නාග සංවාසයෙන් සූනියම් යක්ෂයා උපන් හැටි

මාර්තු 31, 2023

විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි.

භූත දෝෂාදී ඇසට නොපෙනෙන ගුප්ත කරුණු බලපෑමෙන් රෝගී තත්ත්වයට පත්වූවනට බලි තොවිල් ආදී ශාන්ති කර්ම තුළින් මානසික සුවය ලබා දෙමින් කායික රෝගද සංසිඳුවයි. එදා ඈත අතීතයේ සිටම බලිතොවිල් ආදී ශාන්තිකර්ම ජන සමාජයේ රඳා පවත්නේ එහි පවත්නා ජන විශ්වාසය මත බව වටහා ගත යුතු ය. සූනියම් කැපිල්ල, රට යකුම, බහිරව පූජා, පත්තිනි පූජා, කොහොඹා කංකාරිය, සන්නි යකුම, යන්ත්‍ර මන්ත්‍ර ආදී අප රට තුළ පවත්නා විවිධාකාර වූ ශාන්ති කර්ම අතර සූනියම් කැපිල්ල බෙහෙවින් ප්‍රචලිත වූවකි. අණවින, කොඩිවින, ඇස් වහ කටවහ, ආදිය ගැන මෙන්ම වාත රෝග, චර්ම රෝග, උදර රෝග ආදී අනේක විධ රෝග සම්බන්ධව සූනියම් කැපිල්ල තුළින් සෙත ශාන්තිය උදාකර ගන්නට ජන සමාජය උත්සුක වෙයි.

සූනියම් කැපිල්ල හෙවත් සූනියම් ශාන්ති කර්මය සූනියම් යක්ෂයකු මුල් කරගෙන පවත්නකි. සූනියම් උපත පිළිබඳව බොහෝ කතා පවත්නා අතර ඒ ගැන මෙහි දක්වාලීම මැනවයි හැඟිමි.

පණ්ඩුවාස දේව රජුගේ බිසව ජලස්නානය සඳහා අලංකාර රමණීය පොකුණ වෙත යයි. පොකුණේ ඕලු නෙළුම් ආදී බොහෝ අලංකාර පුෂ්පයන්ගෙන් පිරී ඇත. ඒ මල් අතර ඉතාමත් ලස්සන, පැහැපත් නෙළුම් මලක් ඇය දකියි. ඇය එය සිඹ ගත්තේ මහත් ආශාවෙනි. ඒ මල සිඹ ගත්තා පමණි. ඇයට අපූර්ව අන්දමේ ආශාවක් හටගනී. කොටින්ම එය දොළ දුකකි. ඒ අපූර්ව දොළදුක වනාහි නාගයන් සමඟ සංවාසයේ යෙදීමේ අවශ්‍යතාවයයි. පණ්ඩුවාස දේව රජතුමා මේ කිසිවක් නොදනී. රජතුමාට මේ දොළදුක ගැන කිසිසේත් ඇයට කිව නොහැකිය. ඇය රජතුමාට හොර රහසේ නාගයින් සමඟ සංවාසයේ යෙදෙයි. දිනක් ඇය විශාල නාගයකු සමඟ යහන් ගතව සිටින අයුරු රජතුමාට අහම්බෙන් දකින්නට ලැබෙයි. මහත් විස්මයට පත් රජතුමා බ්‍රාහ්මණයින්ගෙන් මේ ගැන විමසයි. බ්‍රාහ්මණයින් මේ ගැන විපරම් කරමින් යම් ඒකමතික නිගමනයට එයි. රජතුමනි, දේවියට දරුවකු ලැබෙයි. ඒ දරුවා පුදුමාකාර ලෙස රූපශ්‍රීයෙන් යුක්තය. එහෙත් ඔහු ඉතා නපුරුය, දුර්දාන්ත කුරිරු ගතිගුණයෙන් යුක්ත වෙයි. එය පැහැදිලිව පෙනෙන කරුණු ය.

