සත් පුරුෂ දරුවකු උදෙසා මවකගේ කැපවීම

ජූලි 22, 2022

 

කුස තුළ බීජයක් තැන්පත් කිරීමට පෙර සිට ධර්මය ශ්‍රවණය කිරීමෙන් හා ධර්මානුකූලවී නිතර නිතර බෝධි පූජා පැවැත්වීමෙන් මෙවැනි දේ සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක්කේ ද?

 

ගර්භනී කාලයේදි මෙන්ම දරුවකු අපේක්ෂාවෙන් කුස තුළ බීජයක් තැන්පත් කිරීමට පෙර සිට, සිල්වත් ගුණවත් උතුමන්ට මෙන් ම කුඩා දරුවන්ට හා දුගී මගී යාචකයන්ටත් පුලුන්නන්ටත් හැකි තරම් දන් දෙන්න.

රටකට අවශ්‍ය වන්නේ යහපත් පුරවැසියන් මිස හිර ගෙවල් පුරවන හොරුන්, මංකොල්ලකරුවන්, කුඩුකාරයින්, වංචනිකයන්, මන්ද බුද්ධිකයන් හා අංගවිකලයන් වැනි සමාජයට අහිතකර රටකට බරක් වන පුද්ගලයෝ නොවති.

මව දුරාචාරයේ යෙදෙන්නියක් නම් එවන් පවුල්වල පිරිමි දරුවන් ඉපදීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම සීමා වීමට ඉඩ ඇත. ඉපදුණත් මන්ද බුද්ධික හෝ කිසියම් රෝගී තත්ත්වයක පසුවන දරුවන් විය හැක. මේ පිළිබඳ ඔබගේ අවධානය හොඳින් යොමු කරන්න.

දෙමාපියන් නිර්මාංසව බීජයක් තැන්පත් කළහොත් දරුවා නිරෝගි වේ. මස් මාංස අනුභව කරන දෙමාපියන්ගේ දරුවන්ට වඩා නිර්මාංස ආහාර අනුභව කරන දෙමාපියන්ගේ දරුවන් නීරෝගි බව වෛද්‍ය පර්යේෂණවලින් හෙළිදරව් වී ඇත.

දශක ගණනාවක් පුරා අප රටේ පවතින දැඩි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම පිණිස අප රටට දැන් අවශ්‍ය වන්නේ මානව දයාවෙන් පිරිපුන් මනා පෞරුෂයකින් හෙබි රට වැසියෝය.

මෙය ඔබ හමුවේ පවතින ඉමහත් වූ ඒකායන අභියෝගය බව ඔබ දන්නේ නෑ නේද? අන් කවරකුට ද වඩා අපේ රට වෙනසකට භාජනය කළ හැක්කේ ඔබගේ ගර්භාෂය තුළ වැඩෙන ගුණ යහපත් කමින් හෙබි කලලයට ම පමණි. එය ඔබගේ පණ දෙවෙනි කොට සුරකින අතරම ධර්මානුකූලව පෝෂණය කිරීමේ මා හැගි වගකීම මේ ලිපිය කියවන මේ මොහොතේ සිට ම ඔබ සිතට ගන්න. සමාජයට වැඩදායි එක් දරුවකු ඔබ විසින් බිහි කර ඔබ මෙරට සිටින උදාර තම මාතාවන් ගේ කුලකයට එක් වී තම හෘදයසාක්ෂියට අනුකුලව ම සැහැල්ලුවෙන් දෙනෙත් පියා ගන්න. ඔබ ගෙන් සපිරෙන ඒ සමාජ සත්කාරයේ වටිනාකම මිල කළ නොහැක්කේ ඔබ කුසින් එළි දකින දරුවා අයහපත් පුද්ගලයකු වුවහොත් සමාජයට සිදුවන හානියේ බරපතළකම කෙතෙක් දැයි කිව නොහැකි බැවිනි.

ඔබ එක් සත්පුරුෂ දරුවකු සමාජයට දායාද කළ හොත් උතුම් වූ සමාජමය මෙහෙවරක් සිදු කළ මාතාව යන විරුදාවලියෙන් පිදුම් ලබා මඩේ පිපුණු නෙළුමක් සේ බබළාවි. ඔබ පියවි ඇසට විද්‍යාමාන වන එකම දේවතාවියයි. පස්වන අග්බෝ රජතුමා තම මවගේ දිය රෙද්දෙන් මගුල් කඩුව සේදුවේ වෙන කිසිවක් නිසා නොවේ තම මවට තිබූ ඉමහත් ගෞරය නිසාමයි. දුර්ලබව ලද මනුෂ්‍ය ආත්මයක් අප්‍රමාදීව උපරිම පල නෙළා නොගත හොත් ඔබ මේ සමාජයට කිසිවක් නොකළ මළමිනියකට සම වනු ඇත.

