ජනකවියාගේ ශ්‍රී පාද වන්දනය

මාර්තු 17, 2023

සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡන සතරක් නර්මදා නදී තීරය සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන ස්ථානයන්හි වන බැව් “යන්නම්මදාය නදියා පුලිනේච තීරේ” යනාදී ලෙසින් දක්නා වන්දනා ගාථාවෙහි කියැවේ.

 

මින් සියලු ලෝවැසි සැදැහැතියන්ගේ වන්දනාමාන ගෞරව භක්ත්‍යාදරයට පාත්‍රව දක්නට ලැබෙන්නේ සිරිලක සමනොළ ගිර සිරිපා ලාංඡනය යි. බුදුපියාණන් වහන්සේගේ තෙවන වර ශ්‍රී ලංකාද්වීපයට වැඩි ගමනේ දී සුමන දෙව්රද ඇරැයුමෙන් සමනොළ ගිර මත ශ්‍රී පාද ලාංඡනය පිහිටු වූ බැව් සඳහන් ය.

 

සමනොළ ගිර

සමනොළ ගිර වන, මෘග, පක්ෂි ආදීනට නෘත්‍ය මණ්ඩපයක්, ගායනා කරන්නන්ට ගී මඩුවක්, සා පිපාසා සංසිඳුවන ආපාන භූමියක් වැනි යයි යනාදී ලෙසින් එහි නයනාභිරමණීයත්වය දර්ශනීයත්වය සමන්තකූට වර්ණනා ආදී ග්‍රන්ථයන්හි මෙන් ම ජන කවියෝ ද, විදේශිකයෝ ද දකිති. සමනල කන්ද එදත් අදත් කවීනට බෙහෙවින් වස්තු විෂය විය.

ලංකාවට අධිපති පර්වත මුඳු නේ

සිංහසානේ වද මුනිඳුට පහළ වුනේ

පිහිටි සිරිපාද පර්වත කොත මුඳු නේ

ගංගා සතර පර්වතයෙනි උපත වු නේ

 

යයි ජනකවියා සමනොළ ගිර පිළිබඳ මහත් ගෞරවයෙන් අභිරුචියෙන් කියා පායි. ආගමික කරුණු නිසා ම පමණක් නොව රට සරු කරමින් සතර දෙසට ගලන සිවු ගංගාවන්ගේ ප්‍රභවය නිසා ද ජනතාවගේ ප්‍රණාමය හිමි කර ගනියි. ස්වභාව සෞන්දර්යය රිසියෝ ද සමනොළ ගිර මහත් අගයති. රාත්‍රියෙහි ගැල් පදවන ගැල්කරුවාට සමනොළ කන්ද පෙනේ. එය ඔහු දකින්නේ මහත් වූ ශ්‍රද්ධා භක්තියෙනි. ඔහුගේ මුවින් පිටවන්නේ ඒ දැක්මෙන් මහත් සැනසුමක් ලැබීමත් බැව් හැඟියේ.

අලට කන්න බැරි අලගල්ලේ ක න්ද

බතට කන්න බැරි බතලේ ගල ක න්ද

හූනට කන්න බැරි හුන්නස්ගිරි ක න්ද

මෙකඳු තුනට නායක සමනල ක න්ද

 

ජනකවියා පවසන්නේ සියලුම බුදුවරුන් සමනල ගිර සිරිපා සටහන් තැබූ බව ය.

“ඔක්කොම මුණි බුදුව ලොවට සමනල ගල පිටට වැඩි ය

දැක්කම සිරිපාද එබූ අණසක මිහි දෙරණ තලය”

 

සමන් දෙවි

ශාසන භාර සමන් දෙවිඳු සමනල පර්වතයට අධිගෘහිතය. ලක් වැසියන්ගේ මහත් වූ ගෞරවාදරයට පාත්‍ර වූවෙකි.

