පුරුෂ සිත් වසඟ කරවන ස්ත්‍රී රුව කලාවක්ද?

ජූලි 22, 2022

අතීතයේ මෙන්ම වර්තමාන කාලයේද ( බොහෝවිට අනාගත කාලයේද) ස්ත්‍රී රුව නානාවිධ සැරසිලි කලාවක් ලෙසින් යොදා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා පැරැණි කාලයේ සිටි සිත්තරුන් විසින් සීගිරි සිතුවම් හා ඊට සමාන අජන්තා බිතු සිතුවම් වලින් ද ප්‍රචලිත වන්නේ සුන්දර ලාලිත්‍ය කාන්තා රුව බව ප්‍රකාශ කළ යුත්තේයැ. ශ්‍රී ලංකාද්වීපයේ චිත්‍ර කලා ඉතිහාසයේ මහනුවර සමයේ කෘතීන්වලද, නාරි රුව සැරසිල්ලක් ලෙසින් බොහෝ ලෙසින් යොදාගෙන ඇත. සිංහල කලා කෘතින් අතර වඩාත් ප්‍රසිද්ධියක් දරණ නාරිලතාව, කිඳුරිය, ගජ ලක්ෂ්මිය, නළඟන, නවනාරි කුඤජරිය සහ ඒ වාගේම තවත් බොහෝ සිතුවම්ද , කෘතීන්ද එමෙන්ම එතරම් ප්‍රකට නොවූ එනමුත් බොහොම ස්ථානවල දක්නට ලැබෙන රතිය. චාමර දරන්නිය.

මව සහ දරුවා වැනි චිත්‍ර ප්‍රසිද්ධියට පත් සිතුවම් අතර වේ.

මින් කිහිපයක් හැරුණු කොට අන් සියලුම සංලක්ෂණ පැරැණි දේව කතා සහ ආගමික පිළිවෙත් සම්බන්ධ වේ. එහෙයින් ඒවා නොයෙක් සංකේත ලක්ෂණයන්ගෙන් පිරී ඇත. මෙයින් වැටහීයන කරුණක් නම් පැරැණියන් ස්ත්‍රීරූපය සැරසිලි මෝස්තරයක් වශයෙන් යොදා ඇත්තේ හුදු අලංකාරය සඳහාම පමණක් නොවන බවයි. කෙටියෙන් හුවා දැක්වුවහොත් ස්ත්‍රිය පිළිබඳ පැරණි මිනිසා කලාන්තරයක් මුළුල්ලේ තම යටි සිතෙහි මවා ගත් ගුප්ත හැඟීම් රාශියක්ද මෙම නාරි රූප වලින් සිත්තරුන් සිතා මතා නොවුවද ආවේණිකව ලැබූ පන්නරය නිසාම විදහාපාන්නට ඇත. මෙම ස්ත්‍රී රූපය ඇසුරු කොටගත් මෙම සංකේතික ලක්ෂණයන් ඇති වූයේ අනාදිමත් කාලයක් මුළුල්ලේ මිනිසා හා ස්ත්‍රිය අතර පැවතෙන සබැඳියාව කරණ කොටගෙන ඔහුගේ යටි සිතෙහි ඇය පිළිබඳ සාමුහිකව සංචිතව ඇති සිතුවිලි මාලාවක් නිසායැ. ඒ අනුව ඔහුගේ යටි සිතෙහිද ඇඳී ඇති ස්ත්‍රී රූපය නාරිභාවයේ ඇති ප්‍රතිමූර්තියකි.

මෙම ස්ත්‍රී රූප ඒ ඒ කාලපරිච්ඡේදයන් අනුව සුළු වශයෙන් වෙනස් වුවද එය පිළිබඳ මූලධර්මයන් හා ප්‍රමුඛ ලක්ෂණ සදාකාලික වේ. මනෝ විද්‍යාඥයන් “ ඇනීමා” ( ඒදඪථච) යනුවෙන් හඳුන්වන මෙම මනංකල්පිත ස්ත්‍රී රූපය සදාකල්හිම යෞවනය බුද්ධිමත්ය. සුන්දරය. ඇදහිය නොහැකි ගුප්ත බලයක් ඇයගේ රුවට ආසන්නව පවතිනු ඇත. පෘථිවිය සහ ජලය සම්බන්ධව ඈ දිව්‍යමය බලයකින් යුක්ත වූවක් වේ.