ඉහත ආත්මයන්හි කරන ලද අතිප්‍රබල කුසල කර්මයන්හි ආනුභාවයෙන්ම ලද මෙම මනුෂ්‍ය ආත්ම භාවය තව තවත් ප්‍රභාෂ්වර කර ගැනීමට උපකාරිවන, බුදුන් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය තවමත් හොඳින් රැකී ඇති රටකයි ඔබ ඉපදී සිටින්නේ. සර්වඥ ධාතුනන්ගෙන් 3/4ක් ඇත්තේ අප රටේයි. මේ මහා භද්‍රකල්පය තුළ මෙතෙක් පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප ,ගෞතම යන සියලුම බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලද උතුම් පින්බිමකි ශ්‍රී ලංකාව. මෙම කරුණු හේතුවෙන් පාරිශුද්ධියට පත් මේ පුණ්‍ය භුමියෙහි පාද ස්පර්ශය ලැබීමට සුදුසු සත්පුරුෂ මිනිස් බීජාංකුරයක් ඔබ කුස තුළත් රෝපණය කරගත හැක්කේ ඔබ සිල්වත්ව, ගුණගරුක ජීවිතයක් ගත කළහොත් පමණි.

දෙමාපියන් නැමදීම

ඔබ අතරින් කීයෙන් කී දෙනෙකු අත පය නොකඩා, ඇස් කන් පාදා ඔබ මෙ රටට දායාද කළ දෙමාපිය දෙදෙනාට දිනපතා දසමාසේ, වුද්ධිකාරෝ’ යන ගාථා පාඨ සජ්ජායනා කරමින් දණ නමස්කාර කරනවාද? කෘතගුණ සැලකීම අභාග්‍ය සම්පන්න ආකාරයෙන් අපෙන් දුරස් වෙමින් පවතිනවා. එනමුදු අපගේ ශාස්තෘන්වහන්සේ වන බුදුන් වහන්සේ තමාට බුදු වීමට උපකාරී වූ ඇසතු බෝධිය දෙස දින හතක් පුරා ඇසිපිය නොහෙළා බලා සිටිමින් කෘතගුණ සලකා ඇත. ඔබ ද උපන් රටට මෙන් ම ජාතියට හා ආගමට ද, දෙමාපිය ගුරුවරුනට ද ළැදිව කටයුතු කර කෘතගුණ සලකන අතර ම ඒ අය වන්දනාමාන කරන්න. මෙලොව දි ඔබ ගේ කල්‍යාණ මිත්‍රයන් වන ඔවුහු මියයාමෙන් පසු ඉෂ්ට දේවතාවන් වී ඔබ දුකට පත්වන අවස්ථාවන්හි දී පිහිටවීම සඳහා නොපැකිළව ඉදිරිපත් වෙති. එබැවින් ඔබ දෙමාපියෝ ජීවතුන් අතර සිටිත් නම් ඔවුන්ගේ සිත් සතන් සතුටු වන ආකාරයෙන් රැක බලා ගෙන, මිය ගොස් නම් පින්පෙත් අනුමොදන් කොට කෘතගුණ සලකන්න.

දේපළ නිසා තම දෙමාපියන්ට තාඩන පීඩන කරන දරුවන් කෙතෙක් නම් මේ සමාජය තුළ සිටිනවාද? එවන් දරුවන් තම සුඛවිහරණය උදෙසා දෙමාපියන් බලුකූඩු, දරමඩු, පාළුවට ගිය කාමර ආදියෙහි හා මහ පාරේ මෙන්ම රෝහල්වලත්, මහලු මඩම්වලත් දමා ඇති බව ඔබ ද දන්නවා ඇතැයි සිතමි. මේවා ආත්ම ගණනාවක් දඬුවම් ලැබිය හැකි පාපකර්මයන් බැවින් ඉන් අත් මිදීම සඳහා පසුබිම සකස් කර ගන්න. දෙමාපියන් හොඳින් රැක බලා නොගත හොත් එම ශාපය මෙලොව දීම දිට්ඨධම්මවේදනීය කර්මයක් වශයෙන් ඔබ පසුපස පැමිණ ඔබ ලබන දරුවා දඩබ්බරයකුවී ඔබට පාලනය කර ගත නොහැකිව විශාල දුකකට පත්විය හැකිය. එසේ නොවී ඔබේ කුස තුළ වැඩෙන දරුවාත් ඔබත් ඔවුන් ගේ ආශිර්වාදය මැද සුවසේ සුවපත් වන්න.

නකුළ මාතා හා නකුළ පිතා බුදු සමයේ විසූ ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කළ දෙපළක් බුදුන් වහන්සේගේ ගෞරවාදරට පවා ඔවුන් පාත්‍ර ව ඇත. එවන් වූ ආදර්ශනයන් ඔබගේ යුගදිවිය ද එක්තැන් කර ගන්නට උත්සාහ කරන්න.

එන්ස්ලි එඩ්වඩ් අමරසිංහගේ අසිරිමත් මාතාවක් කෘතිය ඇසුරිනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.