විභාග ජය ගෙනෙන මහා බල සම්පන්න සෙත්කවියක් හා ගණ දෙවි පූජාව

ජනවාරි 20, 2023

 

සෙත් කවිය විෂ්ණු දෙවිඳුන්ට

 

ලමින දිවනෙත සසුන සුරකින පතන බදුබව ලොවෙහි ගරුවන
බැතින පුදදෙන දෙවිඳ සිරිපති සසර පිනමත දහම වඩවන
කිරණ ග්‍රහදොස සියලු අණවින දරුව හැර ඉවතටම යවමින
ලියන විභහගෙ සතිර ජය දුනමැනවි ඉහළම ලකුණු සමඟින

 

-ගම්මන්පිල චිත්‍රා මාලනී ජයකොඩි

 

ගණ දෙවි ස්ත්‍රෝත්‍ර

 

ගණපතිපරිවාරං - චාරුකේයුරභාරං
ගිරිධරවරසාරං - යෝගිනිචක්‍ර වාරං
භවහයපරිහාරං - දුකකදාරිදාදුරං
ගණපතිමහිවන්දෝ - චක්‍ර තුණ්ඩවතාරම්

 

සියලුම දූ පුතුන්ට උපරිම ජය සමාර්ථය ලැබේවා.

 

ගණ දෙවි ස්ත්‍රෝත්‍ර

 

ගණපතිපරිවාරං - චාරුකේයුරභාරං
ගිරිධරවරසාරං - යෝගිනිචක්‍ර වාරං
භවහයපරිහාරං - දුකකදාරිදාදුරං
ගණපතිමහිවන්දෝ - චක්‍ර තුණ්ඩවතාරම්

 

සියලුම දූ පුතුන්ට උපරිම ජය සමාර්ථය ලැබේවා.

 

 

එළඹෙන උසස්පෙළ විභාගය සඳහා දරු දැරියෝ මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙති. ඒ අනුව මෙම විභාගයට පෙනී සිටින සියලු දරුවන් ට එම විභාගයට සාර්ථකව මුහුණදීමටත්, සිය මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිදියුණු වීමටත් නීරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන එන ගමන බිමනේ ආරක්ෂාවත්, රැකවරණයත් අරඹයා මෙන්ම අති සාර්ථකව මෙම තරග විභාගය ජය ගැනීමට මෙහි පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩ ඉම ජය ගත හැකි ය.

 

විභාගයට පෙර ස්නානය කර පිරිසුදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝමළුව ඇමද මල් අසුන පිරිසුදු කර ගන්න. ඉන් පසු සුවඳින් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා තෙරුවන් නැමඳ ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු කතරගම හා සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න. ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත්කවිරත්නය විෂ්ණු දෙවියන් ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6.00 ත් රාත්‍රී 10.48 ත් කාලය තුළ නිවැරදිව හත් වරක් ගායනා කොට විභාග නිමාවනතුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත්කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා විසින් සිදුකිරීම ඉතා හොඳයි.

අදාළ විභාග දිනයේ විභාගයට පිටත්වීමට පෙර සුදු මල්වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමැද, දෙමාපියන් නැමැද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකැත හා දිශාව අනුව පිටපත්ව යන්න.

 

“ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝ හි
උද්ඝෝසයුං දේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්තු මයිහං”

 

සුදු මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමඟට හමුවන ලෙස පිටත්ව යන්න.

විභාග ජය ගෙනෙන මහා බල සම්පන්න ගණ දෙවි පූජාව....

 

උසස් පෙළ යනු දැයේ දරුවන් ගේ ජීවිතයේ කඩඉමයි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත කඩඉමක් බඳු වූ මෙම අති සුවිශේෂ විභාගය වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිකර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් හා නිරවුල් මනසකින් යුතුව විභාගයන්ට මුහුණ දීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්ති කර්මයක් අපි මෙවර ඔබ වෙත ගෙන එන්නෙමු ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරදිව පැවැත්වීම තුළින් ඔබටත් අති සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැකිය. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරැදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදාකරගන්න.

ගණදෙවි පූජාව නිවැරදිව පැවැත්වීම

ගණදෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසුදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.

පහත සඳහන් දෑ සකස් කර ගන්න.

මල්වට්ටියක් නෙළුම් මල් සමඟ

පලතුරු වට්ටියක් (පලතුරු 5 පමණ)

කැවිලි වට්ටියක් (කැවිලි 5 පමණ)

හඳුන්කූරු

පහනක්

සම්බ්‍රානි සුවඳ දුම් සූදානම් කර ගන්න.

නෙළුම් මල් හා වෙනත් මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඹ, කෙසෙල්, කොමඩු, දෙලුම් වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදාගන්න.

ගිතෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක් පැණිරස කෑම වර්ග පහක් සහිත වට්ටියක් හබලපෙති, උක් හකුරු, මී පැණි, කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන්කූරු දල්වා කපුරු පෙති හා ගිතෙල් පහනක් ද දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න.ගණ දෙවි ගුණ ස්ත්‍රෝත්‍රය හා ගණ දෙවි පූජා ස්ත්‍රෝත්‍ර හත් වරක් ගායනා කරන්න.

බදාදා හා සෙනසුරාදා දිනයන්හි දින 03 ක් සවස 6 ත් 8 ත් අතර කාලය තුළ දී ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවන්ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරු වී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි.

 

 

 

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.