වසරේ පළමු පූර්ණ සූර්යග්‍රහණය

අප්‍රේල් 14, 2023

 

2023 අපේ‍්‍රල් 20 ගුරු දින උදේ 7.05ට සූර්යග්‍රහණය ආරම්භය ලෙස සැලකේ. මධ්‍යම අවස්ථාව උදේ 9.47ට යෙදෙන අතර, දවල් 12.30ට අවසන් වේ.

 

මේෂ රාශියේ අස්විද නැකතේ දෙවන පාදයේ ග්‍රහණය සිදුවේ. සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ වශයෙන් ග්‍රහණ දෙවර්ගයක් පවතී. සූර්යග්‍රහණ අමාවක පෝය දිනද චන්ද්‍රග්‍රහණ පුර පසළොස්වක පෝය දින ද සිදුවේ.

 

රවි, සඳු, රාහු එක රාශියක එක අංශයකට පැමිණීමෙන් රවිගේ ආලෝකය චන්ද්‍රයාගෙන් වැසීයාම සූර්යග්‍රහණය ලෙස හඳුන්වයි. ග්‍රහණයට අසුවෙන භාවයේ ඵල දුර්වල වන අතර, ග්‍රහණයට අසුවන ග්‍රහයන්ගේ නැකැත්වල ගමන් කළ ග්‍රහයන්ද දුර්වල වේ. ග්‍රහණය සිදුවන දවස සුබ මුහුර්ත සඳහා භාවිතයට ගන්නේ නැත. අසුබදායක වේ. ග්‍රහණය සිදුවන, අවස්ථාවේ බුධද මේෂ රාශියේය. ඒ අනුව රවි, සඳු, බුධ, රාහු යන ග්‍රහයන්ට අයත් නැකැත්වල ගමන් කරන ග්‍රහයන්ද දුර්වල වේ.

ග්‍රහලොව ප්‍රධානියා රවි හෙවත් සූර්යා වන අතර, ලෝකයේ පැවැත්මට ප්‍රාණියාට ජීවියාට සූර්යා මුල් හේතුව වෙයි. ඒ අනුව මෙම ග්‍රහණය අනුව බාධක ගැටලු මතු කරයි. අනතුරු පීඩා, ගිනි බිය ජල බිය, කුණාටු බිය ඇති විය හැක. සමාජය තුළ විෂ ද්‍රව්‍ය පැතිරීමට ඉඩ තිබෙන අතර, වෙද හෙදකම් අංශවලට සම්බන්ධව කටයුතු කරන අයට අනතුරු පීඩා අසුබ පල ඇතිවීමට ඉඩ ඇත. අශ්වයන්ට, ඒ සම්බන්ධ ව්‍යාපාර කරන අයට, අශ්ව පාලකයන්ට, සේනාධිනායකයන්ට කරදර බාධා අසුබ පල යෙදිය හැක. රට තුළ උෂ්ණ රෝග පීඩා පැතිරි යා හැක. පරිසර හානිද විය හැක.

 

ලග්න අනුව පලාපල

මේෂ

එතරම් සුබ නැත. කරන කියන කටයුතුවලට බාධා වේ. තම සිතුවිලි පාලනය කරගත නොහැකිව කරදර විපත්වලට පත්විය හැක. අනතුරු පීඩා ගැන සැකලිමත්විය යුතුය. හිසේ උෂ්ණ රෝග පීඩාද යෙදිය හැක.

වෘෂභ

ගමන් බිමන් ස්ථාන මාරු යෙදිය හැක. ඉගෙනීමට බාධා වේ. හිතේ අසහන ගති ඇති වේ. අනතුරු තුවාල පීඩා යෙදිය හැක. කරන කියන කටයුතුවලට බාධා වේ.

මිථුන

ප්‍රදේශයෙන් බැහැරව කරන කටයුතු තරමකට සාර්ථක වේ. හිසේ උෂ්ණ රෝග පීඩා ඇති වීමටද ඉඩ තිබේ. සමඵලදායක ලෙස කටයුතු සිදුවේ.

කටක

ස්ථාන මාරු රැකියා වෙනස්වීම්වලට ඉඩ තිබේ. කල්පනාකාරීව කටයුතු කළ යුතුය. විප්ලවකාරි අදහස් ඇති විය හැක. දණහිසට අනතුරු පීඩා යෙදීමට ඉඩ තිබේ.

සිංහ

විප්ලවකාරි ලෙස අදහස් ඇතිවී එම අදහස් නරකට යෙදිය හැක. ප්‍රසිද්ධිය ඇති වේ. ඉගෙනීම් කටයුතුවලට බාධා යෙදිය හැක. බාධක මධ්‍යයේ උරුම හිමිකම් ලැබිය හැක.

කන්‍යා

වියදම් වැඩිවේ. හිසේ හෝ ඇස්වල පීඩා දායක තත්ව ඇති විය හැක. ගින්නෙන්, විදුලියෙන් හදිසි අනතුරු පීඩාවලින් පරිස්සම් විය යුතුය. ධන හානිද යෙදිය හැක.

තුලා

ඉවසීම අඩුවීමෙන් තමාට අවාසි ඇතිවේ. අර්ශස් වැනි උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. රවි රාහු දෙදෙනාම අයහපත්ය.

වෘශ්චික

සාමාන්‍ය ලෙස උදරගත රෝග පීඩා යෙදිය හැක. හිසේ පීඩා මෙන්ම පීනස් රෝග ද යෙදිය හැක. රැකියා කටයුතුවලට බාධා කරදරද එල්ල විය හැක.

ධනු

ඉගෙනීම් ආදියට විවිධ බාධා ඇති විය හැක. උත්සාහයෙන් කටයුතු සාර්ථක කරගත හැක. බාධක මැඬගෙන ඉදිරියට යාමේ බලය තිබේ. රැකියා අංශ දියුණු වේ.

මකර

රැකියා කටයුතු මෙන්ම කරන කියන කටයුතුවල යම් යම් දුර්වලතා යෙදිය හැක. ගමන් බිමන් ස්ථාන මාරු පදිංචිය වෙනස්වීම් යෙදිය හැක. ගෙදර දොර ආරවුල් ඇතිවීමට ඉඩ තිබේ. පපුවේ උෂ්ණ රෝග පීඩා යෙදිය හැක.

කුම්භ

උත්සාහයෙන් කටයුතු කිරීමෙන් දියුණුව ඇති කරගත හැක. පපුවේ උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. ගමන් බිමන් යෙදේ. ඉගෙනීමට බාධා වේ. හදිසි තුවාල පීඩා ඇතිවීමටද ඉඩ තිබේ.

මීන

යුග දිවියේ කටයුතුවලට අසමගිකම් ඇති විය හැක. උගුරේ බෙල්ලේ සෙම් රෝග පීඩා යෙදිය හැක. සතුරු කරදර නිසා ධන හානි ඇතිවීමටද ඉඩ තිබේ. ඕනෑවට වඩා සටන් කිරීමට යාම නිසා අපහසුතාවයන්ට පත්විය හැක.

 

ඡ්‍යෝතිෂවේදී  සෝමපාල විජේසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.