ජේසු සමිඳාණන්ගේ උප්පත්තිය සනාථ කළ බෙත්ලෙහෙමේ තාරකාව

දෙසැම්බර් 23, 2022

 

දස දෙස ආලෝකය විහිදුවාලන වල්ගා තාරකාවකට සමාන තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙනකට ඉහළින් පායා ඇත. අතිශයින් ශීතල වූ එම රාත්‍රියෙහි දොළහට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙලොවට ජනිත වූහ. සාමයේ පණිවිඩය මෙලොවට රැගෙන ආ ඒ අසිරිමත් රාත්‍රියෙහි ජේසු බිලිඳුගේ උපත දිවැසින් දැනගත් ශාස්ත්‍රඥයින් තිදෙනකු පූර්ව දිසාවේ සිට ඒ දෙසට ගමන් ඇරඹූහ. ඒ සාමයේ කුමරු දැක ගැනීමටයි.

 

එසේ ගමන් ඇරඹූ ඔවුන් පඬුරු ද රැගෙන ගියේ රජකු බව හැඟවීමට රත්රන් ද මිනිසකු බව හැඟවීමට තුවරලා ද දෙවියකු බව හැඟවීමට සුවඳ දුම් හා පඬුරුද සමඟය. මෙසේ ජේසු බිළිඳුන්ගේ උපත සොයා ගමන් ඇරඹියේ ශාස්ත්‍රඥයින් වන කැස්පර් මෙලෙතියෝර් සහ බැල්මනසාර් යන තිදෙනා ය.

අහසේ පායා තිබූ දීප්තිමත් තරුවේ ආලෝකය බෙත්ලෙහෙමේ ගවලෙනක් තුළට දිස්වෙමින් තිබෙනු දුටු ශාස්ත්‍රඥයින් තිදෙනා මහත් සතුටට පත්ව ගවලෙන දෙසට ගමන් කළේ නියත වශයෙන්ම සාමයේ ගැලවුම්කාරයාණන් වහන්සේ මෙලොව බිහි වී ඇති බව සනාථ කරගනිමිනි. ඒ මොහොත වන විට ගවලෙන දෙසින් කුඩා බිලිඳෙකුගේ හැඬීමත් ඔවුන්ගේ සවනට යොමුවිය. ඉන් මහත් සතුටටපත් ඔවුන් ගවලෙන තුළට ඇතුළුවූයේ දරාගත නොහැකි තරමේ සතුටකිනි. ගව ලෙන තුළ ඔරුවක මෙලොව එළිය දුටු සාමයේ කුමරු දුටු සැණින්ම ශාස්ත්‍රඥයින් තිදෙනා පළමුව නමස්කාර කළේය. ඒ මොහොත වන විට උදාවෙමින් තිබුණේ කන්‍යා ලග්නයයි. සත්වැන්නේ යෙදෙන ප්‍රබල ග්‍රහයෝගද කීපයකි. එය සමස්ත ලෝකයාටම ආදරය, දයාව, ප්‍රේමය හා කරුණාව දක්වන අයකු බිහිවන ප්‍රබල ග්‍රහයෝගයකි. මේ වන විට පැවතියේ ඊශ්‍රාලය, රෝමයට යටත්වයි.

අහසේ පායා තිබූ ඒ දීප්තිමත් තරුව ගී‍්‍රක භාෂාවෙන් හඳුන්වාදී ඇත්තේ ඇනටෝල් යනුවෙනි. ඡ්‍යොතිෂයට අනුව එය පෙන්වාදී ඇත්තේ සූර්යාලෝක බද්ධ තාරකාවක් ලෙසයි. අහසේ පායා තිබූ මේ පුදුමාකාර තාරකාව අනුව සාමයේ කුමරුගේ බිහිවීම නියමාකාරයෙන් හෙළිකර ඇත්තේ ද ඡ්‍යෝතිෂයයි. ජේසු බිලිඳා බැහැදැක ප්‍රථම නමස්කාරය කිරීමෙන් පසු පඬිවරුන් තිදෙනා ජෙරුසලමට පැමිණියහ. එසේ පැමිණි පඬිවරුන්ගෙන් හෙරෝද් රජු බෙත්ලෙහෙම පිළිබඳ කරුණු විමසූහ. පුදුමාකාර බෙත්ලෙහෙම් තාරකාවෙන් සොයාගත් සියලු කරුණු හෙළිකිරීමෙන් පසු හෙරෝද් රජු කැලඹුණි. තමාට වඩා ඉහළින් කිසිවකු නොසිටිය යුතුයි. හඬනඟා කියූ රජු සාමයේ කුමරුගේ මතුතත්වය කෙසේදැයි මහත්සේ කෝපයෙන් යුතුව විමසන්නට විය. එහිදී රජුගේ හිතේ පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හා කුපිතවීම තේරුම්ගත් දෙවියන් වහන්සේගේ දූතයන් රජුගෙන් මිදී වහාම ගොස් ජේසු බිලිඳාව රැගෙන ආරක්ෂිත ස්ථානයකට පලායන ලෙස දැන්වීය. ඒ අනුව ජුසේතුමා හා මරියතුමිය ජේසු බිලිඳුන්ව රැගෙන ඈත පළාතකට පලා ගියේ ය.

