ලියන අත් අකුරින් කියන තොරතුරු

පෙබරවාරි 17, 2023

 

සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට දැනුමක් ලබාගත හැක්කේ ජන්ම පත්‍රය, හස්ත රේඛා ලක්ෂණ මඟින් පමණක් නොවේ. ඔහුගේ හෝ ඇයගේ අකුරුවල ස්වභාවය මෙන්ම ලියන ආකාරයෙන්ද ඔවුන්ගේ ගතිගුණ පිළිබඳව යම් යම් කරුණු දැනගත හැකි ය.

 

අත් අකුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාර පෙන්වයි. එක හා සමාන අත්අකුරු බොහෝ විට දක්නට ලැබුණත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි ලිපි දෙකක් පරීක්ෂා කිරීමේ දී අකුරේ රේඛා විහිද යන ආකාරයෙනුත් අකුර ලියන හැඩයෙනුත් කොම්බුව, ගැටය, ඇදය, ඉස්පිල්ල, පාපිල්ල අකුරට සම්බන්ධ කරන ස්ථානය හා ලියන ශෛලියේත්, සියුම් වෙනස්කම් තිබෙන බව පැහැදිලි වෙයි. පුද්ගලයෙකුගේ අත් අකුරුවල ස්වභාවය ඔහුගේ ශාරීරික හා මානසික ස්වභාවයත්, බාහිර හේතූන් ද පාදක කොට වෙනස් වන බැවින් අත් අකුරු නිරීක්ෂණය කිරීමේ දී කරුණු කීපයක් අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙයි. ලේඛනය සඳහා යොදාගත් කඩදාසිය ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය අකුරුවල ප්‍රමාණය හැඩය හා ශෛලිය, කොම්බුව ආදී උපාංග යොදාගෙන ඇති ආකාරය අකුරුවල වචන හා පේළි අතර ඇති ඉඩ ප්‍රමාණය යන කරුණු නිරීක්ෂණය කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ස්වභාවය පැහැදිලි වෙයි.

මානසික ස්වභාවය

දෙපස තීරු ඉහළ සිට පහළට සමාන්තරව වෙන්කොට ඇත්තේ නම් අකුරුවල ශෛලිය හා හැඩය පැහැදිලි නම් එය ආයාසයෙන් තොරව ලියන ලද්දේ නම් හෙතෙම ක්‍රමානුකූල හැඩගැස්මක් ඇති මනා තුලනය වූ මනසකින් යුක්ත අයෙක් බව නිගමනය කළ හැකි ය.

වම්පස තීරුව වඩා පළල්ව පවතී නම් බිය, අප්‍රවේසම වැනි චරිත ලක්ෂණද, වඩා පටු නම් ලෝභය, අරපරිස්සම වැනි චරිත ලක්ෂණද විපරම් සහිත බව ආදී ස්වභාවයන්ද පවතී. එමෙන්ම ඉහළ සිට පහළට ඇති දෙපස තීරුවල ඉහළත් පහළත් අතර ඇති පරතරයට බොහෝ සෙයින් අඩු හෝ වැඩි නම් හේ ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන කෙනෙක් ද, පසුබාන කෙනෙක් ද යන්නත් නිගමනය කෙරේ. දකුණු පස තීරුව වඩා පළල්ව දැක්වේ නම් අනාගතය කෙරෙහි බියක් පවතින බව පැහැදිලිය.

අකුරු ප්‍රමාණය

ප්‍රමාණයට වඩා ලොකු හා අක්‍රමවත් අකුරු මානසික දුර්වලතාවයකින් යුත් මානසික ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය. කුමන ආකාරයක දුර්වලතාවයක්ද යන්න නිගමනය කළ හැක්කේ අකුරුවල ස්වභාවය අනුවය. වචන එකට බැඳී පවතී නම් බොහෝ විට වංචාකාරී බව පෙන්නුම් කරයි. වයස් පරතරය හා පුහුණුව අනුව යොදවන ශක්තිය වෙනස් වෙයි. ඒ අනුව ලියන්නා ළමයෙක්ද නුහුරු අයෙක් ද පුහුණු ලේඛකයෙක්ද යන්න නිගමනය කළ හැක.

ප්‍රමාණයෙන් ලොකු අක්‍රමවත් අකුරු වයස අවුරුදු 3 - 5 අතර ළමයින්ගේ ය. තද ගැඹුරු රේඛාවලින් යුක්ත නම් අඩු මානසික මට්ටමක් පෙන්නුම් කෙරේ. ලිවීමේ දී කොම්බුව, ඇදය, ඉස්පිලි, පාපිලි යොදා ගන්නා ආකාරය අනුව පුද්ගලයාගේ මානසික පීඩනයන් උද්ගත වේ.

