ග්‍රහ ලොව පියා ලෙස හඳුන්වන රාජ්‍යකාරක රවි ග්‍රහයා

ජනවාරි 27, 2023

 

රවි ග්‍රහ ලොව පියා වෙයි. රාජ්‍ය කාරක ග්‍රහයා වෙයි. ග්‍රහ ලොව මූලිකයා වන අතර උසස්ම දෙවියා හැටියට පිළිගනී. ක්ෂිතිජයෙන් සම්පූර්ණයෙන් මතුවීමට හා බැසීමට මිනිත්තු දෙක බැගින් ගත වේ. තේජෝ භූතයට සත්ව ගුණයට මූල ධාතුවට අයත්ය. මේෂ රාශියට උච්ච වන අතර සිංහයට ස්වක්ෂේත්‍ර වන අතර තුලාවේ නීච වේ.

 

කැති, උත්‍රපල්, උත්‍රසල, නැකැත් තුනට හා සිංහ රාශියට අධිපති වේ. එක් රාශියක මාසයක පමණ කාලයක් ගත කරයි. ජීව බලය හා රෝග නාශක බලය රවිගෙන් ලැබේ. රවි බලවත් වූ විට නිර්භීතකම ආඩම්බර බව ප්‍රසිද්ධිය, පාලන හැකියාව ඇති කරයි. රවි දුර්වල වූ විට පහත් අදහස්, පුහු අහංකාරකම, වැඩි තරහ, අනුන් කෝප කරවීම ආගිය තැන පිළි නොගැනීම ඇති කරයි. රවි උෂ්ණය, එළිය ආකර්ෂණය ලබා දෙයි. රවි පුරුෂ ග්‍රහයකු වේ.

රවිගෙන් හෘද රෝග, උණ රෝග, මොළේ දුර්වල වීමේ රෝග, ඇස් රෝග ඇතිවේ. දිවාකර, දීප්ත, ආධිත්‍යය, මාර්තන්ඩ යන නම්වලින්ද රවි ග්‍රහයා හඳුන්වයි. රවිට අයත් වෘක්ෂය ඉඹුල් වන අතර මැණික් රතු කැට වේ.

රවි සංයෝග

ග්‍රහ ලොව පියා ලෙස හඳුන්වන රාජ්‍ය කාරක රවි ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එකතු වූ විට නැති නම් සංයෝග වූ විට කේන්ද්‍ර හිමියාට ලැබෙන ශුභ අශුභ.

රවි - සඳු

රවි සඳු සංයෝගයෙන් උපන් අය ඉතා ප්‍රකට වේ. ඉගෙනීමට යහපත් වේ. වස්තුව ලැබේ. ස්ත්‍රීන්ගෙන් ගෞරව ලැබේ. යහපත් ශරීරය හිමි වේ. ධනයට යහපත් වේ.

රවි - කුජ

මෙම සංයෝගයෙන් උපන් අය බලය හා ඔරොත්තු දෙන ගතිය වැඩි වේ. චිත්ත ශක්තිය වැඩිවේ. මේ දෙදෙනාගෙන් උෂ්ණ රෝග ඇති වීමට හේතු වේ.

රවි - බුධ

මේ දෙදෙනා නිතරම සංයෝග වන ග්‍රහයන් වේ. මේ යෝගයෙන් උපන් අය ඥානවන්ත වේ. ගණිතය විෂයට දක්ෂ වේ. ප්‍රසිද්ධ වේ. නරකට සිටි විට මුදල් හානි වීම් ඇති වේ. අමනාපකම් ඇතිවේ.

රවි - ගුරු

ඉතා යහපත් සංයෝගයකි. රවි - ගුරු සංයෝගයෙන් උපන් අය නීරෝගි සෞඛ්‍යයෙන් යුක්ත වේ. ප්‍රසිද්ධිය ලැබේ. ගෞරවය ලැබේ.

ඥාණයෙන් උසස් වේ. ධනය රැස්කර ගැනීමට ඉතා ශුභ පිහිටීමකි.

රවි - ශුක්‍ර

මේ සංයෝගයෙන් උපන් අයගේ මිල මුදල් හිඟ නොවේ. ස්ත්‍රීන්ගෙන් බොහෝ ඇප උපකාර ලැබේ. ලස්සනට පිරිසුදුවට ඉන්න කැමති කෙනෙක් වේ. සංගීතයට පි‍්‍රය වේ. හොඳ විවාහයක් ද යහපත් දරුවන් ද ලැබේ. මෙම සංයෝගය නරකට සිටියහොත් මුදල් අතින් අමාරුකම් ඇති වේ. ඇස් රෝග ඇතිවීමට පුළුවන.

රවි - ශනි

මෙම සංයෝගයෙන් උපන් අයට වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබේ. ඉවසිලිවන්ත වේ. සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කරයි. පෙර සූදානමක් ඇතිව ඕනෑම වැඩක යෙදේ. දක්ෂතා අතරත් ප්‍රකට චරිතයක් වේ. මෙය ඉතා වටිනා යෝගයක් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.