උදහසට පත්ව සිටි හෙරෝද් රජු ජේසු බිළිඳාව සෙවූ නමුත් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී ජෙරුසෙලමේ සිටි වසර දෙකට අඩු පිරිමි ළමයින් සියලු දෙනාම මරා දමන ලෙස රාජ නියෝගයක්ද නිකුත් කරමින් දරුවන් සොයා මරන්නට වූහ. මේ අතර රජුට හොරා හැදී වැඩුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තරුණවියේ දී තම දේව සේවය සඳහා තෝරා ගනු ලැබුවේ ගලීල මුහුදු බඩ පිහිටි කපර්නාවුම් නගරයයි. මෙම නගරය පිහිටා තිබුණේ සිරියාවේ ද මස්කස් නුවර සහ දකුණ ගලීලය සම්බන්ධ කරන මාර්ගයේ නගරයකයි. ජේසුස් වහන්සේ තම ඉගැන්වීම් කටයුතු කරගෙන ගොස් ඇත්තේ ද මෙම නගරයෙහිදී ය. ජේසුස්, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රාතිහාර්ය පෑ රෝගීන් සුවකළ සිනගොග් නම් ස්ථානය කපර්නාවුම් වන අතර එය දැනට නටබුන් අතර පවතින බව ඓතිහාසික කරුණුවලින් සනාථ වී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ශ්‍රාවකයින් සමඟ එක්ව ඔවුන්ට ධර්මය ඉගැන් වූ සිනශොන් නැමැති ස්ථානය මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතය ගැන බැලීමේ දී උන්වහන්සේගේ දේශනා හා ක්‍රියාවන් ප්‍රාතිහාර්ය ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. පාපයට වැටුණු මනුෂ්‍යයන් පාපයෙන් මුදවා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවය ඇති කරලන්නට උන්වහන්සේ මහත් කැපවීමෙන් කටයුතු කළහ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන කොට කරුණු දෙකක් කිතුදහමෙන් පෙන්වා දී ඇත. සියලු යහපත වූ දෙවියන් වහන්සේට ප්‍රේමකරන්නත් අසල්වැසියාට ප්‍රේම කරන්නත් යන මේ කරුණු දෙක කිතුදහම තුළ බැඳී පවතී. ක්‍රිස්තුස්වහන්සේ වැඩ විසූ සිනගොජය ඉතා ශුද්ධ වූ ස්ථානයකි. එහි සිට කරනු ලැබූ දේව සේවය නිසා ජීවිත බොහෝ ගණනක් පාපයෙන් මුදාගැනීමට හැකි විය. එදා පාපතර දුෂ්ට හෙරෝද් රජුගෙන් බේරුණු ජේසුස් වහන්සේ උත්පත්තිය නිසා ලොව ක්‍රිස්තුවර්ෂය ද ආරම්භ වූහ. අහසේ පෑයූ දර්ශනීය වල්ගාතරුව දුටු ශාස්ත්‍රඥයින් ඒ ගැන විමසා බලා ලොවට සාමය උදා කිරීමට බිහිවී ඇති. ජේසුස් ක්‍රිස්තුස් සමිදාණන්ට ශාස්ත්‍රඥයින් ගෙනගිය මංජුසා විවෘත කර රන් රිදී කට්ටකුමංජල් හා සුවඳලාටු හා ත්‍යාග ද ප්‍රථමවතාවට පූජා කළහ.

කිතු සමිඳුන් තිස් හැවිරිදි වියේ දී ආරම්භ කළ ධර්මදූත සේවය ජෙරුසෙලමෙන් පටන්ගෙන පසුව මුළු ලොව පුරාම පැතිර ගියේ ය. එළඹ ඇති නත්තල් සමයේ දී නැති බැරි අයට උදව් උපකාර කරමින් සහෝදරත්වයෙන් ජීවත්වීම සැබෑ කිතුණුවන්ගේ වගකීමක් ද වනු ඇත.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.