පොරොන්දම් බැලූ පමණින් විවාහය තීරණය කළ හැකිද?

දෙසැම්බර් 23, 2022

පොරොන්දම් බලන්නෙ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනා විවාහයෙන් පසු සතුටින් ඉන්නවද? පින්වත් දරු පැටවු ලැබිලා තම වර්ගයා ඇතිකරනවද? දෙපාර්ශ්වයේ නෑ හිතවතුන් සමඟ නෑකම් පවත්වනවද කියල දැනගන්නමයි. එහෙම හිතලා පොරොන්දම් බලන්න ගියේ දක්ෂ ඡ්‍යොතිර්වේදියෙක් ළඟටනේ. එහෙම ගිහිල්ලත් මොකද විවාහය දෙදරා ගියේ. සතුට කැඩුණෙ ඇයි. ඉතාම සැලකිල්ලෙන් හොයා බලන්න ඕනෑ ප්‍රශ්න මේවා.

 

පොරොන්දමේ වැදගත් බව

පොරොන්දම් පරීක්ෂා කළ ගුරුන්නාන්සේ එදා කිවුවේ දෙදෙනාගේම පොරොන්දම්වල ලකුණු ගොඩක් වැඩිපුර තිබුණා. දස පොරොන්දම සියයට 80%ක් හොඳයි කිවුවා. විසි පොරොන්දම කියල වැඩක් නැහැ කිවුවා ඊටත් වඩා හොඳයි කිවුවා. අන්තිමට අෂ්ඨනාඩිකූඨය කියල 36 හේ එකකුත් බැලුවා. ලකුණු මට්ටම යහපත් කිව්වා. නමුත් බැඳලා දැන් අවුරුදු 8යි. දරුවො නැහැ. මොකද ඒ. මේ වගේ පිළිතුරු දීලා විවාහයේදී ප්‍රශ්නයක් මතු වුණොත් පොරොන්දම් පරික්ෂා කළ දෙමවුපියන්ටත්, ඒකේ ප්‍රතිඵල කියපු පොරොන්දම් මාමාටත් ඒ පාපකර්මයෙන් ගැලවෙන්න බැරි බව කවුරුත් හිතට ගත්තොත් හොඳයි. අර යුවළ තැවෙන හැම වෙලාවකම හෙළන හැම සුසුමකටම මේ අය වගකියන්න ඕනෑ. මේ පොරොන්දම් පරීක්ෂා නොකර ඉඳලා එහෙම දෙයක් වුණානම් ඒක වෙනම ප්‍රශ්නයක්. කරුමය කියලවත් හිත හදාගන්න තිබුණා. මේක ඕනෑවටම කළ එකක් වගේ.

මේකට එකම හේතුව අඩු දැනුමකින් පොතේ ලියල තිබුණු හැටියට නැත්නම් පන්තියෙදී කියල දුන් විදියට පොරොන්දම් බලපු එක කියල මම වගකීමෙන් කියනවා. ආධුනික දරුවන්ට උගන්වන්නෙ කොහොමද ඒ අප්පලාටත්, සෑහෙන දැනුමක් නැතිකොට මමත් ඔය ඡ්‍යොතිෂ කඩවලට රිංගල බලනවනේ.

සමහර ඡ්‍යොතිර්වේදින් ඉන්නවා පොරොන්දම් බලන්න ගියාම ඔය නැකැත් පොරොන්දම හා 7 වැනි පොරොන්දම නොගැළපෙනවා නම් ඒ නැකැත් බලන්නෙවත් නැතුව විසිකරනවා. එතකොට ඒ අය විවාහ වන්නෙ නැද්ද? කවුද එහෙම කරන්න ඉගැන්නුවේ මොන පොතේද එහෙම කරන්න කියල තියෙන්නෙ. මම කියවපු එකම පුස්කොළ පොතකවත් අච්චු පොතකවත් කිසිම ගුරුවරයෙක් මට එහෙම කියල නැහැ.” විපත්” සහ “වද” පොරොන්දම්වලටනෙ එහෙම කරන්නෙ එහෙම තිබුණොත්. කරන්න අවශ්‍ය පිළියම් නොදත් නිසයි එහෙම කරන්නෙ කියල නැවතත් වගකීමෙන් සඳහන් කරනවා.

