සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වියෝ වූයේ කාලසර්ප යෝගයෙන් ද?

සැප්තැම්බර් 30, 2022

අදවන් දිනෙක ජීවිතයෙන් සමුගත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජන්ම පත්‍රයෙන් බිඳක් මෙන්න.

සිංහල සිනමාවේ පතාක යෝධයා වූයේ ඔහුය. කොටින්ම සිනමා සක්විති වූයේ ද ගාමිණි ෆොන්සේකාමය. ඔහුගේ හිඩැස් සපුරාලන්නට මෙතෙක් මේ දක්වා සිනමා සක්විත්තකු පහළ වූයේ ද නැත. එසේ පහළ වන්නේ නම් පහළ වන්නේ තවත් අවුරුදු ගණනාවකට පසුව විය යුතු බවට අපට අනුමාන කළ හැකිය. 

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මෙලොව එළිය දුටුවේ 1939 මාර්තු මස 21 වෙනි දින රාහු හිමි සියාවස නැකතෙනි. බ්‍රහස්පතිට හිමි ධනු ලග්නයෙනි.

මෙතුමාගේ ජන්ම පත්‍රයේ කෙනකුට ඉතා කලාතුරකින් පිහිටන විශේෂ ලක්ෂණයක් ද තිබේ. එනම් එක කේන්ද්‍රස්ථානයක ග්‍රහයෙක් ස්වක්ෂේත්‍රව පිහිටා සිටින අතර සෙසු රාශිවල මිතුරුවත් සම තත්ත්වයේ ද පිහිටා තිබේ. එක ග්‍රහයෙක් වත් සතුරුව පිහිටා නැත. එසේ වුවද අවාසනාවකට මෙන් ගාමිණී ෆොන්සේකාගේ කේන්ද්‍රයේ අශුභ පිහිටීමක් ලෙස දැකිය හැක්කේ රාහුගෙන් හා කේතුගෙන් යෙදුණු කාලසර්ප යෝගයයි. මෙම අශුභ යෝගය නිසා අවුරුදු 80කට වඩා ජීවත්ව සිටිය යුතු කාලය ප්‍රහීණ වී ගිය බව මගේ පෞද්ගලික විශ්වාසයයි.

එමෙන්ම මෙතුමාගේ යුගදිවිය සසලවී යෑමට එක් හේතුවක් ලෙසට ද උක්ත කී කාරණය පෙන්වා දිය හැකිය.

තවද විවාහ ස්ථානය හෙවත් හත්වැන්න අධිපති බුධ ග්‍රහයා හය, අට රාශි අධිපතියන් සමඟ එක් වී සෙනසුරු සමඟ 03 වැන්නේ සිටීම ද මෙතුමාගේ යුග දිවියේ හැල හැප්පිලි ඇති වීමට හේතු වී ඇති කාරණයක් බව පෙනේ. මෙතුමා උපන් ලග්නයේ කේන්ද්‍රස්ථානයේ බ්‍රහස්පති ග්‍රහයා පිහිටා තිබීමෙන් අතිශයම දුර්ලභ යෝගයක් වන “ගුරුහංස, නම් යෝගය උදාව පැවතුනි. මෙම ජන්ම පත්‍රයේ දිග් බලයෙන් කේන්ද්‍ර ගතව සිටි බ්‍රහස්පති ග්‍රහයා 04 වෙනි භාවය ද නියෝජනය කරනු ලබයි.

තවදුරටත් මේ පිළිබඳව විමසා බලන කල, ඍෂිවරයෙකුගේ මෙන් සියුම් නුවණක් ඇති එඩිතර බවක් මෙන්ම ඍජුව කතා කරන ඒ අයුරින්ම ක්‍රියා කරන මැලිකම් නොමැති ඉතා ගුණ යහපත් කෙනකු ද වෙයි.

වරද දුටු තැන ඉවසිලිවන්ත බව තරමක් අඩු වුවද තවත් වරකදී පුදුම විදියට ඉවසිලිවන්ත බව දියුණු කරගෙන ඇති බව ප්‍රකට වේ.

තවද 03 වැනි භාවය අධිපති සෙනසුරු ස්වක්ෂේත්‍රයෙන් යුතුව එම රාශියේම සිටීමෙන් තමන් නියැලෙන අංශයේ ඉතා ඉහළ මට්ටමකට පත් වන්නකු බවට පත්වේ.

මෙම අයගේ ජන්ම කේන්ද්‍රයේ අපට බලා ගත හැකි තවත් බලගතු ග්‍රහ පිහිටීමක් වන්නේ විද්‍යාස්ථානය නැති නම් 05 වැනි භාවය අධිපති කුජත් භාග්‍යස්ථානය වූ 09 වැන්න අධිපති රවිත් සංයෝග වී 04 වැනි භාවයේ සිටීමයි.

මේ පිහිටීම නිසා මේ අය ඕනෑම ජගතකු සමඟ වුවද කරට, කර සටනට ඉදිරිපත් වෙන ගති තිබේ.