කාන්තාවගේ චරිතයෙහි ඒ ඒ ලක්ෂණයන් අනුව පෙර කියන ලද චිත්තජ ස්ත්‍රී රූපය සම්බන්ධවද ප්‍රමුඛ ලක්ෂණ දෙකක් ඇත. එක් අතකින් ඇගේ චරිතය ශුක්ලය ( සුදුය) අනික් අතින් කෘෂ්‍යය. (කළුය) ශුක්ල අංශයෙන් දැක්වෙන්නේ දිව්‍යමය ගතියකින් යුක්ත උත්තමාවකි. සෞභාග්‍යයේත්, රූප සෞන්දර්යයේත් සංකේතය වන සිරිකතද බුද්ධිය සහ කලා කෞශල්‍යයේ ප්‍රතිමූර්තිය වන සරස්වතියද ඇගේ මෙම ලක්ෂණය පෙන්වති.

කෘෂ්ණ අංශයෙන් පිළිබිඹු වන්නේ කාමාසක්ත ( කාමාධික) වෛශ්‍යාවකගේ ස්වරූපය දක්වාලයි. අප්සරාවක හෝ ගාන්ධර්ව ස්ත්‍රීයක හෝ ලෙසින් ඇය තරුණයන් සහ බ්‍රහ්මචාරි තවුසන් කාමයෙන් පොළඹවා තමන් වසඟ කරගන්නා සුළුය. අපේ දේව කථා ජාතක කථා සහ ජන කථාවල සඳහන් වන ඌර්වශී, මේනක, අලඹුසා වැනි දෙවඟනන් සහ අප්සරාවන්ද බුදුන් වහන්සේ පෙළඹීමට පැමිණි මරඟනන් වන තන්හා, රතී, රඟා වුන් මීට කදිම නිදසුනක් වනු ඇත.

ස්ත්‍රියගේ යටකී දෙයාකාර චරිත ලක්ෂණයන් නිරූපණය කරන චිත්‍ර සංලක්ෂණයන් හැර මහනුවර සමයේ බිතුසිතුවම් ආදියෙහි දැක්වෙන චිත්‍ර ඇසුරුකොට ක්‍රිෂ්ණා දෙවියා හා අනංගයා සම්බන්ධ පිළිවෙත් ඇසුරු කොට ගෙනද කළ චිත්‍ර සංලක්ෂණයන් මහනුවර සමයේ සැරසිලි අතර දක්නට ලැබේ.

නාරිලතා

සිංහල චිත්‍ර කලාවේදී විශිෂ්ට ගනයෙහිලා සැලකෙන “ නාරිලතාව“ සහ කින්නරිය ද බොහෝ සෙයින් පුරුෂයන් කාමයෙන් පෙළෙඹවන නිර්මාණයක් බව සිංහල ජන කතා , ජනකවි සඳහන් කරයි. පොත පතෙහි එන විස්තර අනුව නාරිලතාව නියම වශයෙන් මනුෂ්‍ය ගණයට නොවැටේ. එය හිමාල වනයෙහි වැවෙන්නාවූ යැයි සැළකෙන මනංකල්පිත පුෂ්ප විශේෂයකි. සිංහල සිත්තරා එම පුෂ්පය ඇඳ ඇත්තේ නාභිමණ්ඩලය තෙක් ස්ත්‍රී රූපයකින්ද, ඉන් පහළ කොටස මලක ස්වරූපයද ගන්නා චිත්‍ර සංකල්පනාවක් විලසටය. එහි දෙපස ඉහළට නඟින ලියවැල් දෙක නාරි රුව දෑතින් මල් කළඹ දෙකක් මෙන් අල්ලාගෙන සිටියි.

මෙම ලියවැල් සමහර ඒවායේ මිණිමුතු කුසුම් කැකුළුමෙන් දක්වා ඇත්තේ නාරිලතා රුව අයුරින්ම පල්ලවයන්ගෙන් නිකුත්වන වනිතා හිස්ය. රාහුල බිළදා තුරුළු කරගෙන හුන් යශෝධරාවන් වර්ණනාකරන පූජාවලිය කතෘතුමන් එවැනි නාරිලතා ස්වරූපයක් පාඨකයාට වචන මාලාවකින් කිව නොහැකි කාරණයක් සිතුවමට නගා පෙන්වා දෙයි. “ යශෝධරා දේවි සමන් මලින්” තනන ලද යහන මතුයෙහි හොවන ලද නාර්ලතායෙන් නිකුත් රුවන් දලුවක් සේ පුතණුවන් ලයෙහි හොවමින් ( වඩාගෙන) සිටින බව විදහා දක්වන කදිම සිතුවම් ඇත.

ලබන සතියට ...

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.