බ්‍රාහ්මණයින් කී පරිද්දෙන් බිසව ඉතා රූමත් කුමරකු බිහි කළා ය. හැදෙන වැඩෙන කුමාරයාට වයස අවුරුදු හතකි. හේ වනාන්තර ගත වෙයි. විශාල තුඹසක නාගයින් දහසය දෙනෙකු සමඟ වාසය කරයි. අත් පා කඳ ආදී ශරීරාංග නාගයෝ වෙළාගෙන සිටිති. කුමාරයා තුළ පවතින්නේ නපුරු අදහස් ය. දවසක් විශාල පොළඟෙකු මරා ඒ සතාගේ ලේ සහ විෂ බොයි. මෙසේ කිරීමෙන් කුමාරයාට මහත් විස්මිත අධිමානුෂික බලයක් ලැබේ. දකුණු අතේ කඩුවක් හා වම් අතේ ත්‍රිශූලයක් ඇතිව සුදු පැහැ අශ්වයෙකු පිට නැගුණ, නා පොළඟුන් වෙළුණු සිරුරකින් යුතු බලසම්පන්න යක්ෂයකු ලෙසත් ඔහු පෙනී සිටින්නට විය. මේ බලගතු යක්ෂයාගේ අදහස මිනිසුන් මරා කෑමට ය. ඒ නපුරු, කුරිරු දුෂ්ට අදහස වළක්වන ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් මිනිසුන් මරාලීමට නොව ලෙඩ කරවීමට අනුමැතිය ලැබයි. එසේ වුවත් බුදු හිමිට ගරු කිරීමටත් පුද පූජා කළ පසු ඒ ලෙඩ රෝග දුරලා මිනිසුන් සුවපත් කළ යුතුය යන්නටත් ඔහු එකඟවෙයි. සූනියම් උපත පිළිබඳ මේ එක් කතාවකි.

තවත් කථාවක මෙසේ වෙයි.

මහා සම්මත රජුගේ අග බිසව මැණික්පාල දේවිය සේවිකාව සමඟ පොකුණේ සිරි නරඹන අතර දේවියට නාන්නට සිත් පහළව අවශ්‍ය දෑ ගෙන ඒමට සේවිකාව මාළිගයට යයි. ඒ අතර මැණික්පාල දේවියගේ රූපශ්‍රීයෙන් වශීවන වසවර්ති ඇය වෙත එයි.

“කුමාරි ලස්සනයි” කියමින් ඇයගේ සළුපොටෙන් අදියි. පලයන් යන්න. උඹ මහ නපුරා. මම මහා සම්මත රජ්ජුරුවනට කියනවා, මට කරදර කළොත් කියල බිසව ඔහුට පවසයි. මහා සම්මත රජ්ජුරුවන්ට කවුරුත් බයයි. “මම බය නැහැ. මම වසවර්ති දන්නවා මගෙ හැටි” කියමින් නැවතත් සළුපොටෙන් අදියි.

බිසව දුවන්න සැරසෙයි. එකෙණෙහිම වසවර්ති අතින් අදියි. බිසවගේ කොණ්ඩය ලිහී පිට දිගට වැටුණි. දිග කොණ්ඩයත් ලස්සනයි. කොණ්ඩය අග කොටස පොළොවෙ ගෑවෙයි. වසවර්තිගේ පයට ඒ කොටස පෑගිණි. වසවර්තිට හරි සතුටක් දැනුණි. තමන්ගේ කොණ්ඩය අඟුරු කැටයක් වගේ කළු, ඉත්තෑකූරු වගේ හිසකෙස් තිබෙන මහා නපුරු දුෂ්ට වසවර්තිගෙ පයට පෑගීම ගැන මැණික්පාල බිසවුනට විශාල ලජ්ජාවක් ඇතිවුණි. ඇය කෝපයෙන් පිපිරෙන්නට විය. බිසොව විදුලි වේගයෙන් එක පාරටම ආපහු හැරුණි.

බිසවුන්ට ලජ්ජාවයි. කේන්තියයි. එවිට ඇය මොකද කළේ. වසවර්තිගෙ මූණට දුන්නා මහ හෙණ සැරයක් වගේ අතුල් පාරක්. එවිටම සේවිකාව එතැනට ආ අතර වසවර්ති ඇය දිහා රවා බැලීය. මේ අතර බිසවත් සේවිකාවත් ඉක්මනින් මාළිගාවට යයි. වසවර්ති කෝපයෙන් පිපිරෙමින් බිසවගෙන් පළිගන්නට අදහස් කරයි.