ප්‍රකාශන ශක්තිය

එසේම ලිවීමේ දී භාවිත වන උපකරණවල අඩුපාඩු හා දුර්වලකම් කියාපායි. ඉස්පිල්ල, පාපිල්ල අකුරට ආසන්නව කුඩාවට යයි නම් ප්‍රකාශන ශක්තියේ දුර්වලතාව පෙන්නුම් කරයි. අකුරුවල ඇලකිරීමේ ස්වභාවය ඔහුගේ හෝ ඇයගේ විවෘත හෝ සංවෘත භාවය සමාජය හා හැසිරෙන ආකාරය අනාගතය හැඩ ගැසෙන ආකාරය හා චිත්තවේග බල පවත්වන ආකාරය තේරුම්ගත හැකි ය. ශාරීරික හා මානසික වර්ධනයක්ද, නිරවුල් බවක්ද ඇති අයගේ අකුරුවල වෙනස්කම් ඇතිවන්නේ ඉතා සෙමින් ය.

කෝණාකාර අත් අකුරු

කෝණාකාර ලෙස අත් අකුරු ලියන්නේ හොඳ ආත්ම ශක්තියක් ඇති අය වේ. අවංක, ඝෘජු වැරදි නියම ආකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා සිරස්ව තනි පේළියට අකුරු ලියාගෙන යයි. නමුත් හේ සිතිවිලිවලට තරමක් වහල්ය.

තිරස්ව පේළියකට අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු උඩ අතට ගමන් කරයි නම් එවැනි අය නිතරම අන් අය අතරින් කැපී පෙනීමට උත්සාහ දරන අය වෙති. එසේ අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු පහළට ගමන් කරයි නම් එවැන්නෝ නිතරම රෝගපීඩාවලින් පෙළෙන නිතරම අන් අයගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තුව සිටින අයයි. එක් එක් අකුරුවල ප්‍රමාණ හා හැඩය වෙනස් වෙයි නම් හේ ස්ථිර ප්‍රතිපත්තියක් නැති අයෙකු බව තේරුම් ගන්න. ඔහු විටින් විට අදහස් හා ගතිගුණ වෙනස් කරන්නෙකි.

රවුම්, වටකුරු අත් අකුරු

රවුම්, වටකුරු අත් අකුරු කාරුණික, අනුකම්පා සහගත අයකුගේ අතින් ලියැවෙයි. අසරණ අයට පිහිටවීම, අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට එවැන්නෝ ප්‍රියතාවයක් දක්වති.

කුඩා අත් අකුරු

ඉතා කුඩා ප්‍රමාණයට අත් අකුරු ලියන්නා ලජ්ජාශීලි අයෙක් බව පෙන්වයි. එම අකුරු පසු පසට ඇලවුණ ස්වභාවයක් ගනී නම් බොහෝ ලජ්ජාශීලිය. ඉතා පිරිසුදුව සාමාන්‍ය ප්‍රමාණයට චාම් ලෙස ලියන අත් අකුරු උසස් ගතිගුණ ඇති පුද්ගලයන් අතින් ලියවේ.

ස්ත්‍රීන්ගේ අකුරුවලත් පිරිමින්ගේ අකුරුවලත් හැඩය හා ලිවීමේ ස්වභාවයේ වෙනස්කම් පවතී. හඳුනා ගැනීමට අපහසු තරම් සමානකම් නැත්තේ ද නොවේ. එවැනි අයගේ ඔවුනට ආවේණික වූ විශේෂ ගති ලක්ෂණ පවතී.

තම උත්සාහයෙන් විවිධ වෘත්තීන්හි නියැළී ලෞකික දියුණුව කෙරෙහි සිත් යොමු කරන ස්ත්‍රීන්ගේ අත් අකුරු බොහෝ දුරට පිරිමින්ගේ අත් අකුරු හා සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.

කොපි කරන ලද ලේඛන කාණ්ඩයක් නිරීක්ෂණය කිරීමෙන් කිව හැකි අනාගත තොරතුරු සීමා සහිත වන අතර, ස්වනිර්මාණ ලේඛන කාණ්ඩයකින් පුද්ගලයා සම්බන්ධ බොහෝ තොරතුරු ප්‍රකාශ කළ හැක. ලියන ලද කොටසක් කොපි කිරීමේ දී ඔහු කරනුයේ අනුකරණයකි. එමඟින් අනාවරණය කරගත හැක්කේ ඔහුගේ මාංශපේශිමය හා ස්නායුමය බල දුබලතාවයන්ද ලිවීමේ දී උපයෝගි කරගන්නා සුදුසු නුසුදුසුභාවයන්ද පමණි. එහෙත් ස්වයං නිර්මාණයක් කිරීමේ දී ස්නායු හා මාංශ පේශිමය ක්‍රියාකාරීත්වයට අමතරව චිත්ත වේගද ක්‍රියාත්මක වේ. අනාගත තොරතුරු බොහොමයක් අනාවරණය කරගත හැක්කේ චිත්තවේග ක්‍රියාත්මක වන රටාව අවබෝධ කර ගැනීමෙනි. මේ අයුරින් ඒ ඒ පුද්ගලයාගේ අත් අකුරු පරීක්ෂා කිරීමෙන් ඔවුන්ගේ චරිත ලක්ෂණ හඳුනාගත හැකි ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.