනා කරන්න.

සෙනසුරු, අඟහරු ඇතුළු නව ග්‍රහ අපල දුරුවීමට ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේත් කතරගම දෙවිදුන්ගේත් ශ්‍රී නාමයනට ගායනා කරනු ලබන සෙත්කවි රත්නයන් මෙන්න.

 

ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට

 

1) ලබන බැතිපුද විකුම පැතිරුන විෂ්ණු දෙවියනි ඉසුරු ලැබදෙන

බරණ දිදුලන අතට සක අවි පතන බුදු බව ලොවම සනසන

දෙවන කරදර ලොවෙහි සතහට ශනිද කුජ හැම දොසම නසමින

තිළිණ කළ මැන සැපත සහනය සතුට දිරිපල වසර ජයවන

කතරගම දෙවිදුන්ට

 

2) දැයට සෙතදෙන බරණ දිදුලන රුහුණුපුර මහ දෙවොලෙ වැජඹෙන

සතට සුවදෙන විකුම පැතිරුන කදිර දෙවියනි ලොවෙහි ගරුවන

ලකට හැම දොස, ලොවෙහි සත වෙත දෙවන ශනි කුජ අපල නසමින

සිතට සහනය සුවය දිරිබල සැපත දෙනු මැන වසරෙ සැනසෙන

 

ආගමික ස්ථානයක් තුළදී (ශ්‍රී විෂ්ණු හා කතරගම දේවාලයක්) සිදු කරන ආකාරය

නිවසින් බැහැර ව ආගමික ස්ථානයක මෙම සෙත්කවිය ගායනා කිරීමේදී පළමුව බුදුරජාණන් වහන්සේට බෝධි පූජාව තැබිය යුතුය. පූජාව තැබීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න. ඉන් අනතුරුව මුල් දිනයේ හා අවසන් දිනයේ වස විස නොයෙදූ පිරිසුදු දේශීය පලතුරු වර්ග 07ක් කැවිලි 5ක් හා ඖෂධ වර්ග තුනක් සමඟින් කපන ලද පලතුරු පූජාවක් විෂ්ණු / කතරගම දෙවියන්ට තබන්න. ඉන් අනතුරුව සෙත් කවිය ගායනා කරන්න.

තමන්ට පහසුවෙන් යාමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරා ගෙන (වට නොකරන ලද බෝධියක් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරිසුදු කර මල් ආසන හා අදාළ ස්ථානද පිරිසුදු කිරීමෙන් අනතුරුව සුවඳ ධූපයක් දල්වා තෙරුවන්ට තම ඉෂ්ට හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පහන් 07 පත්තු කොට නිල්, කහ , රතු /සුදු මිශ්‍ර මල්, මල් මාලා, නිල් හා රතු කොඩි පුදකර අදාළ ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වු මෙම සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ හා ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ඇතුළු ශ්‍රී විෂ්ණු දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

එදිනෙදා තමන් කළ යම් පින්කමක් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.

මා හා අප පවුලේ සියලු දෙනා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්භාරය මාගේ හා මගේ පවුලේ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ආත්ම පාලක දේවතාවුන් වහන්සේලාටත් ශ්‍රී විෂ්ණූු, කතරගම ඇතුළු සියලු දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූ බෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර සෙනසුරු, අඟහරු හා සියලු නව ග්‍රහ අපල හා ඒරාෂ්ටක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලාපොරොත්තු මෙම වසර පුරාවට ඉෂ්ට කර නීරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල දුරුකර ශක්තිය ලබා දුන් මැනවි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.

මෙම සෙත්කවිය ඉදිරි කාලයේත් පුර පක්ෂයේ ශනිදා දිනවල ඉහත සඳහන් වේලාවට ගායනා කිරීම සුබදායක වනු ඇත.

 

එසේම පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේටත් කතරගම ස්කන්ධ කුමර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න.

ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට පින් දෙන ගාථාව

 

සම්බුද්ධ ශාසනවරං යතිපුංග වංච

සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී

පුඤ්ඤාණිමානි අනුමෝධීය වාසු දේවෝ

පාලේතු මං සත්ත සහත හිතා වහන්තු

 

කතරගම ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පින් අනුමෝදන් කරන ගාථාව

 

කාචරේ දේව ගොවින්දං

රක්කන්තු ලෝක සාසනං

ඒතෙ දේවානූ භාවේන

කන්ද ස්වාමි නමො වරං

 

මෙම ගාථා තෙවරක් කියා කතරගම දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඔබේ ග්‍රහ අපල බෙහෙවින්ම සමනය වනු ඇත.

 

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

ඡ්‍යෝතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක

සම්පත් එස්.කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.