ශ්‍රී ලාංකේය ජනජීවිතය හා බැඳුණු කතරගම දෙවියෝ

ජූලි 22, 2022

ලාංකේය ජනතාවගේ සංස්කෘතික සන්ධිස්ථානය වන්නේ සිත්සතන් බුදුදහමින් සුපෝෂිත කළ මහින්දාගමනයයි. භික්‍ෂූවගේ කරුණාව, දයානුකම්පිත බව හා සැහැල්ලු ජීවන ප්‍රතිපදාව ජනතාව ඒ වටා රොක්වීමෙහි ප්‍රබලව බල පැවැත්වූ සාධකයෝය. ලෝකෝත්තර තත්ත්වය කරා සම්ප්‍රාප්ත වීමට අවශ්‍ය නිර්වාණගාමී ප්‍රතිපදාව සහ මෙලොව ජීවිතය යහපත්ව පවත්වාගැනීමේ මාර්ගය බුදු දහමින් අවධාරණය වුවද පොදු ජනතාව වැඩි වශයෙන් පාරලෞකික විමුක්තියට වඩා ඓහිලෞකික ආරක්‍ෂණය කෙරෙහි යොමුවීමේ ප්‍රතිඵලය වූයේ අදෘෂ්‍යමාන දෙවියන්, යකුන් කෙරෙහි වූ විශ්වාසයන්හි ද දැඩිව එල්බ ගැනීමයි.

බුදුරදුන් පිරිනිවන්පාන දිනයෙහි විජය කුමරු ඇතුඵ පිරිස ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූහ. ඒ අවස්ථාවේහි බුදුරදුන්ගේ අනුදැනුම මත ශක්‍රදෙවියන් විසින් මෙහෙයවන ලදුව උපුල්වන් දෙවිඳුන් විජය ප්‍රමුඛ පිරිසට කෙණ්ඩියෙන් පැන් වත්කොට පිරිත් නූල් ගැටගසා අනාගතයේදි ලක්දිව බුදුසසුන පිහිටුවන හෙයින් විජය ප්‍රමුඛ පිරිස ආරක්‍ෂා කිරිමට දෙවිවරුන් වෙත පැවරූ මහාවංශ පුවත සලකා බලන කල්හි එය රචනා කරන කාලයෙහි පවා දෙවියන් පිළිබඳ පැවති ආකල්පය පැහැදිළි වෙයි.

දේව විශ්වාසය

දෙවියන් ඇදහීම හෝ වේවා, බුදුන් ඇදහීම හෝ වේවා මේ කවර ක්‍රමයකින් හෝ ජනතාව තම ජිවිතයට ආරක්‍ෂාව, ශාන්තිය ප්‍රාර්ථනා කළහ. තමා කෙතරම් බලවත් වූවද මිනිසා තුළ දෙවියන් කෙරෙහි ඇත්තේ බයපක්‍ෂපාති ගෞරවපූර්වක හැඟීමකී. ඔවුහූ නානාවිධ ක්‍රමානුගමනයෙන් දෙවියන් අදහමින් ලෞකික ලාභ ප්‍රයෝජන අපේක්‍ෂා කළහ. හින්දු භක්තිකයන්, දේව ශාන්තියෙන් පරලොව පිහිට අපේක්‍ෂා කලත්, සිංහල ජනතාව විසින් අපේක්‍ෂා කරන ලද්දේ ලෞකික පරමාර්ථ පමණි. බුදු දහමෙහි මෙලොව යහපත සඳහා බොහෝ දේ අවධාරණය වී පැවතියත් දේව විශ්වාසය ද ප්‍රබලව ජනහදවත්වල ලැගුම්ගෙන ඇත. ජනවහරේ හමුවන ‘මෙලොවට දෙවියන් පරලොවට බුදුන් ’ වැනි කියමන් සලකා බලන කල්හි දෙවියන් විෂයෙහි පවත්නා විශ්වාසයන්හි තරම පැහැදිලි වෙයි. මෙසේ ලෞකික සුභසිද්ධිය උදෙසා ලාංකේය ජනතාව විසින් පුද පූජා පවත්වන දේව මණ්ඩලයක් වෙයි.