රජතුමාට යුද්ධයට යාමට සිදුවෙයි. දැන් මාළිගයේ බිසව හා සේවිකාව සිටියි. රජතුමා අද ඒවි හෙට ඒවි. ඔවුහු සිතත්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වසවර්ති කල්පනා කරයි. යුදකොට රජතුමා ආ විධියට බිසවගේ කාමරය ළඟට ගොස් දොර අරින්නට කියයි. වසවර්ති බව දැන ගත් දාසිය දොර නොඅරියි. වසවර්ති කෝපයෙන් පෙළේ. විෂ පොළගෙක් මවා බිසවට දෂ්ට කරයි. බිසව විරූපි වෙයි. කෙට්ටු වෙයි. යුද්ධය දිනා ආ රජුට සේවිකාව විස්තරය කියයි. රජතුමා වසවර්ති සෙවුවත් වසවර්ති සොයාගත හැකි නොවෙයි. මැණික්පාල බිසවට වසවර්ති කළ විනාශය ගැන කවුරුත් කනගාටුවෙයි. දිව්‍ය ලෝකයටත් මේ පුවත පැතිරුණි. විෂ්ණු දෙවි වසවර්තිට තර්ජනය කළේ “මේ කළ විනය ඉවත් කරන ලෙසයි. එය තමන්ට කළ නොහැකි බවත් ඔඩ්ඩිසි ඉසිවරයාට පුළුවන් බවත් වසවර්ති පවසයි. ඉන්පසු මහා බරපතළ යාගයක් කර දේවිය සුවපත් කෙරිණි. පෙර තිබුණු ලස්සන රූපය ඇයට හිමිවිය. ඒ අතර වසවර්ති ගේ මුළු ඇඟම පිච්චෙන්නට පටන් ගත් අතර ඔඩ්ඩිසි ඉසිවරයා අනෝතත්ත විලේ පැන්වලින් වසවර්තිගේ වේදනාව දුරු කළේ ය. මේ අණවින කැපූ ශාන්තිකර්මය සූනියම් කැපිල්ල ලෙස හැඳින්වේ. මැණික් පාල ශාන්ති කර්මය ලෙසත් පැවැසේ. ඒ මේ ශාන්ති කර්මය මුලින්ම කළේ මැණික්පාල දේවියට නිසා තවත් කතාවක මහීපාල රජතුමා සක්දෙවි රජු හමුවීමට ගිය වේලාවකදී මහීපාල දේවිය තමාට නම්මවා ගැනීමට වසවර්ති කටයුතු කරයි. පැරදෙන වසවර්ති විෂ පොළඟකු මවා බිසවට දෂ්ට කරවයි. පොළඟා බිසවගේ රහසඟෙහි සැඟ වෙයි. මහීපාල දේවිය රෝගී වෙයි. සොහොයුරු විෂ්ණු තම සොහොයුරිය සුවපත් කර ගැන්මට නාගපත් සෘෂිවරයාගේ පිහිට සොයා යයි. සෘෂිවරයා කොඩිවිනය කපයි. දේවිය සුවපත් වෙයි. මේ ශාන්ති කර්මය සූනියම් ශාන්ති කර්මය ලෙසින් සූනියම් යක්ෂයා මුල් කරගෙන කියැවෙයි. වසවර්ති මාරයා පොළඟුන් ලවා බිසවුනට දෂ්ට කරවීමට ගැබ් වූ කථා ඔස්සේ සූනියන් උපත සිදු වූ ආකාරය විවිධ ලෙස පෙන්වයි.

මේ එබන්දකි.

මහීපාල දේවිය කෙරේ ලොල්ව ඇය කරා ළංවන්නට මාන බලනා වසවර්ති රජතුමා යුද්ධයට ගිය අවස්ථාවක ඒ පිළිබඳව උත්සාහ ගනියි. එය මුළුමනින්ම අසාර්ථක වන තැන කිසිසේත් පසුබට නොවන වසවර්ති දේවියගෙන් පළිගැනීමට විෂ පොළඟකු මවා බිසවගේ පියයුරකට දෂ්ට කරවයි. බිසවගේ මුළු ශරීරයම කෘශ වෙයි. රූපය විරූපී වෙයි. ඇට සැකිල්ලක් බඳු ය. සිහිසුන් වෙයි. රජ මාලිගයේ කා තුළත් ඇත්තේ මහා දුකකි. අහෝ අපේ බිසවට වූ දේ කියමන් ශෝක වෙති.

යුද්ධය දිනා ආ රජතුමා බිසව සනීප කරගන්නේ කෙසේදැයි කල්පනා කරයි. බමුණන් දස දෙනකුගෙන් උපදෙස් පතයි. දේවිය සුවපත් කර ගන්නට කළ යුතු දෑ කියයි. වසවර්ති මාරයා විසින් සිදුකරන ලද මේ මහා විනය කපාලිය යුතු බවත් එය කළ යුතු ආකාරයත් පවසන බමුණන්ගේ උපදෙස් පරිදි කටයුතු කොට දේවිය සුවපත් කර ගනියි. සූනියන් ශාන්ති කර්මයේ උපත ගැන තවත් මෙබඳු කතා ගණනාවක් වෙයි.

 

ආචාර්ය සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.