සමන්තකූට පර්වතයක - සාසන භාරව සිටිනෙක

සවන් පුරා අසන බණක - රකින සීලෙ සිල්මති මෙක

අතින් දරන පත් කඩයක - නාගුණ වැල් නිතර අතක

සමන් දෙවිඳු යන උතුමෙක - දෙවොල් යකුට බලපෑවෙක

සමන්තකූට පර්වතයත්, ශාසනයත්, භාරව ආරක්ෂා කරන පත්කඩය, නවගුණවැල ගෙන සිල් රකින සමන් දෙවිඳුගේ වාහනය සුදු ඇතෙකි.

සුද්ද ලෙසින් නිති ගත බබළ න්නේ

සුද්ද ඇතා පිට වද වැඩ ඉ න්නේ

බුද්ධ මෙසාසන දිවුණු කර න්නේ

සුද්ද සමන් දෙවියෝය වඩි න්නේ

සමන් දෙවිඳු සමනල කන්දේ අධිගෘහිත දෙවි නිසා පෙර සිට ම සමනල කන්ද වැඳුම් පිදුම් ලැබූ බව පෙනේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු ආර්ය ජනතාව ඉතා ඈත කාලයේ සිට ඇදහූ දෙවිවරුන් අතර ඉතා සැලකිය යුත්තෙක් වන යමරජු සමන් දෙවියන් බව පවසයි. යම රජුට සකු බසේ ගමන් යයි හැඳින්වෙයි. සිංහල බසට එය “සමන්” ලෙස පෙරළී ඇත. කරුණා රසයට යමරජු අධිපති බව නාට්‍ය ශාස්ත්‍රයේ වෙයි. ශ්‍රී පාද වඳින්නෝ අදත් ‘කරුණාවයි’ කියා හඬ නඟමින් යන්නේ ඒ නිසයි. මේ ආදී ලෙස පරණවිතාන සූරීහු සමන් දෙවි ගැන කියති.

සමන් දෙවිඳුන් පිළිබඳ සුප්‍රසිද්ධ සබරගමු මහ සමන් දේවාලය ද ජනකවියා අමතක නොකරයි.

හෙළ මුඳුනින් වැඩිය කලට පෙනේය උළු මාළිගා ව

රෑ දහවල් එළිය ඇතුව රන් කොත් බබළන සුඛා ව

බිම්බරකට සෙනඟ ඇවිත් සෑ දෙව් උළු මාළිගා ව

මුළු රටටම පාරට්ටුයි සබරගමුවෙ මාළිගා ව

අපූර්ව හාස්කම් දක්නා මෙහි ඇති ලියලන ගල ගැන ද සඳහන් කරයි. සබරගමු මහ සමන් දෙවොලේ අද ද ඒ දක්නට ඇත.

කුරුවිට කෝරලේ පල්ලේ පත්තුවේ උතුම් සබරගමු දේවාලේ

දවසින් දවසට ලියලාගෙන එන ගලක් තිබුණු කීවා මැද මාලේ

ලොව සත හට මතුවට පවතින්නට සුමන දෙවිඳු පෑවාද බලේ

එම ගල සතියනි තව ලියලනවද උතුම් සබරගමු දේවා ලේ

 

සමන් දෙවිඳු පිහිටෙන් සිරිපා කරුණා කරමින් සමන් දෙවිඳුන්ට පින් දීම මෙන් ම සියලු විපත් කරදරවලදී සමන් දෙවිඳු පිහිට පැතීම ලක්ෂණයක් විය. විවිධ බාර හාර වෙති. ඒ ඉටුවන බව ද දැඩි විශ්වාසය යි.

 

සීත ගඟුල

සිරිපා වැඳුම ජීවිතයේ වැදගත් ම අවස්ථාවක් බවත් මෛත්‍රිය බුදුන් දැක්මට ඒ හේතුවන බවත් කියයි. සමන් දෙවිඳු කරුණාවයි. සුමන සමන් දෙවි පිහිටයි. ආදී වශයෙන් කියමින් ගමනාරම්භ කරන සිරිපා මුලදී ළංවන්නේ සීත ගඟුලට ය.