පොරොන්දම් පරීක්ෂාව

ඕවා තමයි පොරොන්දම් බලනකොට විශේෂම දේවල්. කේන්දරයක ගුණාගුණ බලනවට වඩා පොරොන්දම් පරීක්ෂාව ඉතා වැදගත්. නැකත් බැලීමත් එහෙමයි. අපි උදාහරණයක් ගනිමු. කෙනකුට අවශ්‍ය වුණා තමාගේ කේන්දරය පරීක්ෂා කර පලාපල අහගන්න. දැනීම නැති කෙනෙක් ඒක පරීක්ෂා කර දුන් අයුරු හරිගියේ නැහැ ඔබට. එහෙනම් ඔබට ලොකු පාඩුවක් උනේ නැහැ. ඕන නම් රුපියල් 2000/- හෝ 3000/- යාවි. ඒක වෙන කෙනකුට කියලා නැවත බලාගන්න පුළුවන්. ලොකු පාඩුවක් වුණේ නැහැ. දැන් අපි හිතමු. පොරොන්දමක් පරීක්ෂා කරන්න කෙනකුට දුන්නා කියලා දැනීම නැති වුණත් එයා පරීක්ෂා කරලා කිවුවොත් නරකයි කියල. ඔබ එය අමතක කරලා දමනවා. සමහර විට ඡ්‍යොතිර්වේදියගේ නොදත්කමින් ඔබට ලැබෙන්න තිබූ මාණික්‍යය නොලැබී ගියේ නේද? සමහර විට අනිත් පැත්ත බැලුවොත් වධක භාර්යා හෝ චෞර භාර්යාවක් ලැබුණොත් ඉවරට ඉවරයි.

දස පොරොන්දම

පොරොන්දමක් පරීක්ෂා කරන කොට දස පොරොන්දම එක විදියටම පල දෙන්නෙ නැහැ. පොරොන්දමේ ආයුෂ පොරොන්දමෙන් කියන්නේ දෙදෙනාගේ මරණ ගැන නොවේ. දෙදෙනාගෙන් කවුද ඉස්සෙල්ලා මිය යන්නෙ කියලා. එනිසා ඒක වැදගත් නැහැ. අනික ගණ පොරොන්දම. ඒකෙන් පෙන්වන්නෙ ගෙදර පොඩි පොඩි අඬදබර ඒකත් බැලුවට එච්චරම අත්‍යාවශ්‍ය නැහැ. මොන ගෙදරද පොඩි පොඩි රන්ඩු නැත්තේ. මොන ගෙදරද වළඳක් පිඟානක් නොබිඳෙන්නේ. අත්‍යාවශ්‍ය ඒවා නොවේ. ලිංග පොරොන්දම්, යෝනි පොරොන්දම, වෘක්ෂ පොරොන්දම ඉතා වැදගත්. මම හැමදාම කියනවනෙ ඡ්‍යොතිෂය කිවුවේ සේවාවක් ඔබේ මහන්සිය ගන්න. නමුත් ගාණ කපන රක්ෂාවක් නොවන බව, පොරොන්දම් පරීක්ෂා කරනව කිවුවේ එක එක් රාශිවල නරක ග්‍රහ පිහිටීම් තියෙනවද කියල බලන එකනේ. ඒක විතරක් බැලුවට මදි.

චන්ද්‍රයාගේ පිහිටීම

විවාහයේදී කේන්ද්‍ර පත්‍රිකා දෙකේම චන්ද්‍රයාගේ පිහිටීම නිවැරැදිව බලන්න ඕනෑ. මොකද මොනව තිබුණත් වැඩක් නැහැ. සතුට නැත්නම්. දෙමවුපියන්ට බොරුවට හිනාවෙලා ඒ දෙන්නා හිත ඇතුළේ අඬනව නම් ඒ විවාහයෙන් වැඩක් නැහැ. අනික දරුවෝ. සතුට රඳා පවතින්න විශේෂයෙන්ම දරු සම්පත් හොඳ වන්ට ඕනෑ. දරුවෙක්ගේ ඉගෙනීම ස්වකීය ජීවිත කාලයේ එක්තරා දිනයකදී නවතිනවා. විවාහය කිවුවේ මරණය වන දවස දක්වා ගෙන යන උරුමයක් හෝ කරුමයක්. පාරම්පරික ඡ්‍යොතිර්වේදියා පොරොන්දම් බලන කොට ඔය හැම එකම බලල තමයි ඔබට ප්‍රතිඵලය දෙන්නේ. විශේෂයෙන්ම හිතට ගන්න. ඔබේ දුවට පුතාට පොරොන්දම් පරීක්ෂාවේදි ග්‍රහ පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, අෂ්ඨ නාඩි කූඨය පමණක් බලලා ප්‍රතිඵලය දෙනවා. නියම විවාහයක් තීරණය කරන්න බැහැ මේ ටිකෙන්ම පොතේ කියන්නෙත්, පන්තිවල උගන්වන්නෙත් මේ ටික විතරයි. නමුත් මේ ටිකට වඩා බොහෝ දේ බලන්න ඕනෑ. මේ විස්තරවලට කවුරුහරි අභියෝග කරනව නම් ඒක ආදරයෙන් බාරගන්න කැමැතියි.