කතරගම දෙවියන්

ඒ අතුරින් ප්‍රමුඛ සහ ජනප්‍රියම දේවතාවෙකු වශයෙන් ‘කතරගම දෙවියන් ’ අනාදිමත් කලක පටන් ජන හදවත් තුළ අඛණ්ඩව අවිච්ජින්නව සංසරණය වෙමින් පැවත අද වනවිට රූක්ෂ ප්‍රතිරූපයකින් පෙනීසිටී. ‘සිරිලක අරක්ගත් කිහිරැලි උපුල්වන්, සමන් බොක්සැල්,විභිෂණ, ස්කන්ධ කුමාර යන සතරවරම් මහ රජුනට’ යනුවෙන් නිකාය සංග්‍රහයෙහි හඳහන සතරවරම් දෙවියන් අතරට කතරගම දෙවියන්ද වරෙක ඇතුළත් වූ බව ප්‍රකට කරන්නකි.කතරගම ප්‍රදේශය ප්‍රධාන වාසස්ථානය කොට අධිකාරිත්වය පතුරවමින් වැඩසිටින හෙයින් කතරගම දෙවියෝ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට ඔහු සිංහලයන් ස්කන්ධ කුමාර, කාර්තීකේය වශයෙන්ද දමිළ ජනතාව විසින් මුරුගන්, වේලුපිල්ලේ සහ කන්දසාමි යන්නෙන්ද අමතනු පෙනේ. දමිළ ජනයා අතර බහුල භාවිතය වන්නේ මුරුගන් යන්නය. මෙයින් ප්‍රියංකරත්වය අර්ථවත් වෙයි. ඔහු කෙරෙහි දැක්වූ ප්‍රසන්න සහ භක්තිපූර්වක ආකල්පය ඉන් ධ්වනිත වෙයි. රූපකායෙන් රක්තවර්ණ වූ මොහු මොනරකු පිට නැඟුණ වේලායුධයක් දරන මුහුණු සයක් සහ අත් දොළහක් සහිත අභිමානවත් ස්වරූපයක් ගන්නා දෙවිකෙනෙක් බව පිළිගැනේ. ශරවනභව,සුභමන්‍ය,සනත් කුමාර ආදි වශයෙන් සංස්කෘත නාමයන්ද ඇතුළුව මොහුට පර්යායව යෙදෙන නාමයෝ තිස්හතකි.

කතරගම දෙවියන්ගේ සම්භවය

මොහුගේ සම්භාවය පිළිබඳ භාරතීය දේවකථාවන්හි චතුර්මතවාදයක් දැකිය හැකිබව විද්වත් අදහසයි.වෛදික සාහිත්‍යයෙහි උපත ලද ස්කන්ද කුමාර විවිධ ස්වරූපවලින් ඉන්දීය සාහිත්‍යයෙහි පෙනී සිට ජනතාවගේ ආරක්‍ෂක දේවතාවකු වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ අතර, වරින්වර ලංකාවට පැමිණි ආර්යයන් නිසා මේ ස්කන්ධ කුමාර වන්දනය ලංකාවට ලැබුණු බව එක් අදහසකි. එසේ පැමිණි ආර්යයෝ වාසය සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශ තෝරා ගත්හ. ඉන් මැණික් ගඟ ආශි‍්‍රතව ජනපද පිහිටුවාගත් පිරිස ස්කන්ධ කුමාර භක්තිකයන් වූ බවත්, ඒ අනුව ස්කන්ධ කුමාර හා කතරගම සබඳතාව ගොඩනැගෙන්නට ඇති බවත් අනුමාන පිළිගැනීමකි.

ඔවුන්ගේ මෙම ස්කන්ධ කුමාර කතරගමට අධිපති ආරක්‍ෂක දේවතාවන් වූ නිසා කතරගම දෙවියන් ලෙස ප්‍රකට වූ බව ද පිළිගැනේ. එසේම ඉන්දියාවේ සිට පැමිණ පදිංචිව සිටි යුදයෙහි දක්ෂ අයකු මරණින් පසු මෙසේ හඳුන්වා දේවත්වාරෝපණය කළ බවද තවත් අදහසකි. ධාතුවංශයෙහි සඳහන් මහාඝෝෂ දේවත්වයට නැංවීමෙන් කතරගම දෙවියන් ප්‍රභව වූ බවත්, කතරගම විසූ ක්ෂත්‍රිය නායකයකු පසු කාලෙක දේවත්වයට පත්වූ බවටත් මත ඉදිරිපත්ව ඇත. ජනප්‍රවාදයෙහිද මේ පිළිබඳ විවිධ තොරතුරු හමුවුවත් කතරගම දෙවියන්ගේ පහළවීම පිළිබඳ නිශ්චිත එකඟතාවක් නොමැති බව පෙනේ.

කේ. ඩී. දේවපි‍්‍රය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.