තවද තමාට වාසි වුවත් පාඩු වුවත් තමාගේ ප්‍රතිපත්ති ගරුක භාවය ද කිසිම විට වෙනස් නොකරයි. එමෙන්ම තමන් අදහස් කළ යහපත් යමක් වේද ඒ දෙය කල් නොදමා කරගෙන යයි.

ගාමිණී ෆොන්සේකාගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව පැතිරෙන වකවානුවලදී ඔහුගේ ජීවිතයේ සුබවාදී සිදුවීම් ගණනාවක් සිදුවූ බවට නිදසුන් ඕනෑ තරම් පෙන්වා දීමට පුළුවන්කම තිබේ.

සිංහල සිනමාවේ අනගිභවනීය කතාවක් වූ සංදේශය චිත්‍රපටය තිරගත වන විට එනම් 1966 දී පමණ මොහුගේ කේන්ද්‍රයේ බ්‍රහස්පති සිටි ස්ථානයේම ගමන් කර ඇත. එම දශකයේ හොඳම නළුවා මෙන්ම ජනපි‍්‍රය නළුවා ලෙසට ද සම්මානයට හා ගෞරවයට පාත්‍ර විය.

දේශපාලන කටයුතු කෙරෙහි අවධානය යොමු වීමට මොහුට බලපෑවේ මේ අයගේ ජන්ම පත්‍රයේ 03 වැන්නේ සෙනසුරු ග්‍රහයා බලවත්ව පිහිටා සිටීමයි.

මෙම ජන්මියාගේ ජන්ම පත ගැන දිගින් දිගටම කරුණු විමසා බලන විට මට අවබෝධ වූයේ, මොහු දේශපාලන කටයුතු වලට නැඹුරු වන විට සෙනසුරු ග්‍රහයා ඔහුගේම රාශියේ ගමන් කරමින් තිබුණු බවයි.

ගාමිණී ෆොන්සේකාට (උතුර,නැඟෙනහිර) ආණ්ඩුකාර තනතුර ලැබෙන විට ද සෙනසුරු ග්‍රහයා ගමන් කරමින් තිබුණේ උපතේදී ඔහු සිටි රාශියේ බව පෙනේ.

සෙනසුරු මොහුගේ ජන්ම පතේ 02 වැනි භාවයට අධිපති මෙන්ම 03 වැනි භාවයට ද අධිපතිකම දරයි. එබඳු සෙනසුරු 03 වැනි භාවයේ බලවත්වීම මෙතුමාගේ වාග් විලාශය ද පෙන්නුම් කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

හැමවිටම මොහුගේ අදහස් ඍජුවම ඉදිරිපත් කළේය. එමෙන්ම රාහුගේ පිහිටීම මෙන්ම රාහු නවාංශකයේදී සිංහ රාශි ගත වීම ද මෙතුමාට දේශපාලනයට අවතීරණය වීමට හේතු විය. 

ජනතාවගේ ද ආකර්ෂණීය ප්‍රසාදයට මෙන්ම කොතෙකුත් සරසවි සම්මානයෙන්ද පිදුම් ලත් අප මනුලොව ඉතා කලාතුරකින් නිසි අන්දමට ස්පර්ශ කිරීමට තරම් භාග්‍ය ලැබූ ගාමිණී ෆොන්සේකා නැමැති මේ අසහාය කලාකරුවා 2004 සැප්තැම්බර් මස 30 වැනි දින සඳහටම සිය දෙනෙත් පියාගත්තේ, කලා ලොව වැඩි දෙනකුගේ නෙත් කෙවෙනිවල කඳුළු මුසු කරමිනි. මෙතුමා මෙලොවින් සමුගන්නා අවස්ථාවේ, ගත කරමින් සිට ඇත්තේ සිකුරු මහ දශාවේ කුජගේ අතුරු දශාවයි.

සිකුරු රෝගස්ථානය වූ 06 වෙනි භාවය අධිපති වූ අතර සිටියේ මාරක ස්ථානය වූ 08 වැනි භාවය අධිපති සඳු හා පාපි සෙනසුරු සමඟය. එම මොහොතේ අඟහරු ග්‍රහයාද 12 වැන්නේ ගමන් කරමින් සිටියේ නක්ශාස්ත්‍රය කවරෙකුට හෝ කිසි කලෙකත් බොරු කළ නොහැකි බව, උක්තව සඳහන් කළ කරුණු කාරණා වලින් ඉතා මැනවින් ඔප්පු වේ.

මේ ලිපිය මවිසින් ලියා සකස් කර එවනු ලබන්නේ, ගාමිණී ෆොන්සේකා මහතා දිවංගත වී මෙම සැප්තැම්බර් මස 30 වැනිදාට වසර 18ක් ගතවී ඇති බව පාඨක ඔබට සිහිකිරීමක් වශයෙනි.

උපත 1936 මාර්තු 21, රාහු හිමි සියාවස නැකතින් ජන්ම ලාභය ලබා ඇත.

ගාමිණී ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිටපත ඉහත දැක්වේ.

ඉත්තෑකන්දේ ගාමිණී එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.