කඩහන්දි මාරකය

විවාහයට දින දමා ගන්න ප්‍රථම කඩහන්දි මාරකය තිබෙනවද බලන්න. සරාගි යෝග හා නටාංශක යෝග ඒ කිවුවේ කාමය අනුරාගය බලවත් වන හා අතිධාවන කාම යෝග තිබුණොත් මින් එකක් තමයි. 5 වැනි රාශියේ හෝ විවාහකස්ථානයේ චන්ද්‍රයා හෝ අඟහරුවා හෝ රාහු සිටීම තිබුණොත්. විවාහ වුණත් තව එකෙකුගේ දුක සැප බලන හා එම උකුළේ සිටින තැනට ඒවි. ගුරු නැත්නම් බ්‍රහස්පතිගේ නැකතක ප්‍රථම පාදයේද සෙනසුරුට අයිති නැකැතක දෙවන පාදයේද, සිකුරුට අයිති නැකතක 3 වැනි පාදයේද රවිට අයිති නැකතක සිවුවැනි පාදයේද පිරිමියා උත්පත්තිය ලැබුවොත් බිරිඳ දකින කොට තද නිදිමතක් ඒවි. මේවා කාමය හකුළුවා තබන යෝග. තවද පුරුෂ – ස්ත්‍රී මරයෝග ගැන බලන්න. දැන් වැටහෙනවා ඇති පොරොන්දම් බැලීම ලෙහෙසියෙන් කළාට ලෙහෙසි නැති බව, පොරොන්දම් බලන්න පරිගණකය කිට්ටු කර ගත්තොත් ඉවරයි. මේවා දක්ෂතාව මතම පරීක්ෂා කරන්න ඕනෑ. දරුවගේ පොරොන්දම් බලනකොට ඉතා ප්‍රවේශම් වන්ට ඕනෑ.

සප්ත භාර්යාවන්ගෙන් සුදුසුම භාර්යාව ලබා ගන්නම ඕනෑ. හොඳම පිරිමියා ලබා ගන්න ඕනෑ.

දැන් ඔබ හිතාවි එවැනි කේන්දර හිමියො විවාහ වන්නෙ නැද්ද කියලා. බඳිනවා. ඊට සරිලන කේන්දරයක් වන්ට ඕනෑ. මේ වරද කරන්නේ පූර්ණ වශයෙන් පරීක්ෂා කරන ඡ්‍යොතිර්වේදියා ඔබට අවශ්‍ය මුදල මහන්සිය ගන්න. කිසිම විරුද්ධතාවක් නැහැ. නිවැරැදි එක තෝරා දෙන්න. වැරදුණොත් මුළු ජීවිතයම ඉවරයි. ඒකට හවුල්කරුවෙක් වන්ට එපා.

යහපත් විවාහයක්

ඔබ දෙපොළ විවාහ වෙලා යහපත් දරුවො හදන්න ඕනෑ. ඒ අය රටටත් අවශ්‍ය අය වන්ට ඕනෑ. කවදාවත් ලොකු මිනිසුන් රටට එපා. යහපත් මිනිසුන් බිහි කරන්න ඕනෑ. විවාහක ස්ථානයේ හෝ ලග්නයේ හෝ අටවැන්නේ අඟහරුවා. සෙනසුරා හිටි පළියට පාපි කේන්දර වන්නෙ නැහැ. ඒ අය පාපි විදියට ගෝචර වුනානම් තමයි පාපි වන්නේ. එතකොට අනිත් කේන්දරයත් ඒ විදියෙ එකක් තෝරාගන්න. ගළපනව කියන්නෙ ඒකයි. හොඳ කේන්දරම හොයන්න එපා. ඔබේ දුවට – පුතාට හොඳ කේන්දර ගන්ට එපා. ගැළපෙන කේන්දරයක් ගන්න වෘක්ෂ පොරොන්දම ස්ත්‍රී කේන්දරයේ කිරි ගහක් වන්ටම ඕනෑ.

සුදුසුම පොරොන්දම සොයා ගන්න

කරුණු නිවරැදිව අවබෝධනම් පොරොන්දම් ගැළපීම එච්චර අමාරු නැහැ. පොරොන්දම් බලනකොට ඔය ලකුණු මට්ටම විතරක් බලන්න එපා. බොහෝ අය කරන්නෙ ඒකමයි ලෙහෙසියට. අනික ලොකු බෝඩ් ලෑල්ලට පින්තූර පෙට්ටියේ කතා විලාසයට රැවටෙන්න එපා. රැවටුනත් කමක් නැහැ. සුදුසු නැති පොරොන්දම දරුවට ගළපන්න එපා. ඡ්‍යොතිර් මාමා පොරොන්දම් බලලා ප්‍රතිඵල කිවුවාම ඔබ අහන්න පවුලේ සතුට දරු සම්පත්, වගේ විශේෂ දේවල් වත් අඩුම තරමින් අහගන්න. විශේෂයෙන් සටහන් කරන්න කැමැතියි. ඒ දවස්වල ජීවත් වූ හැදිච්ච වැඩිච්ච දූලා පුතාලා නොවෙයි දැන් ඉන්නෙ. ඔය අලුත් ක්‍රම, මුහුණුපොත් එක එක නාලිකා ඒ අයගේ මානසික තත්ත්වය දුර්වල කරලා. ඔබ පොඩ්ඩක් හිතන්න. වර්තමානයේ දියුණු තාක්ෂණය විතරයි. අන් සියලුම දේවල් අපෙන් බැහැර වෙලා අපි ඔක්කොම දුවනවා.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදි / ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.