 

සීත ගඟුලෙ පන්සිල් අර ගෙ න

උණුසුම් ඇති පිළි පමණක් ඇඳ ගෙ න

සමන් දෙවිඳු හට පඬුරුත් බැඳ ගෙ න

සාදු කියා යමු සතුටින් හැම දෙ න

 

සීත ගඟුලේදී දිය නා සුදු පිරුවට ඇඳ පඬුරු බැඳ ගමන් අරඹයි.

 

ගෙත්තම් පාන

නඩේ අනතුරුව ගෙත්තම් පානට පිවිසෙති. බුදුරදුන් තම සිවුර මැසූ ස්ථානය යයි ජනප්‍රවාදයේ එන කතාව අනුව ගෙත්තම්පාන නමින් හැඳින්වෙන තැන්හි ඉදිකටු, නූල් පූජා කිරීම සිරිත.

ගෙත්තම් පාන ඉදිකටු පූජා කර මු

හැරමිටි පාන හැරමිටි පූජා කර මු

දොඩම් බැවිල තල අබ පූජා කර මු

සිරි පතුලට රත් මල් පූජා කර මු

 

ධර්මරාජ ගල

සීතල දැනුන ද සාදු නාදයේ අඩුවක් නොපෙනේ. හිමේ නඟින සැදැහැතියන්ට ධර්මරාජ ගලද පෙනේ. පඩි ගණන් කළ ද කියදැ යි කිව නොහැකි වීම අපූර්වත්වයක් ලෙස නඟී.

ධර්මරාජ ගල යටින් පෙනෙ න්නේ

බොහොම දෙනෙක් පඩි ගණන් කර න්නේ

ගණන කියන්නට බැරිලු බොල න්නේ

කිමද කියා සමහරු ළතවෙ න්නේ

 

හැරමිටි පාන

අනතුරුව මොවුහු හැරමිටි පානට පිවිසෙති. මේ සියලු තැන්හි පඬුරු බැඳීමට ද, සමන් දෙවිඳුන්ට පින් දීමට ද, ඔවුහු අමතක නොකරති.

සමන් දෙවිඳුගෙන් පිහිට ලබ නවා

උතුම් බුදුන් අපි වඳින්න ය නවා

හැරමිටි පානේ අපි නවති නවා

එතනදී සමහරු පඬුරු බඳි නවා

 

ඇහැළ කණුව

ඉන්පසුව කුඩා ගිරිදඹය පසු කරයි. ඇහැළ කණුව ළඟ නැවතී ගිමන් විඩා හැර ගනිති.

ඇහැළ කණුව ළඟ ගොස් නවති න්නේ

අට සිල් පන්සිල් අරගෙන ය න්නේ

සිතේ කුහක කම් අත්හැර ග න්නේ

සමන් දෙවිඳුනේ පිහිටක් ව න්නේ

 

මහ ගිරි දඹය

මහ ගිරි දඹය ගමන දුෂ්කර ස්ථානයකි. එහෙත් එයට පහසුවක් ලෙස සලකමින් සමන් දෙවි කරුණාවෙන් කරුණා කරති.

වට පිට නොබලා පාර බලන් නේ

අඩියෙන් අඩියට සාදු කියන් නේ

දම්වැලෙ එල්ලී දඹය නඟින් නේ

සමන් දෙවිඳුනේ අප රැක දෙන් නේ

 

ශ්‍රී පාද පද්මය

දම්වැලේ එල්ලී ගමන්ගත් පිරිසක් වේගවත් සුළඟකින් දම්වැල එහා මෙහා පැද්දී තෙරක් නොපෙනෙන ආගාධයට වැටීමේ ශෝචනීය පුවතක් ජෝන් ස්ටීල් සඳහන් කරයි. බොහෝ දුර බැහැරක සිට නොයෙකුත් දුෂ්කරතා මැද සමනොළ කන්ද නඟිනා වන්දනාකරුවෝ කවර දුක් ගැහැටක් ආවද එය සුළුකොට තකති. කවුරුත් සමඟ සහයෝගයෙන් එකම පවුලේ සහෝදරයන් ලෙස මහත් වූ කරුණාවෙන් සමන් දෙවිඳුන්ට පින් දිදී ශ්‍රී පාද මුඳුනට ළංව ශ්‍රී පාද පද්මය දකිති. ගමනේ සියලු දුෂ්කරතා එහි දී ඔවුනට අමතක වෙයි. මහා ජයක් ලද සේ සිතයි. සිරිපා පද්මය රිසි සේ සිත් සේ වැඳ පුදා ගනියි.

සියලු දෙනම ගොස් පද්මෙ වඳි න්නේ

මාර යුදෙන් ජය ගත්තා වැ න්නේ

පුද පූජා කොට පින් ලැබ ගන් නේ

සුමන සමන් දෙවි මේ පින් ග න්නේ

වෙනද මහ මඟ යන්නන්ට තරම් වාරු නැති මහල්ලෝ ද යෞවනයන් මෙන් මහත් උනන්දුවෙන් රන්ගිරිදඹේ ආදිය නඟින හැටි පුදුම ය. ඔවුන්ගේ මානසික ශක්තිය කායික ශක්තිය, කරුණා ශ්‍රද්ධා එක්වීමෙන් ප්‍රබල වෙමින් මහත් ආත්ම ශක්තියක් ලබන්නට ඇත. ඈත කල සිරිපා වන්දනාවේ යෙදුණේ සිය අන්තිම කැමැත්ත පවා ලියා තබා ආවේ ගමනේ දී දක්නා දුෂ්කරතාව මත ආපසු යෑම අවිනිශ්චිත සේ සැලකීමෙනි.

කොතරම් දුෂ්කර වුව ද මුවින් පිටවනුයේ කරුණාවයි. කරුණාවයි යන්නය. ඔවුන්ගේ කවි ගමන් විඩාව දුරු කරවයි. ශ්‍රී පාද වැඳුම පිළිබඳ භක්තිය ප්‍රකට කරවයි. ඒ ආකාර ජනකාව්‍ය රාශියක් සිංහල ජනතාව ඇසුරේ වෙයි. සමන්තකූට පර්වතය මුඳුන කෙතරම් ජනකායක් ඒකරාශී වූවත් ඉඩ ඇහිරීමකින් වන්දනාකරුවනට බාධා නොමැති වීම ආශ්චර්යයකි. සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහෝ දා සිට වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය සිරිපාද වන්දනා සමය වෙයි. ඉතා පුරාණයේ සිටම සිරිපා වැඳුමට සමනල කඳු නැඟීම දක්නට වෙයි. මේ වන්දනා ගමන යන්නේ නඬ වශයෙනි. නඬේ ගුරෙක් සිටී. යෑමට පෙර ගමේ පන්සලට ගොස් බාර හාර වෙති. විවිධ චාරිත්‍ර වෙති. කටබහ ප්‍රවේශම් කරගනිති. මේ සියල්ල පිළිබඳ ජනකවි මුවෙන් පිට වූ බව සිරිපා වන්දනා ජනතාව දෙස බලන විට පෙනේ. තුන් සරණය, හිමගත වර්ණනාව, සමන් දෙවි වරුණ වැනි පොත්වලින් පද්‍ය ගායනා කරමින් සිරිපා වඳිති. ඒවා ගායනා කරන්නේ නඬයේ හොඳින් ගායනා කළ හැකි උවසුවකුගේ හෝ උවැසියකගේ ගායනය අනුකරණය කිරීමෙනි. ඉහළ නඟින කණ්ඩායම් හා පහළ බසින කණ්ඩායම් ඒ හමුවන අවස්ථාවන්හි පහළ බසින අය “වඳින්න යන මෙ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” කියන කළ ඉහළ නඟින්නෝ වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි යනුවෙන් කියති.

 

ආචාර්ය

සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.